ලොව ධනවත්ම මිනිසා ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යයි

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටින ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරියේදී ඇමරිකාවේ ජනාධිපති ධුරයට තරග කිරීමට ඉඩ ඇති බවට මේ වනවිට ආරංචි පැතිරෙමින් තිබෙනවා. තමා ඇමරිකානු පක්ෂය (American Party) නමින් පක්ෂයක් පිහිටුවන බවට මස්ක් පසුගිය දිනවල ඉඟි කර තිබුණා.

අති විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන ඔහු මේ ආකාරයෙන් පක්ෂයක් පිහිටුවාගෙන දේශපාලනයට අවතීර්ණ වුවහොත් එය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ඉතා කැපී පෙනෙන සිදුවීමක් වනු ඇති. ඇතැම් විට මෙම පක්ෂය එරට සම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ දෙක වන රිපබ්ලිකන් පක්ෂයට සහ ඩිමොක්‍රටික් පක්ෂයට අනාගතයේ අභියෝගයක් එල්ල කිරීමටත් හැකියාවක් තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂය යනු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයත් වන පක්ෂය යි. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් අයත් වූයේ ඩිමොක්‍රටික් පක්ෂයට යි.

ලෝකයේ ඉහළම ධන කුවේරයන් ගේ ලැයිස්තුවේ අංක එකේ ස්ථානයේ පසුවන මස්ක් ගේ ශුද්ධ වත්කම බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව පසුගිය 4 වැනි දින සටහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 361 ක් හැටියට යි. ශුද්ධ වත්කම යනුවෙන් හැඳින්වෙන්නේ කෙනෙකුගේ සමස්ත දේපල (Assets) වල වටිනාකමෙන් ඔහු ගෙවීමට ඇති ණය වැනි (Liabilities) දේ අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය යි.

ලෝකයේ ඉහළම ධන කුවේරයන් ගේ ලැයිස්තුවේ අංක එකේ ස්ථානයේ පසුවන මස්ක් ගේ ශුද්ධ වත්කම බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකයට අනුව පසුගිය 4 වැනි දින සටහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 361 ක් හැටියට යි. ශුද්ධ වත්කම යනුවෙන් හැඳින්වෙන්නේ කෙනෙකුගේ සමස්ත දේපල (Assets) වල වටිනාකමෙන් ඔහු ගෙවීමට ඇති ණය වැනි (Liabilities) දේ අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය යි.

බ්ලූම්බර්ග් දර්ශකයේ දෙවැනි තැන පසුවන මාක් සකර්බර්ග් ගේ වත්කමට වඩා මස්ක් ගේ වත්කම ඇ.ඩොලර් බිලියන 107 කින් වැඩි යි. සකර්බර්ග් ගේ ශුද්ධ වත්කම එදින සටහන් වූයේ ඇ.ඩොලර් බිලියන 254 ක් ලෙස යි.

ඊලොන් මස්ක් ඉතා ලාභදායක ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු බව රහසක් නොවෙයි. විදුලි මෝටර් රථ නිපදවන ටෙස්ලා සමාගම සහ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු ආදියට සම්බන්ධ ස්පේස්එක්ස් (SpaceX) සමාගම ඔහුගේ ව්‍යාපාර අතරින් ප්‍රධාන යි. පසුගිය දිනවල ශ්‍රී ලංකාවටත් වේගවත් අන්තර්ජාල සේවා සපයන්නට පටන් ගත් ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවය පවත්වාගෙන යන්නේත් ස්පේස්එක්ස් සමාගම යි

ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන දේශපාලනයට එළැඹෙන්නට යන බවට ආරංචි පැතිරෙන්නේ ඔහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර විශාල විරසකයක් පැන නැගී ඇති පසුබිමක් තුළයි. මේ විරසකයට හේතු වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද පනත් කෙටුම්පතක්. මෙම කෙටුම්පත ට්‍රම්ප් හැඳින්වූයේ One Big Beautiful Bill යන නමින්. මෙම කෙටුම්පතට මස්ක් විශාල විරෝධයක් දැක්වුවා.

මස්ක් මෙම විරෝධය දැක්වීමට පටන් ගත්තේ ඔහුත් ට්‍රම්ප් පරිපාලනයේ කොටස්කාරයකු ලෙස සිටියදීම යි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මස්ක් ට්‍රම්ප් ගේ ප්‍රබල ආධාරකරුවකු වූ අතර මස්ක්ගෙන් ලැබුණු සහය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට විශාල වශයෙන් උදව් වූ බව පැවසෙනවා. ට්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මස්ක් අති විශාල මුදලක් පරිත්‍යාග කර තිබුණා. එම මුදල ඇ. ඩොලර් මිලියන 260 කට වැඩි බවයි සඳහන් වුණේ. එය ලංකා රුපියල් බිලියන 77 කට ආසන්න මුදලක්.

පසුගිය ජනවාරියේ ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු මස්ක්ව ඔහුගේ පරිපාලනයේ ප්‍රධාන තනතුරකට පත් කළා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් සහ රජයේ වියදම් අඩු කිරීම වෙනුවෙන් ට්‍රම්ප් අලුත් දෙපාර්තමේන්තුවක් ඇති කළ අතර එහි ප්‍රධානියකු ලෙස මස්ක් පත් කරනු ලැබුවා. ට්‍රම්ප් සහ මස්ක් අතර ගැටුම පටන් ගත්තේ මස්ක් එම ධුරයේ කටයුතු කරමින් සිටියදී යි.

ඉහත සඳහන් කළ පනත් කෙටුම්පත විවේචනය කරමින් මස්ක් සඳහන් කළේ එය ක්‍රියාත්මක වුවහොත් රටේ අයවැය හිඟය සහ ණය බර වැඩි වනු ඇති බව යි. එමෙන්ම ආර්ථික වශයෙන් පහළ ස්ථරවල ජනතාවට ලබා දුන් සෞඛ්‍ය සහන, ආහාර මුද්දර ආදිය කප්පාදු කර ඇති නිසා ඔවුන්ට බොහෝ පීඩාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද මස්ක් චෝදනා කළා.

ට්‍රම්ප්ගේ පනතෙන් බදු කපා හැරීම් ගණනාවක් යෝජනා කර ඇති අතර මේ නිසා රජයේ ආදායම් විශාල වශයෙන් අඩුවනු ඇති බවට චෝදනා එල්ල වෙනවා.
මෙම බදු සහනවලින් වැඩි වාසි හිමිවන්නේ ධනවතුන්ට බවටත් චෝදනා නැගෙනවා. නමුත් පනතට පක්ෂ අයගේ අදහස වන්නේ මෙම බදු සහන නිසා ව්‍යාපාර දියුණු වී ආර්ථිකය වර්ධනය වනු ඇති බවයි. රැකියා අවස්ථා නිර්මාණය වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ආරක්ෂක කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ඉහළ දමා ඇති බවත් සඳහන්. දේශසීමාවල ආරක්ෂාව සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කෙරෙනු ඇති බව වාර්තා වුණා.

මෙම පනත නිසා ඉදිරි වසර 10 ක කාලය තුළ ඇමරිකාවේ අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 3.3 කින් ඉහළ යනු ඇති බව ඇමරිකානු කොංග්‍රස් අයවැය කාර්යාලය ඇස්තමේන්තු කර තිබුණා.

මේ අතර මස්ක් පවසන්නේ කලින් සඳහන් කළ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස තමා පසුගිය කාලයේ ඉටු කරදුන් දේ මෙම පනතින් ආපසු හරවන බව යි. මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමග මස්ක් එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් වීමටත් පියවර ගත්තා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පාර්ශ්වය පැවසුවේ මස්ක් මෙම පනතට විරුද්ධ වීමට සැබෑ හේතුව වෙනකක් බව යි. විදුලි මෝටර් රථ කර්මාන්තයට දී තිබූ සහන කප්පාදු කිරීම මෙයට සැබෑ හේතුව බවට ඔවුන් චෝදනා කළා.කෙසේ හෝ වේවා මෙම විරසකයත් සමග ට්‍රම්ප් සහ මස්ක් අතර දරුණු වාග් සංග්‍රාමයක් ඇති වුණා.

මස්ක් පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකේම බොහෝ ප්‍රතිපත්තිවල වෙනසක් නැති වෙමින් යන බවයි. ඇමරිකාවේ පොදු ජනතාව ගැන ඔවුන් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබුණා. යම් හෙයකින් ට්‍රම්ප් ගේ පනත් කෙටුම්පත ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් සම්මත වුවහොත් පසුවදා ම තමා දේශපාලන පක්ෂය පිහිටුවන බව ඔහු දින කිහිපයකට පෙර සිය සමාජ මාධ්‍ය පිටුවේ සඳහන් කළා.

දෝෂාභියෝගයක් හරහා ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මස්ක් වරක් ප්‍රකාශ කළා. ට්‍රම්ප් ද ප්‍රකාශ කරන්නේ මස්ක් රටින් නෙරපීම ගැන සලකා බැලිය යුතු බව යි. මස්ක් ගේ උපන් බිම දකුණු අප්‍රිකාව යි. මේ වනවිට ඔහු ඇමරිකාවේ පුරවැසිභාවය ලබා සිටිනවා.

මස්ක් පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකේම බොහෝ ප්‍රතිපත්තිවල වෙනසක් නැති වෙමින් යන බවයි. ඇමරිකාවේ පොදු ජනතාව ගැන ඔවුන් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබුණා. යම් හෙයකින් ට්‍රම්ප් ගේ පනත් කෙටුම්පත ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් සම්මත වුවහොත් පසුවදා ම තමා දේශපාලන පක්ෂය පිහිටුවන බව ඔහු දින කිහිපයකට පෙර සිය සමාජ මාධ්‍ය පිටුවේ සඳහන් කළා.

” මේ පිස්සු පනත් කෙටුම්පත සම්මත වුණොත් ඊට පහුවදා ම ඇමරිකානු පක්ෂය පිහිටුවනවා” යයි එහි සඳහන් වුණා.

බ්‍රහස්පතින්දා වනවිට පනත් කෙටුම්පත කොංග්‍රසයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ද සම්මත වී තිබුණා. දැන් කව්රුත් බලා සිටින්නේ මස්ක් ඔහුගේ ඇමරිකානු පක්ෂය පිහිටුවනු ඇත්ද කියා යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර