ඩීමන් ආනන්ද ප්‍රතිරූපය පණ පිටින් මිහිදන් කළ මිනිසකු මිස මළ සිරුරක් නොවේ; මේ සාහිත්‍ය මාසයේ ඩීමන් ආනන්ද යළි කියවමු


මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයයි. විවිධ විෂයන් මුල් කොට නිකුත් වන පොතපත සහ ඒවායේ ලේඛකයන් අගැයුමට ලක් වන මේ මාසයේ, පොතපත සම්බන්ධ පාරිභෝගිකත්වය සේම අලෙවි තරගය ද අසීමාන්තික ලෙස ඉහළ නැංවෙන බව නොරහසකි.

ඒ අතරේ දශක දෙකක කාලයක් තුළ සිංහල සාහිත්‍යයට ප්‍රබන්ධ කතා දහසකටත් වඩා එක් කළ සුවිශේෂ ලේඛකයකු මේ වන විට සිංහල සාහිත්‍ය වංශයෙන් අතිශය අකාරුණික ලෙස පිටමං කොට ඇති බවක් හැඟේ. ඒ “මාරක කතා චක්‍රවර්ති” යන පොදුජන අභිධානයෙන් පිදුම් ලත් බෝපේ කනත්තගේ ඩීමන් ආනන්ද හෙවත් සැවොම දන්නා හඳුනන ඩීමන් ආනන්දයන් ය.

බිය, කුතුහලය, අනතුර පිළිබඳ අපේක්ෂාව සහ නොදන්නා දේ පිළිබඳ ආකර්ෂණය යන සහජ මිනිස් ස්වභාවයන් සිංහල සාහිත්‍යය තුළ රෝපණය කරමින්, එම ප්‍රවර්ගය කලාත්මකව භාවිත කරමින් මාරක කතා ලියූ තවත් ලේඛකයෝ කිහිප දෙනෙක් වූහ. ඒ වැලිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, නාරාහේන්පිට චන්ද්‍රසේන ද සිල්වා (පසුව චන්ද්‍රසේන කිරිවත්තුඩුව), අම්බලන්තොට චන්ද්‍රසේන ද සිල්වා, නිමල් සේනානායක (පසුව මහාචාර්ය), කේ. ලයනල් පෙරේරා, මොරටුවේ ඩී.එස්.පී. මැන්දිස්, ඩබ්ලිව්.පී. වැල්ලවත්ත සහ ජනදාස ලේල්වල ආදී කිහිප දෙනෙකි. ඔවුන් අතුරින් කරුණු කිහිපයක් මුල් කොටගෙන මෙම ප්‍රවණතාවේ පුරෝගාමී ලේඛකයා ලෙස ඩීමන් ආනන්ද හඳුනාගත හැකි ය.

මේ වන විට උගත් බුද්ධිමත් පිරිස් විසින් නම් වශයෙන් හැඳින්වීමට පවා අකමැති “මාරක කතා” යන සාහිත්‍ය ප්‍රවර්ගය ඔහුගේ නිර්මාණ ලෝකය හඳුනා ගැනීම පිණිස වන අනන්‍යතා ලක්ෂණයකි. මාරකය යනු මරණය පමණක් නොවේ. එය අනතුර, අපරාධය, රහස, සැකය, හඹා යෑම සහ අවසාන ප්‍රතිඵලය පිළිබඳ තිගැස්ම ද ඇතුළත් වන බහුවිධ අරුත් සහිත සංකල්පයකි. එබැවින් ඩීමන් ආනන්ද සිය කෘතීන් තුළින් එළිදැක්වූ “මාරක” ලෝකය තුළදී පාඨකයාට භීතියත් කුතුහලයත් එකවර අත්විඳීමට අවකාශ සැලසුණි.

