පිළිකාව නිට්ටාවටම සුව කරන ඔසු සොයාගෙන තිබේද?


පසුගිය මැතිවරණ සමයේ මෙරට ප්‍රබල දේශපාලනඥයකු කළ ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එම ප්‍රකාශයෙන් කියැවුණේ ශ්‍රී ලාංකික විද්‍යාඥයකු විසින් පිළිකා රෝගය නිට්ටාවට සුව කළ කිරීමට පර්යේෂණ පවත්වන බවයි. ඔහු මෙසේ පැවසූවේය.

“පිළිකා රෝගය නිට්ටාවට සුවකිරීම සඳහා පර්යේෂණ පවත්වනවා. පසුගිය දා ප්‍රවෘත්තියක් පළවුණා. ඒ පර්යේෂණය කරන්නේ අපේ පර්යේෂණ සහ සංවර්ධන ඒකකයේ විද්‍යාඥයෙක්.”

පිළිකාව වැනි බරපතළ රෝගයකින් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවැනි පුවතක් කොතරම් බලාපොරොත්තුවක් ඇති කරනවාද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

මෙම පුවතත් සමඟම පිළිකා රෝගීන්ගේ ඥාතීන් අතර විශේෂ කුතුහලයක් සහ දැඩි උනන්දුවක් මතුවිය. විශේෂයෙන්ම, මෙම නව සොයාගැනීම ඖෂධයක්ද නැතහොත් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්ද යන්නත්, එය දැනට ලංකාව තුළ ලබාගත හැක්කේ කොතැනින්ද යන්නත් පිළිබඳව බොහෝ දෙනෙක් විමසමින් සිටිති. මෙමඟින් බරපතළ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තුළ නව බලාපොරොත්තු රැසක් යළි දල්වාලීමට සමත්ව ඇත. එබැවින්, මෙම කාරණය කිසිවිටෙකත් පක්ෂග්‍රාහී හෝ දේශපාලනික කෝණයකින් නොව, පුළුල් සමාජීය හා මානුෂීය දෘෂ්ටිකෝණයකින් දැකීම සහ විස්තර කිරීම කාලීන අවශ්‍යතාවකි.

එහෙත් මෙවැනි ප්‍රකාශයක් ඇසූ විට අප ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ එය ප්‍රකාශ කළේ කවුරුන්ද යන්න නොවේ. ඇත්තටම පිළිකාව නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් සොයාගෙන තිබේද? එසේ සොයාගෙන තිබේ නම් ඒ බව විද්‍යාත්මකව තහවුරු කරන්නේ කෙසේද? එවැනි සොයාගැනීමක් ලෝක වෛද්‍ය විද්‍යාව විසින් පිළිගන්නේ කුමන පදනමක් මතද යන්නයි.

මෙය එක් දේශපාලනඥයකුගේ ප්‍රකාශයක් පිළිබඳව පමණක් විමසිය යුතු කාරණයක් නොවේ. වරින් වර ඩෙංගු රෝගයට සාර්ථක ඖෂධ සොයාගත් බවට පළවන ප්‍රකාශ, දියවැඩියාව නිට්ටාවට සුව කරන බව පවසමින් පළවන දැන්වීම් මෙන්ම කොවිඩ් වසංගත සමයේ විවිධ පැණි වර්ග පානය කිරීමෙන් කොවිඩ් රෝගය සුව කළ හැකි බවට පැතිරුණු ප්‍රචාර ද අපට සිහිපත් කරගත හැකිය. මේ සියල්ල තුළින් මතුවන පොදු ප්‍රශ්නය වන්නේ රෝගයක් සුව කළ හැකි බවට කරන ප්‍රකාශයක් සැබෑ විද්‍යාත්මක සොයාගැනීමක් ලෙස පිළිගත හැක්කේ කෙසේද යන්නයි.

පළමුව අප අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ සියලුම රෝග එකම ආකාරයෙන් ක්‍රියා නොකරන බවයි. සමහර රෝග සම්පූර්ණයෙන් සුව කළ හැකිය. තවත් සමහර රෝගවලදී රෝග ලක්ෂණ පාලනය කරමින් රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දිය හැකිය. තවත් ඇතැම් රෝගවලදී ප්‍රතිකාර මගින් රෝගයේ වර්ධනය මන්දගාමී කළ හැකි වුවත් සම්පූර්ණයෙන් සුව කිරීම තවමත් අභියෝගයකි.

මෙහිදී පිළිකා රෝගය හොඳ උදාහරණයකි. පිළිකාව යනු තනි රෝගයක් නොවේ. එය ශරීරයේ විවිධ අවයවවල ඇතිවිය හැකි රෝග විශාල සමූහයකට භාවිත කරන පොදු නාමයකි. පියයුරු පිළිකාව, පෙනහළු පිළිකාව, අක්මා පිළිකාව සහ රුධිර පිළිකා එකිනෙකට වෙනස් රෝග තත්ත්වයන්ය. ඒවා ඇතිවන ආකාරය, වර්ධනය වන ආකාරය සහ ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන ආකාරය ද වෙනස් වේ.

ඒ නිසා එක් ඖෂධයක් සොයාගත් පමණින් සියලුම පිළිකා සුව කළ හැකි බව පැවසීම විද්‍යාත්මකව නිවැරදි නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඇතැම් පිළිකා මුල් අවධියේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සුව කිරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි. එබැවින් පිළිකා රෝගයට ප්‍රතිකාර තිබීම සහ සියලුම පිළිකා සුව කළ හැකි එකම ඖෂධයක් තිබීම යනු සම්පූර්ණයෙන් වෙනස් කාරණා දෙකකි.

අලුත් ඖෂධයක් සොයාගැනීමේදී විද්‍යාඥයන් මුලින්ම සිදු කරන්නේ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පර්යේෂණ කිරීමයි. ඇතැම් අවස්ථාවලදී එම ද්‍රව්‍යය පිළිකා සෛල විනාශ කරන බව විද්‍යාගාර පරීක්ෂණවලදී නිරීක්ෂණය විය හැකිය. තවත් අවස්ථාවලදී සතුන් යොදාගෙන සිදුකරන පරීක්ෂණවලදී යහපත් ප්‍රතිඵල ලැබිය හැකිය.

එහෙත් මෙතැනදී අප තේරුම්ගත යුතු වැදගත් කරුණක් තිබේ. විද්‍යාගාරයක වීදුරු භාජනයක් තුළ පිළිකා සෛල විනාශ කළ හැකි ද්‍රව්‍යයක් සොයාගැනීම යනු මිනිසකුගේ ශරීරයේ පිළිකාව සුව කළ හැකි ඖෂධයක් සොයාගැනීම නොවේ.

මිනිස් සිරුර ඉතා සංකීර්ණ පද්ධතියකි. විද්‍යාගාරයකදී සාර්ථක වූ ද්‍රව්‍යයක් මිනිස් සිරුරට ලබාදුන් විට එය ක්‍රියා කරන ආකාරය වෙනස් විය හැකිය. එම ද්‍රව්‍යය ශරීරයට හානි කළ හැකිද, වෙනත් අවයවවලට අහිතකර බලපෑම් ඇති කරන්නේද, අවශ්‍ය ප්‍රමාණයෙන් රෝගී සෛල වෙත ළඟා වන්නේද වැනි කරුණු ගණනාවක් පරීක්ෂා කළ යුතුය.

