තමන් සිදු කළ අන්දමේ සාවද්‍ය ප්‍රකාශ කරමින් මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කෙරෙන අනර්ථකාරී දේශනා නොපවත්වන බවට සිරි සමන්ත භද්‍ර නමින් සමාජය හමුවේ පෙනී සිටින පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභික නාහිමිවරු ඉදිරියේදී යළිත් පොරොන්දු වී තිබේ.උන් වහන්සේ මෙලෙස මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ගෙන් සමාව අයැද සිටියේ දෙවන වරට වීම ද විශේෂත්වයකි.සුජාතා සිටු දේවිය හා සිද්ධාර්ථ බෝසතාණන් පිළිබඳ තමන් කළ මතභේදයට තුඩු දුන් ප්‍රකාශය පැරණි අහසේ අලුත් සඳක් නම් කෘතියේ ඇතුළත් වූ කරුණු විස්තර කිරීමට යෑමේදී සිදුකරන ලද්දක් බවත් නමුදු එය චේතනාන්විතව බුදු සමයට අපහාස කිරීමේ අරමුණින් කළ ප්‍රකාශයක් නොවන බවත් මෙහිදී පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු මහනාහිමි ප්රමුඛ විංසත්වර්ගික කාරක සභාව හමුවේ ප්‍රකාශ කළ බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.
ඒ අතර එම වැරැද්ද සම්බන්ධයෙන් සමාව ලබා දීමෙන් පසු මල්වතු මහනාහිමියන් ප්රමුඛ කාරක සංඝ සභාව ලබාදුන් උපදෙස් හා නියමයන් අනුව කටයුතු කරන බවට පිටිදූවේ සිරිධම්ම හිමියන් පොරොන්දු වී තිබේ.පිටිදූවේ සිරිධම්ම හිමිගේ එම ප්‍රකාශය පිළිගෙන දෙවන වරටත් සමාව ලබා දීමට තීරණය කර තිබෙන අතර එවැනි වරදක් නැවත කළහොත් යළි සමාව දීමක් නොකරන බව සංඝ සභාව මඟින් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැනුම් දුන් බව ද පහමුණේ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කළහ. මීට පෙර වතාවක ද පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් සහ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් මෙලෙසම සමාව ගෙන තිබේ.ඒ ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු විහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි. එවර ද පිටිදූවේ සිරිධම්ම හිමියන් ශ්‍රී දළදා වහන්සේ සහ මල්වතු විහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ පිළිබදව සමාව ගැනීමට මල්වතු මහා විහාරයට ගොස් තිබිණ.එසේ නොගියේ නම් පිටිදූවේ සිරිධම්ම හිමියන් සංඝ සම්මුතියට යටත් ව මල්වතු විහාර පාර්ශ්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබු බව ද වාර්තා විය.එහි දී ද මල්වතු විහාර කාරක සංඝ සභාව ලිපියක් මගින් සිරිධම්ම හිමියන්ට දැනුම් දී ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසයි.සිරිධම්ම හිමියන් ද එය ලිඛිතව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් එය පිළිගත් අතර පසුව සිරිධම්ම හිමියන් තමන් කළ වරද සම්බන්ධයෙන් මල්වතු මහා නා හිමියන් ඉදිරියේදී වාචිකව සමාව ද ඉල්ලා ඇත.