අභිරහස් මරණයක් පාඨකයා තුළ බියක් ඇති කළ හැකි නමුත්, “මිනීමරුවා කවුද?” යන ප්‍රශ්නය ද ඔහු සිය කතාව තුළ රඳවා තැබීය. අනතුරක් ඇති වීම බිය උපදවන අතර, එයින් චරිතය ගැලවෙන්නේ කෙසේද? යන්න මඟින් ත්‍රාසය ගොඩනැඟීය. මේ අනුව ඩීමන් ආනන්දගේ කතා ආකෘතිය කියවන්නා බියෙන් පසුබස්වන ප්‍රවර්ගයක් පමණක් නොව, “බියෙන්ම පාඨකයා ඉදිරියට ඇදගෙන යන” ප්‍රවර්ගයක් ලෙස ද හඳුනාගත හැකිය.

මෙහි දී ඩීමන් ආනන්දගේ අපරාධ පරීක්ෂකයාගේ ප්‍රතිරූපය ද ඉතා වැදගත් ය. ඔහුගේ ජනප්‍රිය කතා සම්ප්‍රදාය තුළ අපරාධ පරීක්ෂකයාගේ භූමිකාව කියවන්නාගේ ගෞරවාදරය සේම විශ්වාසය ද දිනාගන්නකි. කිසියම් අභිරහසක් ඇති වූ විට එය විසඳීමට යන චරිතය සමඟ කියවන්නා ද හරි හරියට පෙළගැසෙන්නේ එබැවිනි. එම චරිතය සොයන්නේ මිනීමරුවා පමණක් නොවේ; ඔහු ඒ සම්බන්ධ සැඟවුණු සත්‍යය සොයයි. ඒ අනුව ඩීමන් ආනන්ද ඉදිරිපත් කරන මාරක සංසිද්ධිය හමුවේ කියවන්නා ද බියෙන් පසුබාන්නෙක් නොවේ. ඔහු ඒ අභිරහස විසඳීමේ ක්‍රියාවලියට ද සහභාගි වන්නෙකි. ඩීමන් ආනන්දයන් මෙලෙස පාඨකත්වයට අවතීර්ණ කරන ලද්දේ අතීතයේ කවි කොළ මාධ්‍යයෙන් අපරාධ පුවත් ලුහුබැඳි සාමාන්‍ය මිනිසා මිස සංවිධිත පාඨක පිරිසක් නොවේ.

ලෝක සාහිත්‍යයේ කැපී පෙනෙන ප්‍රධාන ප්‍රබන්ධ ප්‍රවර්ග දෙකක් ලෙස හඳුනාගත හැකි භීතිකා සාහිත්‍යය (Horror Literature) සහ ත්‍රාසජනක සාහිත්‍යය (Thriller Literature) පිළිබඳව විමසා බැලීමේදී, එක් දහස් එකොළහකින් යුතු ඩීමන් ආනන්දගේ ජනප්‍රිය කතා මාලාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

මෙම ප්‍රභේද දෙක එකිනෙකට සමීප වුවද ඒවායේ මූලික අභිලාෂය එක සමාන නොවේ. භීතිකා සාහිත්‍යයේ ප්‍රධාන අරමුණ බිය, භීතිය, අද්භූතභාවය, මරණය, ශාප, අමානුෂික බලවේග හෝ මිනිසාට පැහැදිලි කළ නොහැකි ගුප්ත සිදුවීම් මඟින් පාඨකයාගේ සිත තුළ භීතියක් නිර්මාණය කිරීම ය. එහෙත් ත්‍රාසජනක සාහිත්‍යයේ මූලික බලය වන්නේ කුතුහලය, තිගැස්ම, අනතුර පිළිබඳ අපේක්ෂාව, අපරාධය, රහස, පලායාම, පසුපස හඹා යෑම සහ අවසානයේ කුමක් සිදුවේද යන නොඉවසිලිමත් ප්‍රශ්නය පවත්වාගෙන යෑම ය.

සරලව කිවහොත් භීතිකා කතාව පාඨකයාගෙන් “මෙය කොතරම් භයානක ද?” යන ප්‍රශ්නය අසන අතර, ත්‍රාසජනක කතාව “ඊළඟට කුමක් සිදුවේ ද?” යන ප්‍රශ්නය අසයි. ඩීමන් ආනන්දගේ ජනප්‍රිය කතා කියවීමේදී වැදගත් වන්නේ මෙම සීමාවන් අතර ඔහුගේ නිර්මාණාත්මක ප්‍රතිරූපය හඳුනා ගැනීම ය.

