කොළඹ වරායට පිටතින්, එනම් සැතපුම් 17ක් පමණ බටහිරින් පිහිටි සාගර තීරයේදී මාලදිවයින් ධජය යටතේ ධාවනය වන MV MSS Graphene නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් හිස් බහාලුම් (Containers) 17ක් මුහුදට පතිත වීමේ සිදුවීමත් සමඟින්, සාගරයේ සිදුවන නාවික හා පාරිසරික අර්බුද පිළිබඳ මාතෘකාව නැවතත් මෙරට පුළුල් අවධානයට ලක්ව තිබේ. ජූලි 28 වැනි දින මාලදිවයිනේ මාලේ අගනුවරින් කොළඹ වරාය බලා පිටත්වූ මෙම නෞකාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති, ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සහ ඉන්දියන් සාගර කලාපයේ (IOR) නාවික ආරක්ෂාව හා නිරීක්ෂණ කටයුතු සිදුකරන කොළඹ තොරතුරු ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානය (Colombo Information Fusion Centre – IFC) වෙත පළමුවෙන්ම වාර්තාව ලැබී තිබුණි. අදාළ සිදුවීමෙන් පසු නිරීක්ෂණය කරන ලද ගුවන් ඡායාරූප (Aerial shots) මඟින් පැහැදිලිවම තහවුරු වූයේ මෙම හිස් බහාලුම් ප්‍රබල මුහුදු දියවැල්වලට හසුවෙමින් සාගර දියඹ මත පාවෙමින් පවතින බවයි. මෙම තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ඉඳුරුව ප්‍රදේශයේ වෙරළ තීරයටද සුදු පැහැති හිස් බහාලුමක් ගොඩගසා තිබෙනු නිරීක්ෂණය කිරීමට හැකි විය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විශේෂ හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, දැනට පවතින මුහුදු රළ පහරවල් සහ දියවැල් ගමනාගමන රටාවන් අනුව මෙම පාවෙන බහාලුම් බේරුවල සිට මීගමුව සහ පුත්තලම දක්වා වූ වෙරළ තීරයන් දෙසට ගසාගෙන ඒමේ අතිශය ඉහළ ප්‍රවණතාවක් පවතින බවයි.
මෙම තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මට්ටමෙන් පියවර ගණනාවක් ගෙන තිබේ. කොළඹ සමුද්‍රීය සෙවුම් හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre – MRCC) විසින් ප්‍රදේශයේ ගමන් ගන්නා සියලුම නෞකාවලට විශේෂ නාවික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ නාවික යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට යොදවා තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා තිබේ. අදාළ මුහුදු තීරයේ ගමන් කරන සියලුම ධීවර යාත්‍රා සහ බහුදින යාත්‍රාවලට දැඩි ලෙස විපරමෙන් සහ ආරක්ෂිතව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති අතර, යම් හෙයකින් මෙම පාවෙන බහාලුම් දර්ශනය වුවහොත් වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ රේඩියෝ සන්නිවේදන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි ධීවර වරාය නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

ජාත්‍යන්තර සමුද්‍රීය නාවික ක්ෂේත්‍රය තුළදී මෙලෙස නෞකාවකින් භාණ්ඩ හෝ බහාලුම් මුහුදට වැටීමේ අනපේක්ෂිත සිදුවීම හඳුන්වනු ලබන්නේ ‘කාගෝ ලොස්’ (Cargo Loss) යන තාක්ෂණික නාමයෙනි.
සාගරය මැදදී සිදුවන මෙවැනි ‘කාගෝ ලොස්’ හෙවත් භාණ්ඩ අහිමිවීමේ සිදුවීම් පිටුපස කරුණු සහ සාධක ගණනාවක් පවතී. ඉන් ප්‍රධානතම සහ බහුලවම බලපාන සාධකය වන්නේ අයහපත් කාලගුණික තත්ත්වයන් සහ ඒ සමඟ ඇතිවන රළු මුහුදු ස්වභාවයයි. විශේෂයෙන්ම මෝසම් සුළං සක්‍රිය වන වාරකන් කාලවලදී මුහුද අතිශයින් රළු වන අතර, එක පිට එක පැමිණෙන දැවැන්ත තද රළ පහරවල් හමුවේ නෞකාව අධික ලෙස දෙපසට සහ ඉදිරියට-පසුපසට පැද්දීමට ලක්වේ. නාවික ක්ෂේත්‍රයේදී ‘රෝලින්’ (Rolling) සහ ‘පිචින්’ (Pitching) ලෙස හඳුන්වන මෙම දැඩි පැද්දීම නිසා බහාලුම් මත යෙදෙන විෂම බර සහ තෙරපීම හමුවේ ඒවා නෞකාවෙන් ගිලිහී මුහුදට වැටීමේ අවදානම ඉතා ඉහළය. ඊට අමතරව, බහාලුම් නෞකාව මත සුරක්ෂිතව තබා ගැනීම සඳහා භාවිත කරන අගුලු ලෑමේ ක්‍රමවේදයන්හි පවතින බුරුල්වීම් (Lashing Failures), යාන්ත්‍රික දෝෂ හෝ අගුලු ලෑමට යොදා ගන්නා ප්‍රමිතියෙන් තොර උපාංග භාවිතයද මෙයට සෘජුවම හේතු වේ. තද රළ පහර හමුවේ මෙම යකඩ අගුලු ගැලවී හෝ කැඩී යාමෙන් බහාලුම් එකිනෙක ගැටෙමින් මුහුදට පෙරළී යයි. මීට අමතරව, නාවික මාර්ගයේදී සිදුවන වෙනත් හදිසි නාවික අනතුරු, නෞකාවේ බර සමතුලිතතාව (Weight Balance) නිසි ලෙස ගණනය නොකිරීම නිසා ඇතිවන දෝෂ, මෙන්ම නෞකාවේ එන්ජින් පද්ධතියේ හෝ සුක්කානම් පද්ධතියේ ඇතිවන හදිසි කාර්මික බිඳවැටීම්ද මෙවැනි අනතුරුවලට මඟ පාදයි.

