අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳ මතක ශක්තියක් තිබීම වැදගත්. සමහර දරුවන්ට ඉගෙන ගන්නා කිසිම දෙයක් මතක නෑ කියලා දෙමාපියන් බොහෝ සෙයින් චෝදනා කරනවා. ඒ නිසාම මතක ශක්තිය වැඩි කළ හැකි ආහාර පාන පිළිබඳව දෙමාපියන්ගේ තිබෙන්නේ ලොකු උනන්දුවක්.
කෙසේ වුවත් ආහාරවලින් පමණක් දරුවකුගේ මොළය වර්ධනය වෙනවාද? මෙය විමසා බැලිය යුතු වැදගත් කාරණයක්.
සාමාන්‍යයෙන් දරුවකු මෙලොවට බිහිවන විට දරුවාගේ මොළයේ බර වැඩිහිටියකුගේ මොළයේ බරෙන් 25% ක් වගේ ප්‍රමාණයක් තමයි වර්ධනය වී තිබෙන්නේ. දරුවාගේ වයස අවුරුදු තුනක් පමණ වන විට එය වැඩිහිටියකුගේ මොළය තරමටම වර්ධනය වෙනවා. ඒ බරෙන් පමණක් නොවෙයි බරද ඇතුළුව සෛල ප්‍රමාණය, සෛල අතර අන්තර් සම්බන්ධතාව කියන කාරණාවලින්.
ඒ නිසා දරුවකුගේ මුල් අවුරුදු තුන කියන්නේ ඒ දරුවාගේ ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක්. ඒ කාලය ඇතුළත දරුවාගේ මොළය වර්ධනය වන්නට පෝෂ්‍ය පදාර්ථ පමණක් සෑහෙන්නේ නෑ . ආහාර පාන කියන්නේ දරුවකුගේ මොළය වර්ධනය වීමට බලපාන සාධක අතරින් එකක් පමණයි. ඒ නිසා පෝෂ්‍ය පදාර්ථ වගේම දරුවාගේ මොළයට උත්තේජක ද අවශ්‍යයි.
මොනවද මේ උත්තේජක කියන්නේ ? දැන් මේ ප්රශ්නය ඔබේ සිතට නැගෙනවා ඇති.
දරුවා සමග කතා කිරීම, ගීත ගැයීම, දරුවාට හොඳින් ආදරය පෙන්වීම, දරුවා මනාව හැසිරවීම යන කරුණු මෙම උත්තේජක අතරින් ප්‍රධානයි. පංච ඉන්ද්‍රියන් හරහා යන උත්තේජක මේ කාලයේ දී ඉතා වැදගත් වෙනවා.
දරුවන්ගේ පෝෂණය ගැන මව්වරුන් නිතරම විමසන නිසා ඒ පිළිබඳව දැන් අපි කතා කරමු.
කුඩා දරුවකුගේ මනස වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මව්කිරි. එහි දරුවාගේ මනස වර්ධනය වීමට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ නිසි සංයුතියකින් පවතිනවා. කුඩා දරුවකුගේ මොළය වර්ධනය වීමට පිටිකිරි වලිනුත් ඒ විදියටම පුළුවන්ද කියලා ඇතැම් මවුවරුන් අපෙන් විමසනවා. ඒ අනුව මව්කිරි හා පිටි කිරි අතර වෙනස වටහා දීම වැදගත්.
උපතේ සිට වයස අවුරුදු තුන දක්වා මනැස ශීඝ්‍රයෙන් වර්ධනය වීම මනුෂ්‍යයාට පමණක් ආවේණික වූ දෙයක්. නමුත් එළකිරි වැනි සත්ව කිරි සැකසී තිබෙන්නේ මුල් අවුරුදු කිහිපය තුළ ඔවුන්ගේ පැටවුන්ගේ ශරීර ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වීම සඳහායි. මිනිස් දරුවකුගේ උපතේ සිට පළමු වසර තුන තුළ මොළයේ වර්ධනය ශීඝ්‍රයෙන් සිදු විය යුතුයි. ඒ සඳහා හොඳම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන්නේ සත්ව කිරිවලින් සැකසූ පිටිකිරි වල නොව මව්කිරිවල යි.
මුලදී මව්කිරි දී දරුවාගේ වයස මාස හය ඉක්මවන විට ඝන ආහාර ලබා දීම ආරම්භ කළ පසු මොළයේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ලැබෙන ආකාරයට දරුවාගේ එම ආහාර වේල සකස් කළ යුතුයි. ඒ අනුව ප්‍රෝටීන්, පිෂ්ඨය, ඛනිජ ලවණ, විටමින් යන මේ සියල්ල අඩංගු ආහාර දරුවාට ලබාදීම වැදගත්. නමුත් එකම ආහාර වර්ගයක් දීම තුළින් ආහාරයෙහි තිබිය යුතු සමබර බව නැතිව යනවා. ඒ නිසා තමයි ඉහත කී සියලු පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලක අඩංගු වීම අත්‍යාවශ්‍ය වන්නේ.