ඩීමන් ආනන්දගේ ලේඛකත්ව ප්‍රතිරූපය හුදෙක් “භීතිකා ලේඛකයකු” යන සීමාවට හෝ “රහස් පරීක්ෂක කතාකරුවකු” යන සීමාවට කොටු කිරීම ප්‍රමාණවත් නොවේ. ඔහුගේ ජනප්‍රියත්වය ගොඩනැඟෙන්නේ අපරාධය, මරණය, අභිරහස, මිනීමැරුම, පලායාම, විමර්ශනය සහ අනපේක්ෂිත සිදුවීම් වැනි ත්‍රාසජනක ලක්ෂණ සමඟ පාඨකයා තුළ ඇති වන බිය හා තිගැස්ම එකට ක්‍රියාත්මක කිරීමෙනි. මේ නිසා ඩීමන් ආනන්දගේ කතා පිළිබඳව භීතිකා සහ ත්‍රාසජනක යන වර්ගීකරණ දෙකෙන් එකක් පමණක් තෝරා ගැනීමට වඩා, ඒ දෙක අතර පවතින අන්තර්සම්බන්ධතාව තුළ ඔහුගේ ලේඛකත්ව සන්නාමය හඳුනා ගැනීම වඩාත් ඵලදායී වනු ඇත.

ඒ ඔස්සේ ඩීමන් ආනන්ද අප රටේ නාගරික හා ග්‍රාමීය ජන ජීවිතයට කළ බලපෑම ද සුළුපටු නැත. යන්තම් කියවීමට හුරු වූ අතිවිශාල පිරිසක් පාඨකයන් බවට පත් කර ගැනීමේදී ඔහුගේ කෘති ඉටු කළ භූමිකාව මෙහිදී නොසලකා හැරිය නොහැකි ය. එනිසාම සිංහල ජනප්‍රිය සාහිත්‍ය ඉතිහාසයේ “ඩීමන් ආනන්ද” යන නාමය එක්තරා සංස්කෘතික ප්‍රතිරූපයක් බවට පත්ව ඇත. ගැටලුව පවතින්නේ එම ප්‍රතිරූපයට හිමි ස්ථානය අද නිසි ලෙස සමාජගත නොවීම ය. විශේෂයෙන් 1960, 1970 සහ 1980 දශකවල ජනප්‍රිය කියවීමේ සංස්කෘතියේ පුරෝගාමීත්වයක් හිමිකරගත් ඔහුගේ ස්ථානය මේ වන විට අස්ථානගත වී තිබීම සම්බන්ධයෙන් අප විමසා බැලිය යුතු ය.

ඩීමන් ආනන්ද ගේ අත් අකුරු
ඩීමන් ආනන්ද ගේ අත් අකුරු

ලොව සෑම සාහිත්‍යයක සේම සිංහල ජනප්‍රිය සාහිත්‍යයේ ද වැදගත් ලක්ෂණයක් වන්නේ විදේශීය ආකෘති දේශීය පාඨක රුචියට ගැළපෙන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය වීම ය. ඒ අනුව ඩීමන් ආනන්දගේ කතා බොහෝ පාඨකයන්ට විදෙස් පුවතක් සේ නොහැඟුණි. ඔහුගේ මාරක කතාවල “රාත්‍රී කාලයේ තනිවම පාළු තැනක හිඳ කියවන්න එපා” යනුවෙන් අවවාද කොට තිබුණේ ද එම කතා පාඨකයාගේ දෛනික ජීවිතයට හා පරිකල්පන ලෝකයට සමීප වූ නිසා ය. ඔහු අපගේ ජන මනසට අනුරූප ලෙසින් මාරක කතා ගොඩනඟන්නට එතරම්ම සමතෙක් විය.

ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) වැනි රහස් පරීක්ෂක ආකෘතිය, ඉයන් ෆ්ලෙමින්ග් (Ian Fleming) ගේ ජේම්ස් බොන්ඩ් (James Bond) වැනි වීර චරිත ආකෘතිය, ඩ්‍රැකියුලා (Dracula) වැනි භීතිකා චරිත ආකෘතිය සහ බටහිර අපරාධ-ත්‍රාසජනක කතා රටාවන් ලෝක ජනප්‍රිය සංස්කෘතිය තුළ ලොව වටා විවිධ ආකාරයෙන් ගමන් කොට තිබේ. ඒවා සිංහල පාඨකයා වෙත පැමිණීමේදී පරිවර්තන, අනුවර්තන සහ දේශීය ජනප්‍රිය නිර්මාණ මඟින් නව ස්වරූප ලබාගෙන තිබේ. මෙහි දී ඩීමන් ආනන්ද වැදගත් වන්නේ එම ලෝක ජනප්‍රිය ආකෘතිවලට දේශීයත්වය මුසු කොට සිංහල පාඨකයාගේ කියවීමේ රුචිය සමඟ සම්බන්ධ කළ ජනප්‍රිය සාහිත්‍ය සංස්කෘතියක ප්‍රබල සන්නාමයක් වීම නිසා ය. එය කිසිවකුටත් බැහැර කළ නොහැකි කරුණකි.

ඩීමන් ආනන්ද පිළිබඳ සාහිත්‍ය කතිකාවේ වඩාත් වැදගත් කරුණක් වන්නේ ඔහුගේ ජනප්‍රියත්වය සහ විචාරක පිළිගැනීම අතර පැවති පරතරයයි. ඔහුගේ කතා විචාරක පැසසුමට ලක් නොවුණද, ඔහුගේ කෘතීන් එතෙක් පාඨකයන් නොවූ විශාල පිරිසක් අතර ජනප්‍රිය වීම තුළින් සිංහල කියවීමේ ජනප්‍රිය සංස්කෘතිය තුළ ඔහුට හිමිව තිබූ සැබෑ ප්‍රතාපය හඳුනාගත හැකි ය.

විශේෂයෙන් තරුණ පාඨකයන් කතාවක් අවසානය දක්වා කියවීමට පෙලඹවීම, ඊළඟ කෘතිය සොයා යෑම සහ ජනප්‍රිය ප්‍රබන්ධය සමඟ දිගුකාලීන සම්බන්ධතාවක් ඇති කර ගැනීම යන ඩීමන් ආනන්දයන් සතු වූ සුවිශේෂ ප්‍රතිභාවන් අප හඳුනාගත යුතුය. මේ අර්ථයෙන් ඩීමන් ආනන්ද යනු කතා ලියූ තවත් ලේඛකයකු පමණක් නොව, එක් යුගයක සිංහල ජනප්‍රිය කියවීමේ සංස්කෘතියේ සුවිශේෂ සන්නාමයකි.

මෙහිදී “ඩීමන්” යන ඔහුගේ නාමය පිළිබඳව ද අවධානය යොමු කළ හැකිය. “ඩීමන්” (Demon) යන වචනයම අඳුර, අද්භූතභාවය, භීතිය සහ අනපේක්ෂිත ලෝකයක් පිළිබඳ සංඥාවක් ලබා දෙයි. ඒ අනුව අදත් බොහෝ දෙනකු සිතනුයේ උපතින් වෙනත් නමක් හිමිකරගත්තකු වූ ඔහු, සිය මාරක කතා ලිවීම පිණිස මෙම “ඩීමන්” නාමය යොදාගත් බවකි. නමුත් ඒ සම්බන්ධ සත්‍යය එය නොවේ.

ඩීමන් ආනන්ද යොවුන් වියේ දී
ඩීමන් ආනන්ද යොවුන් වියේ දී

1933 වසරේ මාර්තු 30 වන දා මාතර බණ්ඩත්තරදී උපන් ඔහුගේ උපත් සහතිකයේ සඳහන්ව ඇති නම බණකියනගේ ඩීමන් ආනන්ද වූ අතර, පසුව ඔහු තම පෙළපත් නමේ එන “බණකියනගේ” යන්න “බෝපේ කනත්තගේ” යනුවෙන් වෙනස් කරගෙන තිබේ. එහෙත් සිය මාරක කතාවලට සමාන්තර වුවද, සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් එවන් “මූසල” පෙළපත් නාමයක් තෝරා ගැනීම වෙනම විමසිය යුතු සංස්කෘතික හා මනෝවිද්‍යාත්මක කරුණකි. එය ඔහුගේ නිර්මාණාත්මක අනන්‍යතාව ගොඩනැඟීමේදී අහම්බයක්ද, නැතහොත් ඔහුගේ පරිකල්පන ලෝකයට සමීප වූ නාමමය සංකේතයක්ද යන්න තවදුරටත් විමර්ශනය කළ හැකි කරුණකි.

