දිළිඳුකම ඉහ වහා යද්දී රට පුරා නව සමාජ ශාලා ජාලයක්!

මේ වන විට අප රටේ නාගරික සමාජ ශාලා වලට කවදාටත් වඩා පිරිස් එක් රොක් වන බවත් එනිසාම අගනුවර සේම සෙසු නගර වලත් නව සමාජ ශාලා ජාලයක් ව්‍යාප්ත වීමේ පැහැදිලි පසුබිමක් පවතින බවත් ඒ සඳහා රුපියල් මිලියන ගණන් වල මාසික කුලියට ගොඩනැඟිලි ලබා ගැනීම කෙරෙහි ඇතැමුන් තුළ උනන්දුවක් පවතින බවත් වාර්තා වෙයි.

එමෙන්ම දැනටමත් එම ව්‍යාපාර වලට සම්බන්ධ නොවූ අතිරේක පිරිසක් ද ඒ ව්‍යාපාර හා ජාවාරම් වටා ඒකරාශී වෙමින් හිඳින බව ද පැවසෙයි.අද වන විට අපේ රට ආර්ථිකමය වශයෙන් බරපතල අර්බුදයකට ලක් ව ඇති බව පොදුවේ බොහෝ දෙනකු පිළිගන්නා කරුණකි.

එහෙත්, එහි බොහෝ දෙනෙක් නොදත් අමිහිරි සත්‍යයක් ද තිබේ.එනම් අප රටේ සීමිත පිරිසක් සතුව දේශීය ආර්ථිකය හා බද්ධ නොවූ අති විශාල ධනස්කන්ධයක් .කාටත් වැටහෙන ලෙසින් කිවහොත් කළු සල්ලි ලෙස හැඳින්වෙන මේවා ඉපැයීමේ සහ ප්‍රවර්ධනය වීමේ උපාය මාර්ග මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එමෙන්ම මේ මහා ධනස්කන්ධයන් හි හිමි කරුවෝ වෙනයම් විවිධ ස්වරූප වලින් සමාජය හමුවේ පෙනී සිටින අතර සමාජයේ සෙසු කොටස් සෘජු හා වක්‍ර ලෙසින් ඔහුන් ගේ අවනීතික සංස්කෘතියට නතු වෙමින් සිටිති.ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම යාන්ත්‍රණයට නෛතික මුහුණුවරක් දී දැනටමත් මෙම ක්ෂේත්‍රයෙන් ලබා ගන්නා බදු ආදායම ශීඝ්‍රයෙන් ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කරනු ඇත.

විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් හිමි වන සමාජමය අගැයුම් විවිධාකාර ය. වර්තමානය වන විට එම අගැයුම් ලබා දීමේ කේන්ද්‍රීය සාධකය ඒ පුද්ගලයා ගේ වත් පොහොසත් කම බව නොහරසකි. අතීතයේ මුදල හැඳින්වීම පිණිස යොදා ගන්නා ලද ‘දෙවියන් ගේ මල්ලි’ යන යෙදුම අද වන විට ‘යක්ෂයාගේ අයියා’ ලෙස හැඳින්වීම තෙක් මෙම තත්වය විපරිනාමය වී තිබේ.

අපගේ සාම්ප්‍රදායික ජන සමාජයේ ද පුද්ගලයකු හට අගැයුම් ලබාදීමේ දී ධනවත්කම ද සලකා බැලිණි. එහෙත්, ඒ අතරම සලකා බැලෙන තවත් වැදගත් සාධකයක් වූයේ ඒ පුද්ගලයා සතු ගුණවත් කම හා නැණවත් කම ය. මෙහි දී කිසියම් ධනවතෙකු ගුණවත් කමින් හෝ නැණවත් කමින් හීන වූයේ නම් ඔහුට නිසි සමාජමය අගැයුමක් ලබා නොදීමට අතීත ජනයා වගබලා ගත්හ.

එමෙන්ම කිසියම් ගුණවතෙකු හෝ නැණවතෙකු කෙරෙහි නිසි සමාජමය වටිනාකමක් දීමට ඔහුගේ ධනවත් බව ද තරමක් දුරට හෝ සලකා බැලෙන ලදී. අතීත සාම්ප්‍රදායික ජන සමාජය තුළින් ගුරුවරුන්, වෙද මහතුන් සේම විවිධ කර්මාන්ත ශිල්පීන් ආදී ඉහළ සහ පහළ මධ්‍යම පාන්තික සමාජ තලයන් වෙතින් සමාජමය අගැයුම් හිමි කරගත් පැලැන්තියක් බිහි වන ලද්දේ ඒ අනුව ය.