මනසේ වර්ධනයට වැදගත් වන විශේෂිත පෝෂ්‍ය පදාර්ථයක් තමයි ප්‍රෝටීන. බිත්තර, මස්, මාළු ආදියෙන් මෙය ලබාගත හැකියි.
ඊළඟට ක්ෂුද්‍ර පෝෂක පදාර්ථ. මෙයිනුත් පෝලික් අම්ලය ප්‍රධානයි. බෝංචි, මෑ වැනි රනිල කුලයේ එළවළු වර්ග, ගොටුකොළ, කතුරුමුරුංගා වැනි තද කොළ පැහැති පළා වර්ගවල මේවා අඩංගු වෙනවා.
තවත් වැදගත් අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක පදාර්ථයන් වන්නේ ඔමෙගා 3 අම්ලයයි. මෙහි DHA නමින් ඉතාමත්ම වැදගත් සංඝටකයක් අඩංගු වෙනවා. මව්කිරිවල මේවා විශාල වශයෙන් පවතින අතර මව්කිරි හැරුණු විට මාළුවල බෙහෙවින් අඩංගු යි. එනිසා කුඩා දරුවෙකුගේ වයස මාස නවයේදී සිටම මාළු ආහාරයට දීම වැදගත්.
කුඩා දරුවන්ට තවත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් ලෙස ඇන්ටි ඔක්සිඩන්ට් සංඝටකය දැක්විය හැකියි. මෙයින් ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ මොළයේ සෛල මිය යාම වැළැක්වීමයි.
ඕනෑම වයසකදී අපේ මොළයේ සෛල සුළු ප්‍රමාණයක් මිය යන අතර අලුතින් සෛල වර්ධනය වීමද සිදුවෙනවා. වයස්ගත වූ විට නම් සෛල මිය යාම මිස අලුතින් වර්ධනය වීමක් සිදු වන්නේ නෑ. ඇන්ටි ඔක්සිඩන්ට් සංඝටකයෙන් දරුවන්ගේ මොළයේ සෛල ආරක්ෂා වෙනවා.
ඒවා අලුත් එළවළු හා අළුත් පළතුරු වලින් ලබාගත හැකියි.
මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක පදාර්ථ අතර යකඩවලටත් හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මස්, මාළු සහ කොළ වර්ගවල යකඩ අඩංගුයි.
ප්‍රෝටීන් සහ විටමින් ඒ, බී, ඩී වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් යහමින් අඩංගු ආහාරයක් තමයි බිත්තර. මෙය පහසුවෙන් දරුවකුට දිය හැකි ආහාරයක් වන අතර දරුවාගේ වයස මාස නවය සම්පූර්ණ වූ පසු බිත්තර දීම ආරම්භ කළ හැකියි. වයස අවුරුද්ද පිරුණු පසු දරුවකුට දිනකට බිත්තරයක් බැගින් ලබා දීම සුදුසුයි.
දරුවකුට ආහාර වේලට සීනි එකතු කළ යුත්තේ ඉතාමත් අඩුවෙන්. ටොෆි චොක්ලට් වැනි ආහාර නොදී ඉන්න තරමට හොඳයි. අධික පැණි රස ආහාරයක් ගත් සැණින් රුධිරයේ සීනි සාන්ද්‍රනය ඉතාමත් ඉහළ යනවා. එවිට ඊට සරිලන පරිදි ශරීරය මගින් හෝමෝන නිපදවෙන අතර ඒ නිසා සීනි මට්ටම එකවර නැවත පහළට එනවා. මෙසේ රුධිරයේ සීනි මට්ටම අධික ලෙස ඉහළ යාම සහ ඒ සමගම පහළට ඒම කුඩා දරුවකුගේ මොළයේ වර්ධනයට අහිතකරයි. ඒ නිසා දරුවන්ට පැණි රස ආහාර අඩුවෙන් දිය යුතුයි .
කුඩා දරුවකුගේ මානසික වර්ධනයට මෙලෙස ආහාර ලබා දීම මිස මතක ශක්තිය වැඩි කරන විශේෂිත ආහාර වර්ග නෑ. උපතේ සිට මව්කිරි සහ ඉහත සඳහන් කළ අනෙකුත් උත්තේජකත්, ඉන්පසු පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාරත් ලබාදීමෙන් සෞඛ්‍ය සම්පන්න මොළයක් දරුවාට හිමිවෙනවා. මතක ශක්තියේ පදනම වන්නේ සෞඛ්‍ය සම්පන්න මොළයයි.
මතක ශක්තිය වැඩි වන්නට මොළයට ලැබෙන උත්තේජක සහ උගත් දේවල් නැවත නැවත කියවීම හා ඇසෙන්නට සැලැස්වීම ද කළ යුතුයි.
ඒ හැරුණු විට දරුවාගේ මනසට ඔරොත්තු දෙන අන්දමින් කරුණු තෝරා බේරා දීම, වයස අවුරුදු 12ක් පමණ වන තුරු පැය 8 ක නින්දක් එක දිගට ලැබීම, විවේකය යන දේවල් ලැබීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ගත හැකියි.
ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
සටහන:ඉන්දු පෙරේරා