ඔහු අප සමාජයේ ප්‍රවර්ධනය කළ භීතිකා සාහිත්‍යයේ මූලයන් නූතන නවකතාවෙන් පමණක් ආරම්භ වූවක් නොවේ. යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන්, මළවුන්, ශාප, අද්භූත බලවේග සහ මරණයෙන් පසු පැවැත්ම පිළිබඳ විශ්වාස විවිධ ජන සම්ප්‍රදායන් තුළ දීර්ඝ ඉතිහාසයක් සහිත ය.

ශ්‍රී ලංකාවේ ද යකා, ප්‍රේතයා, මහසෝනා, සන්නි යකා වැනි චරිත හා ඒවා වටා ගොඩනැඟුණු ජන විශ්වාස මඟින් බිය, රෝගය, මරණය සහ අද්භූතභාවය පිළිබඳ සංස්කෘතික මතකයක් ගොඩනැඟී තිබේ. එහෙත් එම ජන විශ්වාස සියල්ල නූතන අර්ථයෙන් භීතිකා සාහිත්‍යය ලෙස හැඳින්වීම නිවැරදි නොවේ. නූතන සාහිත්‍ය ප්‍රභේදයක් ලෙස භීතිකා සාහිත්‍යය වඩාත් පැහැදිලිව හැඩගැසෙන්නේ යුරෝපීය ගොතික් (Gothic) සාහිත්‍යය සමඟ ය.

1764දී හොරස් වෝල්පෝල්ගේ (Horace Walpole) ‘ද කැස්ල් ඔෆ් ඔට්‍රන්ටෝ’ (The Castle of Otranto) පළවීම නූතන ගොතික් නවකතාවේ ආරම්භක සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඉන් පසුව මේරි ෂෙලීගේ (Mary Shelley) ‘ෆ්‍රැන්කන්ස්ටයින්’ (Frankenstein), බ්‍රෑම් ස්ටෝකර්ගේ (Bram Stoker) ‘ඩ්‍රැකියුලා’ (Dracula), රොබට් ලුවී ස්ටීවන්සන්ගේ (Robert Louis Stevenson) ‘ද ස්ට්‍රේන්ජ් කේස් ඔෆ් ඩොක්ටර් ජෙකිල් ඇන්ඩ් මිස්ටර් හයිඩ්’ (The Strange Case of Dr Jekyll and Mr Hyde) සහ එඩ්ගර් ඇලන් පෝගේ (Edgar Allan Poe) මනෝවිද්‍යාත්මක අඳුරෙන් පිරුණු කතා මඟින් භීතිකා සාහිත්‍යයේ වපසරිය තවදුරටත් පුළුල් විය.

මෙහිදී වැදගත් වන්නේ බිය ක්‍රමයෙන් අද්භූත ලෝකයෙන් යථාර්ථය වෙත ගමන් කිරීම ය. භූතයා හෝ යක්ෂයා පමණක් නොව, මිනිසාගේම මනස, වරදකාරීත්වය, අඳුරු ආශාව, අනන්‍යතාව පිළිබඳ ගැටලුව සහ සමාජයේ සැඟවුණු කුරිරුකම ද භීතියේ මූලාශ්‍ර බව එම සාහිත්‍යය පෙන්වා දෙයි. මේ අර්ථයෙන් භීතිය යනු හුදෙක් බියගැන්වීමේ උපක්‍රමයක් නොව, මිනිසා සහ සමාජය පිළිබඳ යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමේ සාහිත්‍යමය උපායමාර්ගයක් ද වේ.

