යුරෝපය පුරා පැතිර යන අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ මේ වන විට පුද්ගලයන් 2,025 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රංශ සෞඛ්‍ය අංශ තහවුරු කොට තිබේ.සෞඛ්‍ය වාර්තා අනුව ජූනි මාසයේ අවසන් සතිය තුළ මරණ සංඛ්‍යාව ඊට පෙර සතියට සාපේක්ෂව 29%කින් ඉහළ ගොස් තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ස්ටෙෆනි රිස්ට් සඳහන් කළේ මියගිය අයගෙන් බහුතරයක් වයස අවුරුදු 45ට වැඩි පුද්ගලයන් බවත්, වයස්ගත ජනතාව අතර මරණ සංඛ්‍යාවේ පැහැදිලි ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්ය.පසුගිය ජූනි 24 වැනිදා ප්‍රංශය සිය ඉතිහාසයේ සාමාන්‍ය උෂ්ණත්වය අනුව වාර්තා වූ උණුසුම්ම දිනය අත්විඳ තිබේ. එදින පැරිස් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 41කට ආසන්න වූ අතර රට පුරා ප්‍රදේශ රැසකට ‘රතු’ මට්ටමේ තාප අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ ප්‍රංශයේ දකුණු ප්‍රදේශවල උෂ්ණත්වය ඉදිරි දිනවලදී සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවයි. බෝඩෝ, ටූලූස් සහ ඒජන් ඇතුළු නගරවල සෙල්සියස් අංශක 36-37 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ. යුරෝපයේ බටහිර ප්‍රදේශයට වර්ධනය වන විශාල අධි පීඩන පද්ධතියක් හේතුවෙන් සති අන්තය වන විට ප්‍රංශය සහ දකුණු බ්‍රිතාන්‍යය පුරා තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව කාලගුණ බලධාරීහු පවසති.මේ අතර අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඊයේ 02 වැනිදා ප්‍රකාශ කළේ ගිම්හාන සමය ආරම්භයේ සිට මේ දක්වා ලැව්ගිනි 7,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. එම ගිනි හේතුවෙන් හෙක්ටයාර 8,700කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, රට පුරා ලැව්ගිනි අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි.මෙම අධික උෂ්ණත්වය ප්‍රංශයට පමණක් සීමා වී නොමැත. පෘතුගාලයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන අතර රාත්‍රී කාලයේදී පවා සෙල්සියස් අංශක 25ට වඩා වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබේ. ස්පාඤ්ඤයේ නිරිතදිග ප්‍රදේශ සඳහා ‘ඇම්බර්’ මට්ටමේ උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එහිද උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.පසුගිය සතියේ නෙදර්ලන්තයේ ද අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 480කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.මෙම පසුබිම යටතේ ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දහවල් කාලයේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී, ජලය පානය කරමින්, වයස්ගත පුද්ගලයන් සහ දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි. 2022 යුරෝපීය උෂ්ණ රැල්ලෙන් පමණක් ප්‍රංශයේ 11,000කට අධික මරණ වාර්තා වූ අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි අධික උෂ්ණත්ව තත්ත්වයන් වාර ගණනින් සහ තීව්‍රතාවයෙන් වැඩි වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.