නෞකාවක ගමනාගමනය සහ එහි ඇති භාණ්ඩවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට පැවරෙන්නේ අතිවිශාල වූත්, බැරෑරුම් වූත් වගකීමකි. නෞකාව, එහි සේවය කරන නාවික පිරිස සහ එහි පටවා ඇති සියලුම භාණ්ඩ කිසිදු හානියකින් තොරව ගමනාන්තය වෙත රැගෙන යාමේ පූර්ණ වගකීම ඇත්තේ කපිතාන්වරයා මතය. ඉදිරියට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් සහිත කාලගුණ තත්ත්වයන්, නාවික මාර්ගයේ පවතින බාධක සහ සිතියම් පිළිබඳව අතිනවීන තාක්ෂණය ඔස්සේ පූර්ව නිරීක්ෂණයක යෙදෙමින්, සුදුසු නාවික මාර්ගයන් තෝරා ගනිමින් නෞකාව මෙහෙයවීම කපිතාන්වරයාගේ මූලිකම යුතුකම සහ වගකීමයි. යම් හෙයකින් නෞකාවක මෙවැනි ‘කාගෝ ලොස්’ තත්ත්වයක් නිර්මාණය වුවහොත්, ඒ පිළිබඳ තත්පරයක් හෝ ප්‍රමාද නොවී අදාළ වෙරළබඩ නාවික බලධාරීන්ට, වරාය පාලක මැදිරි වෙත සහ අසල ගමන් ගන්නා අනෙකුත් නෞකාවලට සන්නිවේදනය කර දැනුම් දීමට කපිතාන්වරයා නීතිමය වශයෙන් බැඳී සිටී. මෙවැනි අවාසනාවන්ත අනතුරක් සිදුවීම යනු හුදෙක් නෞකා සමාගමට සිදුවන ආයතනික හා මූල්‍යමය අලාභයක් පමණක් නොව, කපිතාන්වරයා ඇතුළු නෞකා නාවික පිරිසගේ වෘත්තීය අනාගතයටද දැඩි බලපෑමක් එල්ල කරන, ඔවුන්ගේ සුදුසුකම් ගැටලුකාරී තත්ත්වයට පත්කරන බරපතළ කරුණකි.
සමුද්‍රීය භාණ්ඩ මුහුදට පෙරළීම යනු හුදෙක් යම් ව්‍යාපාරික ආයතනයකට හෝ නෞකා සමාගමකට සිදුවන භාණ්ඩ අහිමිවීමක් ලෙස පමණක් සරලව අර්ථ දැක්විය නොහැක. මන්දයත්, ඒ පිටුපස සමුද්‍රීය සහ ගොඩබිම් පද්ධතියට බලපාන බරපතළ අනුප්‍රාප්තික හා පාරිසරික ගැටලු රාශියක් නිර්මාණය වන බැවිනි. පළමුවෙන්ම, සමුද්‍රීය ජීවී පරිසරයට සහ පරිසර පද්ධතියට වන හානිය අතිමහත්ය. මුහුදට ඇදවැටෙන බහාලුම් තුළ සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩ මෙන්ම, ඇතැම් අවස්ථාවලදී දැඩි විෂ සහිත රසායනික ද්‍රව්‍ය, ජලයට ඔරොත්තු නොදෙන ප්ලාස්ටික් හා වෙනත් ද්‍රව්‍ය, හෝ පුපුරන සුළු අන්තරායකර ද්‍රව්‍ය පවා අඩංගු විය හැක. මේවා මුහුදු වතුරට මුසු වීමෙන් හෝ බහාලුම් කැඩී බිඳී යාමෙන් සාගර ජලයේ ගුණාත්මකභාවය විනාශ වන අතර, මත්ස්‍යයන්, කොරල්පර සහ අන් සියලු සමුද්‍රීය ජීවීන්ට දිගුකාලීන මාරාන්තික තර්ජනයක් එල්ල වේ.

