වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සැලසුම් කළ පැය 48ක සංකේත වැඩවර්ජනය අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බව පවසන වෘත්තීය සමිති, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන හා මෙහෙයුම් ගැටලු විසඳීමට ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව අවධාරණය කරති.මෙම වර්ජනයට දුම්රිය රියදුරන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති 26ක් එක්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර ඇත. මීට පෙර වෘත්තීය සමිති 27ක් විසින් සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින වැඩවර්ජනයක් සැලසුම් කර තිබූ අතර, පසුව එම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව යළි තහවුරු කර තිබිණි. දුම්රිය ප්‍රමාදවීම්, දුම්රිය අවලංගු කිරීම්, එන්ජින් හා මැදිරි හිඟය, නිරන්තර තාක්ෂණික දෝෂ සහ ඒ හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා ඇතුළු කරුණු ද වෘත්තීය සමිති විසින් මීට පෙර පෙන්වා දී තිබේ. එම ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ප්‍රමාණවත් විසඳුම් නොලැබීම ද වර්ජන ක්‍රියාමාර්ගයට හේතුවක් බව ඔවුහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පසුගිය 14 වැනිදා පැවති සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී සේවා සම්බන්ධ ගැටලු ද සාකච්ඡා වී ඇත. සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් කාලයක් අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇති නමුත්, වෘත්තීය සමිති එම ඉල්ලීම පිළිගෙන නොමැති බව වාර්තා වේ. එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතාට මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දුම්රිය පරිපාලනය නිකුත් කළ කරුණු විමසීමේ ලිපිය ද මෙම ගැටලුවේ තවත් කරුණක් වී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා එම ලිපිය නිකුත් කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව සාකච්ඡාවේදී පෙන්වා දී ඇති බව ද වාර්තා වේ. වෘත්තීය සමිති පවසන්නේ තම ක්‍රියාමාර්ගයේ අරමුණ රජයට අපහසුතාවක් ඇති කිරීම නොව, දුම්රිය දෙපාර්තමේන්තුව යළි ගොඩනඟා කාර්යක්ෂම හා විශ්වාසනීය දුම්රිය සේවාවක් ස්ථාපිත කිරීම සහ මගී ජනතාවට වඩාත් යහපත් සේවාවක් ලබාදීම බවයි. මේ අතර, බලධාරීන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවිය හැකි බව ද වෘත්තීය සමිති නායකයෝ අනතුරු අඟවා සිටිති.