මේ නිසා අලුත් ඖෂධයක් පිළිබඳ පර්යේෂණයකදී මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණ ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් නව ඖෂධයක් සායනික පරීක්ෂණ අදියර කිහිපයක් ඔස්සේ ගමන් කරයි. පළමු අදියරේදී කුඩා පිරිසක් යොදාගෙන ඖෂධයේ ආරක්ෂිතභාවය සහ සුදුසු මාත්‍රාව පිළිබඳව සොයා බලයි. දෙවැනි අදියරේදී රෝගීන් වැඩි පිරිසක් යොදාගෙන එහි ප්‍රතිඵල සහ අතුරු ආබාධ පරීක්ෂා කරයි. තෙවැනි අදියරේදී තවත් විශාල රෝගීන් පිරිසක් යොදාගෙන පවතින ප්‍රතිකාර සමඟ සසඳමින් එහි සාර්ථකත්වය සහ ආරක්ෂිතභාවය තහවුරු කරගැනීමට උත්සාහ කරයි.

ඉන්පසුව අදාළ නියාමන ආයතන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ඇගයීමට ලක් කර ඖෂධය භාවිතයට අනුමැතිය ලබාදිය යුතුද යන්න තීරණය කරයි. ඖෂධය භාවිතයට පැමිණීමෙන් පසුවද එහි අතුරු ආබාධ සහ දිගුකාලීන බලපෑම් පිළිබඳ නිරීක්ෂණ සිදු කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද සායනික පරීක්ෂණ පිළිබඳව පැහැදිලි කරන්නේ මේ ආකාරයටය. එනම් පර්යේෂණයක මුල් ප්‍රතිඵලයක්, මිනිසුන් සඳහා සාර්ථක ඖෂධයක් බවට පත්වීමට තවත් දිගු ගමනක් තිබේ.

මෙවැනි වෙනසක් අපට ශ්‍රී ලංකාවේම සිදුවීම් කිහිපයකින් පැහැදිලි කරගත හැකිය.

ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පිළිකා සෛල හඳුනාගැනීම හා ඒවා ඉලක්ක කරගැනීම සම්බන්ධයෙන් වැදගත් පර්යේෂණ සිදුකර තිබේ. පිළිකා සෛලවල පවතින විශේෂ ජෛව සලකුණක් වන Plectin පිළිබඳ ඔහුගේ පර්යේෂණ අනාගතයේදී නව ඖෂධ නිපදවීමට මඟ පෑදිය හැකි සොයාගැනීමක් ලෙස සැලකේ.

එහෙත් එම පර්යේෂණය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමේදී ඔහු පිළිකාවට නිට්ටාවට සුවයක් සොයාගෙන ඇති බවට වැරදි අදහසක් පැතිර ගියේය. පසුව ඔහුම පැහැදිලි කළේ තමන් සොයාගෙන ඇත්තේ අනාගතයේ ඖෂධ බවට පත්විය හැකි සංයෝග නිපදවීමට මඟ පෑදිය හැකි පර්යේෂණ ප්‍රතිඵල මිස පිළිකාව සුව කරන ඖෂධයක් නොවන බවයි.

එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා හා ජෛව තාක්ෂණ ආයතනයේ පර්යේෂණවලට සම්බන්ධ Vernolac නමැති පෝෂණ අතිරේකය පිළිබඳවද පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ඇති විය. ඇතැම් ප්‍රචාරවලදී එය පිළිකා සෛල විනාශ කරන ඖෂධයක් ලෙස හඳුන්වා දෙනු ලැබිණි. නමුත් පර්යේෂණයක් සිදුකර තිබීම හෝ පෝෂණ අතිරේකයක් වෙළෙඳපොළට පැමිණ තිබීම යනු එය පිළිකා සුව කරන ඖෂධයක් බවට තහවුරු කිරීමක් නොවේ. අදාළ පර්යේෂණය සායනික පරීක්ෂණ හා ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියර දක්වා පැමිණ නොමැති බවද කරුණු විමර්ශනවලදී පෙන්වා දී තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ අපේ රටේ විද්‍යාඥයන් කරන පර්යේෂණ අගය කිරීම සහ ඒවා පිළිබඳව අතිශයෝක්තියෙන් ප්‍රචාරය කිරීම යනු දෙකක් බවයි. පර්යේෂණයක සැබෑ වටිනාකම රැකගැනීමට නම් එහි ප්‍රතිඵල නිවැරදිව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ වරින් වර ඩෙංගු රෝගයට සාර්ථක ප්‍රතිකාරයක් සොයාගත් බවට විවිධ පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන ආකාරය අප දැක තිබේ. ඇතැම් විට එවැනි ප්‍රකාශ මාධ්‍ය හරහාද විශාල ප්‍රචාරයක් ලබයි. රෝගීන් සුව වූ බවට පවුල්වල සාමාජිකයන් කරන ප්‍රකාශ සහ පුද්ගලික අත්දැකීම් ද මෙවැනි ප්‍රචාරවලට එක් වේ.

නමුත් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීම වන්නේ මේ වනවිට ඩෙංගු වෛරසය විනාශ කරන නිශ්චිත ප්‍රතිවෛරස් ඖෂධයක් නොමැති බවයි. රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම, අවශ්‍ය තරල ලබාදීම, රෝග ලක්ෂණ පාලනය කිරීම සහ බරපතළ තත්ත්වයකදී කඩිනමින් රෝහල් ප්‍රතිකාර ලබාදීම මෙහිදී වැදගත් වේ.

ඩෙංගු රෝගියකු නිසි වෛද්‍ය ප්‍රතිකාර යටතේ සුවය ලැබීම යනු යම් පුද්ගලයකු ලබාදුන් විශේෂ ඖෂධයක් ඩෙංගු සුව කළ බවට සාක්ෂියක් නොවේ. බොහෝ ඩෙංගු රෝගීන් නිසි සහායක ප්‍රතිකාර සමඟ සුවය ලබති. එම නිසා රෝගියකු සුව වූ පමණින් ඖෂධයක සාර්ථකත්වය තහවුරු කළ නොහැකිය.

දියවැඩියාව සම්බන්ධයෙන්ද මෙවැනි ප්‍රචාර බහුලව දැකිය හැකිය. විවිධ වෙබ් අඩවි, රූපවාහිනී වැඩසටහන් සහ සමාජ මාධ්‍ය දැන්වීම් හරහා දින කිහිපයකින් හෝ සති කිහිපයකින් දියවැඩියාව නිට්ටාවට සුව කළ හැකි බවට ප්‍රකාශ කරනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී ස්වාභාවික ඖෂධ, ශාකසාර පානයන් හෝ විශේෂ කැප්සියුල මේ සඳහා ප්‍රචාරය කරනු දක්නට ලැබේ.

නමුත් දියවැඩියාව සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවබෝධ කරගත යුතු කරුණක් තිබේ. පළමු වර්ගයේ දියවැඩියාව සහ දෙවැනි වර්ගයේ දියවැඩියාව අතර වෙනසක් පවතී. විශේෂයෙන්ම දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති ඇතැම් පුද්ගලයන්ට බර අඩු කිරීම, ආහාර පාලනය, ව්‍යායාම සහ සුදුසු වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය සමනය වූ තත්ත්වයකට (Remission) ළඟා විය හැකිය. එහෙත් එය රෝගය සම්පූර්ණයෙන්ම නිට්ටාවට සුව වූ බවට සමාන නොවේ. නැවත රුධිර සීනි මට්ටම ඉහළ යාමේ අවදානමද පවතී.

එබැවින් දියවැඩියාව සුව කරන බවට දැන්වීම් පළකරන ඖෂධයක් පිළිබඳව විමසීමේදී එය කුමන වර්ගයේ දියවැඩියාව සඳහාද, කුමන පරීක්ෂණවලින් එහි සාර්ථකත්වය තහවුරු කර තිබේද යන්න සොයා බැලිය යුතුය.

