පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 2.30 දක්වා කාලය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022.05.01 සිට 2023.09.15 දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025.10.24 වන දින සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අදාළ තීරණය මෙසේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.
තවද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කාරක සභා රැස්වීම්වලදී සිදු කරන ලද විමර්ශනවලට අදාළව සභාගත කරන ලද වාර්තා මගින් හඳුනාගත් සිද්ධි පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ගත් තීරණය ද මෙසේ අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. (මෙම තීරණ දෙක 2026.07.10 දිනැති අංක 164 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂය අංක 87 සහ 88 වශයෙන් ඇතුළත් කර ඇත.)
අනතුරුව ප.ව 2.30 සිට ප.ව 5.30 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැඩ කටයුතු සහ කාර්ය සාධනය පිළිබඳව කාරක සභා සභාපතිවරයා විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටයි තීරණය වී ඇත.