සායනික මානසික රෝග වන භින්නෝන්මාදය(Schizophrenia ) ක්ෂිප්තතාව( Mania) වැනි සයිකෝසීය රෝග ඇත්තෝ ද මෙවැනි විෂම අදහස් පළ කරති.සිරිධම්ම හිමියන් තමන් සියළු කෙලෙසුන් නසා ලූ බව පවසා සිටීම ද එවැනි හේතුවක් මත සිදු කරන බව ඇතැමුන් ගේ වැටහීම ය.ඒ හිමියන් තම පැවිදි නාමය පවා වෙසක් කොට සාකල්‍යයෙන්ම පවිත්‍ර යන අරුත සහිත සිරි සමන්ත භද්‍ර නාමය ආරෝපණය කර ගනිමින් පුළුල් මාධ්‍ය ප්රචාරක කටයුතු වල යෙදීම එවැනි මානසික සාධක මුල් කර ගත් එකක් බව එක් පිරිසකගේ මතය වී තිබේ. වර්තමානයේ කිසිවකුට හෝ කෙලෙසුන් නැසිය නොහැකි බවක් බුදු දහමේ සඳහන් ව නැත.එහෙත් එවැන්නකු කෙසේවත් එය මුල් කොට ලොවට හඬ නඟා නොපවසන බව දහමේ දැක්වෙයි.පිටිදූවේ සිරිධම්ම හිමිගේ මෙම වැඩ පිළිවෙල ධර්මානුකූල නොවනුයේ එබැවිනි. නමුත් මෙහි ඇති සැබෑ බරපතල තත්වය එය නොවේ. බුදු දහමේ මූලික හරය පිටු දැක එහි එන ඇතැම් වගන්ති හුවා දක්වමින් වෙනත් අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම පිණිස වන මූලධර්මවාදී ගණයේ ආගමික කල්ලි ද නූතන බුදු සමය මඟින් ඉස්මතු වීමේ යම් ප්‍රවණතාවක් ඇති වී තිබීම ය. මූලධර්මවාදය යන පදය සාමාන්‍යයෙන් විද්වතුන් විසින් සලකනු ලබන්නේ බොහෝ දුරට නූතන ආගමික සංසිද්ධියක් ලෙසිනි. නූතනවාදයේ පරාමිතීන් විසින් අර්ථ දක්වා ඇති පරිදි මූලධර්මවාදයට අනුව ආගම නැවත අර්ථකථනය කෙරේ. එමෙන්ම නූතනවාදී, ලෞකිකවාදී, ලිබරල් සහ සර්වාගමික ප්රවණතාවන්ට එරෙහිව ප්‍රතික්‍රියාවක් ලෙස තම ආගම ප්‍රතිනිර්මාණය කිරීම මූලධර්මවාදීහු සිදු කරති.මෙහි දී මූලික බුදු සමයේ එන පරමාදර්ශයක් වන අහිංසාවට අභියෝගයක් එල්ල වනසේ මස් මාංශ අනුභවයට වැඩි අගැයුමක් හා ප්‍රචාරයක් ලබා දීම, බෞද්ධ සාහිත්‍යයේ එන ආදර්ශමත් චරිත කෙලෙසමින් ඒ ඔස්සේ තම් ප්රතිරූප ඉහළ නංවා ගැනීම ආදිය සුලබ නිදසුන් සේ දැක්වීමට පුළුවන.