මෙවැනි දැන්වීම් හරහා වෛද්‍යවරුන්ගේ නම්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප සහ ව්‍යාජ සාක්ෂි පවා භාවිත කරන අවස්ථා තිබේ. 2026 වසරේදී ශ්‍රී ලංකාවේද ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයකුගේ නම සහ ඡායාරූප අවභාවිත කරමින් දියවැඩියාව නිට්ටාවට සුව කරන බව කියන නිෂ්පාදනයක් ප්‍රචාරය කිරීම පිළිබඳව කරුණු විමර්ශනයක් සිදුකර තිබිණි

මෙවැනි තත්ත්වයකට අප මුහුණ දුන් වඩාත්ම කැපී පෙනෙන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 වසංගත සමයයි.

එම කාලයේදී කොවිඩ් රෝගය වැළැක්වීමට හෝ සුව කිරීමට හැකි බව කියමින් විවිධ පැණි වර්ග සහ දේශීය ඖෂධ පිළිබඳව විශාල ප්‍රචාරයක් ඇති විය. විශේෂයෙන්ම එක්තරා පැණියක් ලබාගැනීමට ජනතාව විශාල වශයෙන් එක්රැස් වූ ආකාරය අපට අමතක කළ නොහැකිය. ඇතැම් දේශපාලනඥයන් පවා එය ප්‍රසිද්ධියේ පානය කළ අතර, ඒ පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇති විය.

නමුත් එම පැණිය කොවිඩ් රෝගය සුව කරන ඖෂධයක් බවට විද්‍යාත්මකව තහවුරු වූයේ නැත. 2021 මැයි මාසයේදී එම පැණිය සම්බන්ධයෙන් සිදුකළ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය කොවිඩ්-19 සඳහා සුව කිරීමේ ප්‍රතිකාරයක් නොවන බවත්, එයින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබීමේ හැකියාව ඉතා අඩු බවත් අදාළ විශේෂඥ කමිටුව පෙන්වා දුන්නේය. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ අත්හිටුවීමටද තීරණය කෙරිණි.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ දේශීය වෛද්‍ය දැනුම හෝ පාරම්පරික ඖෂධ ප්‍රතික්ෂේප කිරීම නොවේ. ඕනෑම ඖෂධයක් එහි ස්වභාවය කුමක් වුවත් නිසි විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් කළ යුතුය. එම පරීක්ෂණවලින් සාර්ථක බව තහවුරු වන්නේ නම් එය පිළිගැනීමට කිසිදු බාධාවක් නැත. ගැටලුව වන්නේ පරීක්ෂණවලින් තහවුරු වීමට පෙර එවැනි නිෂ්පාදන රෝග සුව කරන ඖෂධ ලෙස ප්‍රචාරය කිරීමයි.

රෝගයක් සුව කළ හැකි ප්‍රතිකාරයක් සොයාගැනීම සැබෑවටම සිදුවිය හැකි දෙයකි. එයට ජාත්‍යන්තර වශයෙන් ඉතා හොඳ උදාහරණ තිබේ.

හෙපටයිටිස් C යනු අක්මාවට හානි කරන වෛරස් ආසාදනයකි. අතීතයේදී එය දිගුකාලීනව පැවතිය හැකි, බරපතළ අක්මා රෝගවලට මඟ පෑදිය හැකි තත්ත්වයක් විය. නමුත් නවීන ඖෂධ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ඍජුවම වෛරසයට ක්‍රියා කරන ඖෂධ (Direct-Acting Antivirals) හඳුන්වා දීමට හැකි විය.

අද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙම ඖෂධ මගින් හෙපටයිටිස් C ආසාදිතයන්ගෙන් සියයට 95කට වැඩි පිරිසක් සුව කළ හැකි බවයි. සාමාන්‍යයෙන් සති 8ත් 12ත් අතර කෙටි ප්‍රතිකාර කාලයකින් එවැනි ප්‍රතිඵල ලබාගත හැකිය. මෙය එක්තරා රෝගයක් සඳහා විද්‍යාත්මක පර්යේෂණ මගින් සාර්ථක ප්‍රතිකාරයක් සොයාගත හැකි බවට ඉතා පැහැදිලි උදාහරණයකි.

තවත් උදාහරණයක් වන්නේ ඇතැම් පිළිකා සඳහා ඉලක්කගත ඖෂධ හඳුන්වාදීමයි. උදාහරණයක් ලෙස ඇතැම් ලියුකේමියා රෝගීන් සඳහා භාවිත කරන Imatinib ඖෂධය නිසා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති විය. මෙම ඖෂධය විශේෂිත අණුක වෙනසක් සහිත නිදන්ගත මයිලොයිඩ් ලියුකේමියා (Chronic Myeloid Leukaemia) රෝගීන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාරයක් බවට පත්විය.

එහෙත් එයින් සියලුම ලියුකේමියා හෝ සියලුම පිළිකා සුව කළ හැකි බව අදහස් නොවේ. එය නිශ්චිත රෝග තත්ත්වයක් සඳහා නිශ්චිතව ක්‍රියා කරන ඖෂධයකි.

මෙහිදී තවත් වැදගත් උදාහරණයක් වන්නේ නිදන්ගත වකුගඩු රෝගයයි. මෙම රෝගය ඇති වූ පසු වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවිය හැකිය. ඇතැම් අවස්ථාවලදී ඖෂධ, ආහාර පාලනය සහ වෙනත් ප්‍රතිකාර මගින් රෝගයේ වර්ධනය මන්දගාමී කරගත හැකිය. දරුණු අවස්ථාවලදී රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධ කිරීම අවශ්‍ය විය හැකිය.

නමුත් වකුගඩු බද්ධ කිරීමක් සිදුකළ පමණින් රෝගය සම්පූර්ණයෙන් සුව වූ බව පැවසිය නොහැකිය. බද්ධ කළ වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට දිගටම ඖෂධ භාවිත කිරීමට සිදුවේ.

තවත් අතිශය දුර්ලභ රෝගයක් වන්නේ Fibrodysplasia Ossificans Progressiva (FOP) ය. මෙය සාමාන්‍යයෙන් ‘Stone Man Syndrome’ හෙවත් මිනිස් සිරුර ක්‍රමයෙන් ගල් බවට පත්වන රෝගය ලෙස හැඳින්වේ. මෙහිදී මාංශපේශී, කණ්ඩරා සහ බන්ධන වැනි මෘදු පටක ක්‍රමයෙන් අස්ථි පටක බවට පත්වීම සිදුවේ. එමගින් ශරීරයේ චලනය සීමා විය හැකිය.

මෙම රෝගයට සම්පූර්ණ සුවයක් තවමත් නොමැත. එහෙත් 2023 වසරේදී ඇමෙරිකානු FDA ආයතනය Palovarotene නමැති ඖෂධයට අනුමැතිය ලබාදුන්නේ මෙම රෝගීන්ගේ ශරීරයේ අලුතින් අස්ථි සෑදීමේ ප්‍රමාණය අඩු කිරීම සඳහාය. එනම් සම්පූර්ණ සුවයක් නොමැති රෝගයක වුවද රෝගයේ බලපෑම අවම කිරීමට විද්‍යාවට හැකි වී තිබේ.

මෙවැනි උදාහරණවලින් පෙනී යන්නේ සෑම රෝගයකටම නිට්ටාවට සුවයක් සොයාගත හැකි බව නොව, විද්‍යාත්මක පර්යේෂණ මගින් රෝගීන්ගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කළ හැකි බවයි.

එසේ නම් යම් පුද්ගලයකු හෝ ආයතනයක් රෝගයකට සාර්ථක ප්‍රතිකාරයක් සොයාගත් බව ප්‍රකාශ කළ විට සාමාන්‍ය ජනතාවට ඒ පිළිබඳව සොයා බැලිය හැක්කේ කෙසේද?

පළමුව එම පර්යේෂණය සිදුකර ඇත්තේ කුමන ආයතනයක්ද, පර්යේෂකයන් කවුරුන්ද සහ එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත්තේ කොහේද යන්න සොයා බැලිය යුතුය. එය විද්‍යාත්මක සඟරාවක පළවූ පර්යේෂණයක්ද? වෙනත් ස්වාධීන විද්‍යාඥයන් විසින් එය සමාලෝචනය කර තිබේද? මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂණ සිදුකර තිබේද? එම පරීක්ෂණවලට සහභාගි වූ රෝගීන් සංඛ්‍යාව කොපමණද? ඔවුන්ගෙන් සුවය ලැබූ ප්‍රතිශතය කොපමණද? ප්‍රතිකාරයෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද? යන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු තිබිය යුතුය.

එසේම අදාළ ඖෂධයට නිසි ඖෂධ නියාමන ආයතනයක අනුමැතිය ලැබී තිබේද යන්නත් සොයා බැලිය යුතුය. මෙහිදී පර්යේෂණයක් ලියාපදිංචි කර තිබීම පමණක් එහි ප්‍රතිඵල සාර්ථක බවට සහතිකයක් නොවන බවද මතක තබාගත යුතුය.

අපේ රටේ ජනතාවට මෙවැනි තොරතුරු විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා සායනික පරීක්ෂණ ලේඛනය (Sri Lanka Clinical Trials Registry) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය වැනි නිල මූලාශ්‍ර භාවිත කළ හැකිය.

‘Stone Man Syndrome’ හෙවත් මිනිස් සිරුර ක්‍රමයෙන් ගල් බවට පත්වන රෝගය

විශේෂයෙන්ම පිළිකා වැනි බරපතළ රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් මෙවැනි ප්‍රචාරවලට රැවටී තමන් ලබාගන්නා වෛද්‍ය ප්‍රතිකාර නතර කිරීම ඉතා භයානක විය හැකිය. තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් හෝ විද්‍යාත්මකව තහවුරු නොකළ දේශීය ප්‍රතිකාරයක් මත පමණක් විශ්වාසය තැබීමෙන් වටිනා ප්‍රතිකාර අවස්ථා අහිමි විය හැකිය.

අවසානයේදී අප තේරුම්ගත යුතු වැදගත්ම කාරණය වන්නේ විද්‍යාව යනු කෙනකුගේ ප්‍රකාශයක් මත සත්‍යයක් පිළිගන්නා ක්‍රමවේදයක් නොවන බවයි. එය සාක්ෂි, පරීක්ෂණ, නැවත නැවත තහවුරු කිරීම් සහ ස්වාධීන ඇගයීම් මත පදනම් වූ ක්‍රියාවලියකි.

ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ලෝකයටම බලපාන රෝගයකට සාර්ථක ප්‍රතිකාරයක් සොයාගන්නේ නම් එය මුළු රටටම ආඩම්බර විය හැකි විශිෂ්ට ජයග්‍රහණයකි. එවැනි සොයාගැනීම්වලට අප සහාය දිය යුතුය. ඒවා පිළිබඳව උනන්දුවක් දැක්විය යුතුය. එහෙත් ඒවා පිළිගත යුත්තේ විද්‍යාත්මක සාක්ෂි මත මිස දේශපාලන ප්‍රකාශ, සමාජ මාධ්‍ය ප්‍රචාර හෝ ආකර්ෂණීය මාතෘකා මත නොවේ.

මන්ද, රෝගියකුට බලාපොරොත්තුවක් ලබාදීම උතුම් කාර්යයක් වුවත්, විද්‍යාත්මකව තහවුරු නොකළ බලාපොරොත්තුවක් ලබාදීම ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි බැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර