පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල නගරය ඇතුළු ප්‍රදේශ රැසක උග්‍ර ජල හිඟයක් හටගෙන ඇති අතර, එම තත්ත්වය හමුවේ මොනරාගල නගරයට ජලය සැපයීම දින තුනකට වරක් දක්වා සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මොනරාගල කාර්යාලය පියවර ගෙන තිබේ. මොනරාගල නගරයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍ර දෙකම සිඳී යාම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව, මරගල කඳුවැටියෙන් ගලා බසින ‘ජී ලෝන්’ ජල මූලාශ්‍රය වියළි කාලගුණය නිසා මුළුමනින්ම වාගේ සිඳී යාමෙන් දිනකට පිරිසිදු කර බෙදා හරිනු ලබන ඝන මීටර් 3,500ක ජල ධාරිතාව ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, දෙවන ජල මූලාශ්‍රය වන කුඹුක්කන් ඔයෙන් දිනකට නිෂ්පාදනය කෙරෙන ජලය ඝන මීටර් 6,000ක ප්‍රමාණය බුත්තල, ඔක්කම්පිටිය, මඩුල්ල සහ මොනරාගල යන ප්‍රදේශ සියල්ල අතර බෙදා හැරීමට සිදුවීම නිසා එය ද ප්‍රමාණවත් නොවේ. තවද යාල වනෝද්‍යානය හරහා ගලා යන කුඹුක්කන් ඔයේ ජලය වනජීවීන්ගේ පැවැත්ම සඳහා ද අත්‍යවශ්‍ය වන බැවින් ඉන් වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීමට ද බාධා එල්ල වී ඇත.
මේ අතර, මරගල කඳුවැටිය ආශ්‍රිතව සිදුවන අනවසර ඉදිකිරීම් ඇතුළු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ජල මූලාශ්‍ර විනාශ වන බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු, එම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කරවා ජලපෝෂක ප්‍රදේශ සුරැකීමට කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. එමෙන්ම, මෙම ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස 2019 වසරේදී මුල්ගල තැබූ, පානීය ජලය, වාරිජලය සහ විදුලිය උත්පාදනය සඳහා සැලසුම් කළ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මෙතෙක් නිම නොවීම පිළිබඳව ද ජනතාව සිය කණගාටුව සහ විරෝධය පළ කරති. පවතින ජල අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස උස් බිම් ප්‍රදේශවලට බවුසර් රථ මගින් ජලය සැපයීමටත්, අලුතින් නළ ළිං ඉදිකිරීමටත් ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇති අතර, ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, ජල කාන්දුවීම් හෝ නළ කැඩීම් පවතී නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.