බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ බෙංගාල බොක්ක ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවය හේතුවෙන් ය.

බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යඹ, සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අද දිනයේ ඇති විය හැකියි.දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි යි.ගිගුරුම් සහික වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.මේ අතර ගංගා කලු , කැළණි, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර පැවසුවේ නිල්වලා ගඟ පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි.පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් බලාත්මකයි.

ඒ අනුව අදියර 2 යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරිණි.බදුල්ල, කොළඹ, හම්බන්තොට , කලුතර , මහනුවර කෑගල්ල , මාතලේ නුවරඑලිය , රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට ද නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවක් ඇති වුවහොත්, ත්‍රිවිද හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ඇතුළු සියලු පාර්ශ්වකාර ආයතන වලට සූදානමින් සිටින්නැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ, ජාතික හදිසි ආපදා ක්‍රියාන්විත සැලසුමට අනුව අවශ්‍ය පරිදි ත්‍රිවිද හමුදා භට පිරිස් යෙදවීමට කටයුතු කරන බවයි.

කාලීන පුවත්