මෙලෙස මුහුදේ පාවෙන බහාලුම් ධීවර යාත්‍රා සහ සමස්ත නාවික ගමනාගමනයට එල්ල කරන්නේ අතිමහත් වූ තර්ජනයකි. මුහුදේ පාවෙමින් පවතින හෝ ජලයෙන් යටවී අර්ධ ලෙස ගිලී ඇති බහාලුම්, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සාගරයේ ගමන් ගන්නා කුඩා ධීවර යාත්‍රාවල සහ දැවැන්ත බහුදින යාත්‍රාවල ගැටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. මෙවැනි ගැටීම් නිසා ධීවර යාත්‍රා පෙරළී යාම, හානි වීම හෝ ධීවරයන්ගේ ජීවිත පවා අහිමි වන බරපතළ අනතුරු පවා සිදු විය හැකිය. අවසාන වශයෙන්, දියවැල් ඔස්සේ ගොඩබිමට ගසාගෙන එන බහාලුම් සහ ඉන් පිටතට ගලන ප්ලාස්ටික් හා විෂ අපද්‍රව්‍ය නිසා අපගේ සුන්දර වෙරළ තීරයන් පාරිසරික වශයෙන් දැඩි ලෙස දූෂණයට ලක්වී, සංචාරක කර්මාන්තයටද මින් සෘජු බලපෑම් එල්ල වේ.
මේ මොහොතේ කොළඹට පිටතින් සිදුවූ මෙම අනතුර පිළිබඳව කතා කිරීමේදී, ශ්‍රී ලංකාව මුහුණ දුන් අතීතයේ ඓතිහාසික හා අවාසනාවන්ත පාඩම් නැවත මතක් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම 2021 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න කොළඹ සහ මීගමුව මුහුදු තීරයේදී සිදුවූ MV X-Press Pearl නෞකා ඛේදවාචකය මීට ආසන්නතම සහ භයානකම උදාහරණයයි. එම නෞකාවේ ඇතිවූ හදිසි ගිනිගැනීමත් සමඟ එහි තිබූ බහාලුම් සිය ගණනක් මුහුදට වැටී විනාශ වූ අතර, ඉන් මෙරට සාගර පරිසරයට සිදු වූ හානිය ගණනය කළ නොහැකි තරම්ය. එම බහාලුම්වල තිබූ ප්ලාස්ටික් කැට (Nurdles), අතිශය විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ සුන්බුන් ටොන් ගණනින් මීගමුව, උස්වැටකෙයියා ඇතුළු වෙරළ තීරයන් වෙත ගොඩගැසුණි. මින් මීගමුව කලපුවට, වෙරළ තීරයට සහ ආසන්න මුහුදේ ධීවර කර්මාන්තයට සිදුවූ හානිය මෙරට ඉතිහාසයේ සාගර පරිසර පද්ධතියකට සිදුවූ විශාලතම සහ දීර්ඝකාලීනම පාරිසරික විනාශය ලෙස ඉතිහාසයට එකතු විය.

එබැවින්, මාලදිවයින් ධජය යටතේ යාත්‍රා කළ MV MSS Graphene නෞකාවෙන් කොළඹට පිටතින් මුහුදට පතිත වූ බහාලුම් හිස් ඒවා බව ප්‍රකාශ වුවද, එමඟින් ඇති වන අවදානම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැක. මන්දයත්, හිස් බහාලුමක් වුවද සාගරය මත පාවෙන විට ජලයෙන් අර්ධ වශයෙන් යටවී පැවතීම නිසා, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ගමන් ගන්නා කුඩා ධීවර යාත්‍රාවලට සහ වෙළෙඳ නෞකාවලට නොපෙනෙන දැවැන්ත තර්ජනයක් එල්ල කරන බැවිනි. මෙය හුදෙක් එක් නෞකා සමාගමකට සිදුවූ මූල්‍යමය හෝ භාණ්ඩ අලාභයක් (Cargo Loss) පමණක් නොව, අපගේ ධීවර ප්‍රජාවගේ ජීවිතවලට, නාවික ආරක්ෂාවට මෙන්ම බේරුවල සිට පුත්තලම දක්වා වූ සමුද්‍රීය සහ වෙරළබඩ පරිසර පද්ධතියට එල්ල වන සෘජු තර්ජනයකි. අතීතයේ සිදුවූ MV X-Press Pearl වැනි අවාසනාවන්ත ඛේදවාචකයන්ගෙන් ලබාගත් අමිහිරි අත්දැකීම්ද සිහිපත් කරමින්, ඉදිරියේදී සිදුවිය හැකි මෙවැනි නාවික අනතුරුවලින් අපගේ වටිනා සාගර සම්පත, වෙරළ තීරයන් සහ ජාතික ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය සහ සමුද්‍රීය බලධාරීන් නිරන්තරයෙන් දැඩි අවධානයෙන්, පූර්ව සූදානමින් සහ නිසි නීතිමය රාමුවකින් යුතුව කටයුතු කිරීම ජාතික මට්ටමේ ඉහළම අත්‍යවශ්‍යතාවකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක