බෙංගාල බොක්කේ යළි කැළඹිල්ලක්: 15, 16, 17 දිනවල වැසි වැඩි වෙයි

 

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (11) දිනයෙන් පසු කැළඹිලි ස්වභාවයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කැළඹිලි ස්වභාවය ක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් බවටත්, ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය විය හැකි බව කාලගුණ දත්ත අනුව අනාවරණය වී තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව, නොවැම්බර් 11 වැනිදා පමණ ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මෙම කැළඹිලි ස්වභාවය නිර්මාණය වීමට නියමිතය. එය නොවැම්බර් 13 වැනිදා පමණ වන විට අඩු පීඩන කලාපයක් බවට පත්වී, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බවට අපේක්ෂා කෙරේ.ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, නොවැම්බර් 13 වැනිදා පමණ නිර්මාණය වන අඩු පීඩන කලාපය ඉන් අනතුරුව පැය 24ක කාලය තුළ වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි බවයි.මේ අතර, මෙම කාලගුණ පද්ධතියේ බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවල දිවයිනට එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසා තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.මෙම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ උතුරු දෙසට ගමන් කළහොත් දිවයිනට දැඩි බලපෑමක් ඇති විය හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර තිබේ.කෙසේ වෙතත්, මේ වන විට එහි ගමන් මාර්ගය හෝ දිවයිනට ඇති කළ හැකි බලපෑම පිළිබඳ නිශ්චිත අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බව ද ඔහු පෙන්වා දී ඇත. ඒ අනුව ඉදිරි කාලගුණ තත්ත්වයන් තවදුරටත් අධ්‍යයනය කර අවශ්‍යතාව අනුව මහජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කාලීන පුවත්