ඒ සඳහා ඔහු අවිනිශ්චිතතාව (Suspense), ඡායාත්මක බව (Foreshadowing), නාට්‍යෝචිත බව (Dramatic), උත්ප්‍රාසය (Irony) සේම අනපේක්ෂිත පෙරළිය (Plot Twist) වැනි සාහිත්‍ය උපාංග යොදා ඇති ආකාරය අතිවිශිෂ්ට ය. ඔහු කතාව මුලදී යම් තොරතුරක් සඟවයි. තවත් විටෙක පාඨකයාට ඉඟියක් ලබා දෙයි. ඇතැම් විට පාඨකයා දන්නා රහස ප්‍රධාන චරිතය නොදනී. අවසානයේ පාඨකයා අපේක්ෂා කළ නිගමනය සම්පූර්ණයෙන් වෙනස් කරන හැරවුමක් සිදුවිය හැකිය. ඩීමන් ආනන්දගේ කතා ජනප්‍රිය වීමට හේතු වූ ප්‍රධාන සාහිත්‍යමය උපක්‍රමයක් ලෙස ද මෙම විශිෂ්ට සුසංයෝගය හඳුනාගත හැකි ය.

රටක ඉතිහාසය රජවරුන්ගේ කතා පමණක් නොවන්නක් මෙන්, සාහිත්‍ය ඉතිහාසයක් යනු සම්මාන ලැබූ හෝ විචාරකයන් විසින් ඉහළින් අගය කළ කෘතිවල ඉතිහාසය පමණක් නොවේ. සාමාන්‍ය ජනතාව වැඩිපුරම කියවූ දේ ද එහි කොටසකි. එම දෘෂ්ටිකෝණයෙන් ඩීමන් ආනන්දගේ කෘති පිළිබඳ අධ්‍යයනය වැදගත් වන්නේ ඔහුගේ කෘතිවල සාහිත්‍යමය වටිනාකම පිළිබඳ අවසාන තීන්දුවක් ලබා දීම සඳහා පමණක් නොවේ; එක් යුගයක පාඨකයා කුමක් කියවීමට කැමති වූයේද, ඔහුගේ කුතුහලය කුමන ආකාරයේ කතාවලින් අවදි වූයේද, මරණය සහ අපරාධය පිළිබඳ ඔහුගේ පරිකල්පනය කෙසේ හැඩගැසුණේද යන්න තේරුම් ගැනීම සඳහා ය.

එමෙන්ම කවර හෝ සාහිත්‍යයක බිම් මට්ටමේ යටිතලය නියෝජනය කෙරෙන ජනප්‍රිය සාහිත්‍යයේ බලපෑම මැනිය යුත්තේ සම්මාන හෝ විචාරක ප්‍රශංසා මත පදනම්ව නොවේ. පොත් අලෙවිය, නැවත මුද්‍රණය, පාඨකයන්ගේ මතකය, චරිතවල ජනප්‍රියත්වය සහ එක් කෘතියකින් තවත් කෘතියක් වෙත පාඨකයා ගෙන යාමේ හැකියාව ද එහි බලපෑම මැනීමට වැදගත් සාධක වේ.

ඒ අනුව ඩීමන් ආනන්ද සිංහල ජනප්‍රිය සාහිත්‍යයේ පහත්ම අඩියට තල්ලු කොට දැමීම වෙනුවට, ජනප්‍රිය සංස්කෘතියේ ඉතිහාසය තුළ ඔහුගේ සැබෑ බලපෑම විමසීම වඩාත් ඵලදායී වනු ඇත. ඔහුගේ කෘති සියල්ලම උසස් සාහිත්‍ය කෘති බවට තර්ක කිරීම මෙහිදී අවශ්‍ය නැත. නමුත් ඔහුගේ කෘති විශාල පිරිසක් කියවූ බවත්, එක් යුගයක කියවීමේ සංස්කෘතිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ බවත් නොසලකා හැරීම ද සාහිත්‍ය ඉතිහාසය අසම්පූර්ණ කිරීමකි.

2007 වසරේ අප්‍රේල් 15 වන දා මෙලොවින් සදහටම සමුගත් ඩීමන් ආනන්ද ජීවත් වූ යුගයට වඩා මෙම ඩිජිටල් යුගයේදී භීතිකා සහ ත්‍රාසජනක කතා නව මාධ්‍ය සමඟ වේගයෙන් වෙනස් වෙමින් පවතී. ත්‍රාසය දේශපාලන කුමන්ත්‍රණ, කෘත්‍රිම බුද්ධිය, සයිබර් අපරාධ, ජෛව තාක්ෂණය සහ මනෝවිද්‍යාත්මක අර්බුද දක්වා පුළුල් වී තිබේ.

එහෙත් මාධ්‍ය වෙනස් වූවත් මිනිසාගේ සහජ කුතුහලය වෙනස් වී නැත. නොදන්නා දේ දැනගැනීමට ඇති ආශාවත්, අනතුරක් සිදුවීමට පෙර එය හඳුනා ගැනීමට ඇති උනන්දුවත්, බිය උපදවන දෙයක් දෙස ආරක්ෂිත දුරක සිට බැලීමට ඇති ආකර්ෂණයත් තවමත් මිනිස් ස්වභාවයේම කොටසකි. එබැවින් ඩීමන් ආනන්දගේ “මාරක” ලෝකය අදට අදාළ වන්නේ ඔහු ලියූ කතා ඒ ආකාරයෙන්ම නැවත නිෂ්පාදනය කළ යුතු නිසා නොව, පාඨකයාගේ බිය, කුතුහලය සහ අභිරහස පිළිබඳ ආශාව ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත් කළ ආකාරය අධ්‍යයනය කළ යුතු නිසාය.

එබැවින් මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයේදී ඩීමන් ආනන්ද නැවත කියවිය යුත්තේ අතීතයේ “මාරක කතා” ලියූ ලේඛකයකු ලෙස නොවේ; භීතිකා සාහිත්‍යය සහ ත්‍රාසජනක සාහිත්‍යය අතර සීමාවන් මකා දමමින්, බියෙන් පාඨකයා පසුබස්වනවා වෙනුවට බිය තුළින්ම ඔහු ඉදිරියට ගෙන ගිය, එක් යුගයක කියවීමේ සංස්කෘතිය හැඩගැස්වූ යුග පුරුෂයකු ලෙස ය. ඔහුගේ ස්ථානය නැවත සලකා බැලීම යනු එක් ලේඛකයකුට සාධාරණයක් ඉටු කිරීම පමණක් නොව, අප විසින් අමතක කර ඇති සිංහල ජනප්‍රිය සාහිත්‍යයේ එක් වැදගත් පරිච්ඡේදයක් නැවත කියවීමකි.

මෙම කරුණ සැලකිල්ලට ගනිමින්, මගේ ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයට සිය මාරක කතා මඟින් මගේ නව යෞවන වියේදීම අත්පොත් තැබූ මේ “මහ ගත්කරුවා”ගේ නාමයට මා ලියූ “පැරණි මත ගැන අලුත් දැනුමක්” කෘතිය, “මාරක කතා චක්‍රවර්ති” යන පොදුජන අභිධානයෙන් පිදුම් ලත් ඩීමන් ආනන්දයන්ගේ නාමයට පුද කිරීමට කටයුතු කරමි. එය මෙම 27 වන ඉරු දින ප.ව. 2.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ එළිමහන් පීඨිකාවේදී ඔහුගේ එකම දියණිය වන වරුණි ශර්මිලා ආනන්ද වෙත පිළිගැන්වීම සිදු කෙරෙනු ඇත.

එහෙත්, ඩීමන් ආනන්දගේ සැබෑ ප්‍රතිරූපය සමාජගත කිරීම සම්බන්ධයෙන් මෙය සරුසාර ඉසව්වක් වසාගත් දැවැන්ත නාය යාමක් කන් හැන්දකින් ඉවත් කිරීමට වෙර දැරීමක් සේ ද මට හැඟේ. එහෙත් එවන් පසුබිමක වුව ද, ඩීමන් ආනන්ද ප්‍රතිරූපය පණ පිටින් මිහිදන් කළ මිනිසකු මිස මළ සිරුරක් නොවේ යන්න වෙසෙසින් අවධාරණය කළ යුතුමය.

තිලක් සේනාසිංහ

පහන් ටැඹ