මේ අතර ත්‍රිපිටක සාහිත්‍යයට අමුතු ආරෝපණ එක් කිරීම ද මෙවන් බෞද්ධ මූලධර්මවාදීන් ගේ එක් උපක්රමයකි.සාමාන්‍යයෙන් ත්‍රිපිටක සාහිත්‍යයේ කිසිදු තැනක බුදු පැවිද්දන්ට හෝ ගිහියන්ට “පින්වත්” යන විශේෂණයෙන් ආමත්ත්‍රණය කොට නැත. ඊට හේතුව බුදු බෞද්ධ පරමාර්ථ අතරේ කුසලයට මිස පිනට වැඩි අගැයුමක් නොලැබෙන බැවිනි.දහමේ දැක්වෙන අන්දමට පෙර පින් මහිමයන් භුක්ති විඳින මිනිසුන් සේම සුනඛාදී සතුන් ද සිටිය හැක.නමුත් කුසලය යනු හුදු උත්තරීතර මිනිස් දහම් හා සබැඳුණු ආර්ය මාර්ගය හා සම්බන්ධ වූවකි.එවන් තත්වයක් යටතේ බුදු හිමියන් පැවිද්දන් හා ගිහියන් “පින්වත්” යන හැඳින්වීමෙන් යුතුව ආමන්ත්‍රණය කළ බවක් පවසමින් තම ආගමින කොටසට කල්ලියට අයත් භික්ෂූන් ද “පින්වත් ස්වාමීන් වහන්සේ ලා” යන හැඳින්වීමකින් විශේෂයෙන් හුවා දක්වන භික්ෂූන් ද වර්තමානයේ දක්නට ලැබේ. මෙම සුවිශේෂීතාවන් සමාජ විද්‍යාවේ හැඳින්වෙනුයේ වානිජමය පරමාර්ථ සහිත සන්නාමකරණය ( Branding) ලෙසිනි. මූලධර්මවාදය යන නම ඇසුණු සැනින් අප බොහෝ දෙනකුගේ සිහියට නැඟෙනුයේ ඉස්ලාමයයි.එහෙත් ,එවන් මූලධර්මවාදීන් ගෙන් ඉස්ලාම් භක්තිකයන් මුදා ගන්නා සමස්ත ලංකා ජමියතුල් උලමා නම් මධ්‍යගත ඉස්ලාම් ආගමික සංවිධානයක් ද අප රටේ තිබේ.එය අප රටේ ජනගහනයෙන් 9.6% ක් වන ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාවට ආගමික සහ ප්‍රජා නායකත්වය සපයන ඉස්ලාමීය දේවධර්මාචාර්යවරුන්ගේ අග්රස්ථ ආගමික ආයතනයයි.නැතහොත් ඉස්ලාමීය ධර්ම ධරයන්ගේ සභාව ය. එය 1924 දී පිහිටුවන ලද අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 2000 අංක 51 දරන පනත මගින් සංස්ථාගත කොට තිබේ. සමස්ත ලංකා ජමියතුල් උලමා දිස්ත්‍රික්ක 25 ක් සහ ප්‍රාදේශීය ශාඛා 102 ක් පිහිටුවා ඇති අතර, දේවධර්මාචාර්යවරුන් 5000 කට අධික සංඛ්‍යාවක් බඳවාගෙන තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආචාර්ය උපාධි, විශේෂ උපාධි, ශාස්ත්‍රපති උපාධිය හෝ අවම තරමින් මූලික උපාධියවත් හිමි කර ගත්තවුන් බව පෙනේ. මෙම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මඟින් ධර්ම්නානුකූල විනිශ්චයන් ගනු ලබන්නේ ඉස්ලාමීය ධර්ම ශාස්ත්‍රීය පදනමක් යටතේ සාමූහික හා ප්‍රජාතත්ත්‍රීය ක්‍රියාකාරී ව්‍යයුහයක් මඟිනි.බුදු දහමේ මෙම ක්‍රමය “ගණ තන්ත්ර” ලෙස විස්තර කෙරේ.බුදුන් දවස ලිච්චවීන් ගේ පාලන ක්‍රමය ද මීට බොහෝ දුරට සමානය.ඒ අනුව අප ජන සමාජයට විනාශය පමුණුවන බොහෝ විට විදේශීය බලවේග විසින් සැපයෙන හා මහා පරිමාන ධන සම්භාර වලින් යැපෙන ආගමික මූලධර්මවාදී ක්‍රියා එක් ආගමික ජන කොටසකට පමණක් සීමා නොවන බව අප ඉතා හොඳින් සිහි තබා ගත යුතු ය.එමෙන්ම එම ආගමික මූලධර්මවාදී ආයතන හා ඒ හා සහසම්බන්ධකම් පවත්වන දේශපාලකයන් පිළිබඳව ද අප ඉතා හොඳින් විමසිලිමත් විය යුතු ය.
රේණුකා දමයන්ති