මෙහි දී එම ධනවතා මසුරකු වී නම් හෝ ගුරුවරයා නැතහොත් වෙද මහතා දුසිරිතෙන් යුතු වී නම් ඔහු ඒ සමාජමය අගැයුමට හිමි කරුවෙක් නොවිණි. එමෙන්ම, ධනවත්කම හෝ නැණවත් කම නැතහොත් උගත් කම අවම මට්ටමක තිබුණ ද ඇතැමුන් තුළ පවත්නා ගුණවත්කම ප්‍රශස්ථ මට්ටමක පැවැතියේ නම් ඔහුට ද එම සමාජය තුළින් විශේෂිත අගැයුමක් හිමි ව තිබූ බව රහසක් නොවේ.

මෙහි දී සුරා, සූදු ආදී සදාචාර විරෝධී ක්‍රියාවලින් ඉවත් වීම සහ ගිහි පිරිත්, වන්දනා ගමන් සංවිධායකත්වය ආදී ජන සමාජය වෙත ආධ්‍යාත්මික සේවා සපයන පෙදරේරුවන්, ලෝකුරුවන් ආදී පහළ මධ්‍යම පාන්තික සමාජය නියෝජනය කරන පිරිස් ද ඉහළට ඔසවා තැබීමට අතීත ජන සමාජය පසුබට නොවිණි.

සත්භාවයෙන් යුතුව පොදු ජන සේවා සපයන්නෝ ද මෙම සමාජමය අගැයුම් හිමි කර ගැනීමේ ඉදිරි පෙළෙහිම වැජඹුනහ. ඒ අනුව අතීත සමාජය නියෝජනය කළ සෑම ධනවතෙකුම,ගුරුවරයෙකුම, වෙද මහතකුම යහපත් සේ නොසැලකුණු අතර එකී සමාජය අගැයුම් සම්බන්ධ ප්‍රශස්ථ මට්ටම පවත්වා ගෙන යාම සඳහා ඔහුගේ ජීවිතය සමාජ සම්මත සදාචාරාත්මක ආකෘතියක් තුළ ස්ථාපිත වී තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බව පෙනෙයි.

එහෙත්, 1970 දශකයේ අග භාගයේ මෙරටට හඳුන්වා දෙන විවෘත ආර්ථික සංකල්පයත් සමඟ මෙම සාම්ප්‍රදායික සමාජ ආකෘතිය ගරා වැටෙන්නට වූ අතර මිල මුදල් මත පදනම් වන ධනවත්කම පසුකාලීන සමාජයේ ප්‍රධාන පුරුෂාර්ථය බවට පත් විය.

එලෙස ධනෝපායනය කෙරෙහි ජනතාව තුළ පැන නැගී තිබූ අසීමාන්තික උනන්දුව කොතෙක් ද යත් ‘කොහොම හරි කමක් නෑ’ යන වදනට ද යම් සමාජමය අගැයුමක් හිමි වන ලද්දේ එතෙක් පැවැති සමාජ සදාචාර මට්ටම ශීඝ්‍රයෙන් පසු ගන්වමිනි.

විවෘත ආර්ථිකයත් සමඟම ආරම්භ වූ නව ධනෝපායන මාර්ග සහ එම කාල සීමාවේ ආරම්භ වූ විදේශ සේවා නියුක්තිය හේතුවෙන් හැත්තෑවේ දශකයේ අග භාගය තෙක් අප සමාජයේ පැවැති සාම්ප්‍රදායික සමාජ ආකෘතිය බිඳ වැටෙන ලද්දේ අතීත සමාජය මඟින් නැණවත්කම හා ගුණවත්කම පදනම් කර ගනිමින් අගැයුම් ලබා දුන් සමාජ පැළැන්තිය ශීඝ්‍ර පසුබෑමකට ලක් කරමිනි.

විවෘත ආර්ථිකයත් සමඟ අප සමාජය තුළ මුල් බැස ගත් භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය යටතේ පරිභෝජන වාදය නමින් හැඳින්වෙන සමාජ ආර්ථික අවනතිය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ජන සමාජයට අවශ්‍ය සෑම දෙයක්ම මිල කළ හැකිය යන නරුම, මායාකාරී සිතිවිල්ල පසුකාලීන සමාජය තුළ ශීඝ්‍රයෙන් ස්ථාපිත විණි.

ඒ සමඟම එතෙක් පැවැති පොදු බව පදනම් කර ගත් ප්‍රජා සහ සමාජ ඒකාබද්ධතාව බිඳ වැටී ජනතාව තමන්ගේ ලෞකික පැවැත්ම තහවුරු කරගත් කුහක ආත්මාර්ථකාමීත්වය වෙත සංක්‍රමණය වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී බහුලත්වය, විවිධත්වය, ආටෝපය, සුඛෝපභෝගීත්වය ආදී නිසරු සමාජමය පරමාදර්ශයන් ශීඝ්‍රයෙන් මස්තකප්‍රාප්ත වීම ය.

මේ සියළු කලබැගෑනි මධ්‍යයේ අතීත සමාජයේ අගැයුම් පද්ධතියකට හිමිකම් කී ගුරුවරයා ගේ භූමිකාව සමාජයෙන් ඉවත් වී ගිය අතර ඒ වන විට ශීඝ්‍රයෙන් තීව්‍ර වෙමින් පැවැති ධනෝපායන තරඟයට සාර්ථක ලෙස මුහුණ දිම පිණිස සමහර ගුරුවරු ටියුෂන් තරඟයකට අවතීර්ණ වූහ.

එහිදී ගුරුවරයා සතු ශාස්ත්‍රීය දැනුම, විනයවත් බව පරයමින් ඔහුගේ බාහිර පෙනුම, පෞරුෂය, ඇඳුම පැළඳුම, මුකරි බව සේම මෝටර් රථය ආදී බාහිර සාධක කෙරෙහි ද සිසුන් ගේ විශේෂ ආකර්ෂණයක් පවතින බව ඉතා පැහැදිලි ය. ඒ අතර හුදෙක් රෝගීන් සුවපත් කිරීමේ කාර්ය භාරයට වඩා පවත්නා සමාජ ආර්ථිකය හමුවේ පසුගාමී වීමට නොහැකි වෛද්‍යවරු ද ‘ආ රෝගියා පරමා ලාභා’ යන සංකල්පයෙන් යුතුව ව්‍යාපාරික පදනමක් යටතේ තම වෘත්තිය පවත්වා ගෙන යාමට පෙළඹුනහ. මෙහිදී එම අතිරේක ධනෝපායනය ‘පොල් කැඩීම’ සහ ‘පොළේ යාම’ යන සරදම් නම් වලින් ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා බව නොරහසකි.

මේ සකලවිධ තත්වයන් යටතේ අතීතයේ සමාජයේ අගැයුම් පද්ධතිය ස්ථාපිත ව තිබූ ධනවත්කම, නැණවත්කම සහ ගුණවත්කම යන කනප්පුවේ දෙවන තුන්වන පාද සිඳී බිඳී ගොස් දැන් එය ධනවත්කම නම් වන තනි පාදය මත ස්ථාපිතව ඇති කනප්පුවක් බවට පත්ව ඇත.

මේ තත්වය අද වන විට කෙතරම් ව්‍යාකූල වී තිබේ ද යත් ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රමුඛතම ධනෝපායන ශක්තිය සම්මත වෘත්තීයවේදීන් ගෙන් පවා ගිලිහී ගොස් ව්‍යාපාරිකයන් වශයෙන් නාමිකව හඳුන්වා ගන්නා වෙනයම් පැලැන්තියක් සතුව ඇති බව පෙනේ.

මෙසේ ව්‍යාපාරිකයන් වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින බොහෝ දෙනකු නොවිධිමත් ධනෝපායන මාර්ග වෙතින් කෝටිපති, ප්‍රකෝටිපති තත්වයට පත් වූවෝ වෙති. මොවුන් ගෙන් කොටසක් මත්ද්‍රව්‍ය ඇතුළු අනේක විධ නීති විරෝධී ජාවාරම් වලින් මුදල් උපයන අතර සාදාචාර විරෝධී ව්‍යාපාර ආදියෙන් මුදල් උපයන්නෝ ද මොවුන් අතර සිටිති.

එමෙන්ම මෙලෙස අසීමාන්තික අයුරින් මුදල් ඉපැයීමේ යාන්ත්‍රණය බොහෝ විට තනිව සිදු කරන්නක් නොවේ. ප්‍රබල දේශපාලනඥයන් ගේ පොලිසීයේ සේම පාතාලයේ සහය ද මොවුනට සෘජුවම හෝ අනියමින් හිමිව තිබේ.

එමඟින් දැනටත් රට පුරා ව්‍යාප්තව ඇති රජයට බදු ගෙවන සම්බාහන ආයතන ජාලයේම දිගුවක් ලෙස සමාජ ගත වී කෙමෙන් සමාජ සම්මත වන මෙම නව සමාජ ශාලා සංස්කෘතික ප්‍රවණතාවන කෙරෙහි අප සියළු දෙනා වඩාත් සංවිභාගශීලී වීමේ කාලය දැන් එළඹී තිබේ.

ඒ මේ වන විට ප්‍රවර්ධනය වෙමින් පවතින නව සමාජ ශාලා සංස්කෘතියට සමගාමීව අභිසාරිකාවන් පුහුණු කරවන වෘත්තීය පුහුණු ආයතන පවා මෙරට ඇති වීමේ හැකියාවක් පවතින බැවිනි.

තිලක් සේනාසිංහ

 

එතෙර - මෙතෙර