

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ අප දන්නා කියන කාලයේ පොත්පත් නොකියවීම දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත්, 1960-80 දශකවලදී ඊට ඉඳුරාම පරස්පර ලෙසින් එක්තරා පොත් වර්ගයක් කියවීම නිසාම සිසුහු දඬුවම් ලැබූහ. ඒ අන් කවරකුගේවත් නොව “මාරක කතා චක්‍රවර්තී” ඩීමන් ආනන්දයන් ලියූ A5 (අඟල් 5.8 x අඟල් 8.3) ප්‍රමාණයේ කුඩා සාක්කු පොත් ය.
වැරදි කළවුන්ට ක්ෂණිකව මරණ දඬුවම ලබා දීමේ බලපත්‍ර (Licence to kill) හිමි වීරයකු හුවා දක්වමින් හා යථාර්ථයෙන් ඉඳුරාම බැහැර ගුප්ත සංසිද්ධීන් මඟින් අප තුළ භාවාත්මක චිත්ත රූප ගොඩනංවමින් පරම්පරාවක්ම සිංහල පොතපත කියවීමට යොමු කළ මෙම සාහිත්‍ය නියමුවාගේ නාමය එවක බරපතල ලෙස අවතක්සේරුවට ලක්ව මේ වන විට ජන අවධානයෙන් ශීඝ්‍රයෙන් දුරස් වෙමින් තිබේ. එය කෙසේවත් නොවිය යුත්තකි.
ලෝක සාහිත්‍ය ඉතිහාසය දෙස බලන විට, “පල්ප් සාහිත්‍යය” (Pulp Fiction) යනු සාමාන්‍ය ජනයා අතර කියවීමේ රුචිය ප්රජාතන්ත්රවාදී කළ ප්‍රධානම බලවේගයයි. 19 වන සියවස අග භාගයේදී පොත්පත් යනු ප්‍රභූ පන්තියේ සුඛෝපභෝගී භාණ්ඩයක්ව පැවති යුගයක, ලාභදායී ලී පල්ප් කඩදාසිවල මුද්‍රණය කර සුළු මුදලකට අලෙවි වූ පල්ප් පොත්පත් හා සඟරා මඟින් ගොවි කම්කරු පන්තියට ද කියවීමේ නව දොරටු විවර විය.
ආරම්භයේදී විචාරකයන් විසින් මේවා තුට්ටු දෙකේ කසිකබල් පොත්පත් ලෙස බැහැර කළ ද, අද වන විට නූතන පොප් සංස්කෘතිය (Pop Culture) හැඩගැස්වූ ප්‍රධාන පදනම ලෙස පිළිගැනෙන්නේ එයයි. විද්‍යා ප්‍රබන්ධ (Amazing Stories), අඳුරු රහස් පරීක්ෂක කතා (Hard-boiled Detectives), ෆැන්ටසි (Conan the Barbarian) සහ භීෂණ කතා (Weird Tales) වැනි ප්‍රභේද බිහි වූයේ ද, අයිසැක් ඇසිමොව්, රේ බ්‍රැඩ්බරි, පිලිප් කේ. ඩික් වැනි ශ්‍රේෂ්ඨයන් සේම අප කවුරුත් දන්නා හඳුනන ලෝක ප්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් පවා තම ලේඛනය ඇරඹුවේ පල්ප් පොත්පත් තුළිනි. පසුව බිහි වූ සුපර්මෑන්, බැට්මෑන් වැනි සුපිරි වීරයන්ට මෙන්ම ‘ස්ටාර් වෝර්ස්’, ‘ඉන්දියානා ජෝන්ස්’ සහ ක්වෙන්ටින් ටැරන්ටිනෝගෙන් ඔපමට්ටම් වූ නූතන සිනමාවට පවා මඟපෑදුවේ මෙම පල්ප් අඩිතාලම බව මේ වන විට සනාථ වී හමාර ය.
මෙම ගෝලීය පල්ප් සාහිත්‍ය සංකල්පයට පිවිසීම පිණිස ශ්‍රී ලාංකික දොරටු විවර කළේ ඩීමන් ආනන්දයන් විසිනි. ඒ අනුව ඩීමන් ආනන්ද යනු ශ්‍රී ලංකාවේ පල්ප් සාහිත්‍යයේ (Pulp Literature) අත්තිවාරම දැමූ සමාරම්භක සේම ප්‍රමුඛතම නිර්මාණකරුවා බව අවිවාදිත ය. ඩීමන් ආනන්දට හිමිව තිබූ “මාරක කතා චක්‍රවර්තී” යන ජනතා අභිධානයම ඒ බව මනාව සනාථ කරයි. ඔහුට මෙම නාමය හිමිවූයේ නිකම්ම නොවේ. ඔහුගේ ප්‍රධාන විෂය පථය අපරාධ සහ ත්‍රාසජනක ප්‍රබන්ධ (Crime and Thriller Fiction) වූ නිසාත් ය. එය අතිශය ජනප්‍රිය වූත්, එහෙත් බරපතල සාහිත්‍ය විචාරයේදී බොහෝ විට නොසලකා හැරුණා වූත් සාහිත්‍ය ප්රවර්ගයකි. ඔහුගේ නිර්මාණශීලීත්වයේ විශේෂත්වය වන්නේ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ වැනි බටහිර රහස් පරීක්ෂක කතාවල පැවති ආකෘතිය, එනම් අපරාධය, හෝඩුවාව, පරීක්ෂණය සහ අවසාන හෙළිදරව්ව දේශීයකරණයට ලක් කොට සිංහල ගමට සහ නගරයට ගැළපෙන පරිදි සකස් කිරීමයි.
1897 දී බ්රෑම් ස්ටෝකර් (Bram Stoker) විසින් සාහිත්‍ය ලෝකයට හඳුන්වා දුන්, පසුව 1958න් පසු ක්‍රිස්ටෝපර් ලීගේ රංගනයෙන් ලෝක සිනමා සංකේතයක් වූ ‘ඩ්රැකියුලා’ (Dracula) චරිතය ද ඩීමන් ආනන්ද දේශීය මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කළේය. ඔහු කළේ දහඅට වන සියවසේ බ්‍රිතාන්‍යය තුළ රොමෑන්තිකවාදය තුළින් මතු වූ ගොතික් භීෂණය සෘජු පරිවර්තනයක් ලෙස ඉදිරිපත් නොකර, ශ්‍රී ලාංකික ජන මනසට ගැළපෙන පරිදි ඔපමට්ටම් කිරීමයි. එය ඔහු තුළ වූ සුවිශේෂ ප්‍රතිභා ශක්තියක් මත පදනම් වූවකි. එම ප්‍රබන්ධ කතාවල සඳහන් අප රටේ බොහෝ දෙනකු නොදන්නා ට්රාන්සිල්වේනියානු මාලිගාව වෙනුවට ශ්‍රී ලාංකික ජන මනසට හුරුපුරුදු බ්‍රිතාන්‍ය යුගයේ අතහැර දැමූ පැරණි වලව්වක් හෝ ඝන කැලෑවක පිහිටි පාළු බංගලාවක් යොදාගැනීම, කවුන්ට් ඩ්රැකියුලා (Count Dracula) වෙනුවට පරම්පරාගත සාපයකට ලක්වූ, මිනී මස් සහ ලේ බොන යක්ෂණියක් බවට පත්වූ වලව්කාර හාමිනේ කෙනෙකු යොදාගැනීම, එම කතා ප්‍රවෘත්තීන්හි එන වැම්පයර් හෙවත් ලේ පිසාච දඩයම්කරු වන වෑන් හෙල්සිං (Van Helsing) වෙනුවට දේශීය කතානායක රහස් පරීක්ෂකයා ආදේශ කිරීම ඩීමන් ආනන්දයන් සතු විශිෂ්ට පරිකල්පන ශක්තිය මනාව විදහා දක්වන්නකි.
කොළඹ, රත්නපුර, අම්පාර මහ දිසාපති පදවි හෙබවූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වන සුනිල් කන්නන්ගරයන් ඒ පිළිබඳව පවසනුයේ වයස අවුරුදු දොළහ-දහතුන කාලයේ තම උපන්ගම වන පාලින්ද නුවර, ඉඟුරුදළුවේ හැඩිගල්ල ජනපද පළමු පියවර සමූපකාර ප්‍රාදේශිකය ඉදිරිපිට පිහිටි නන්දසිරිගේ තේ සිල්ලර කඩය ඉදිරියේ ලණුවක එල්ලා තිබූ ඩීමන් ආනන්දගේ පොත්පත් එසේ එල්ලා තිබිය දීම කියවීමට තමන් පුරුදු වී සිටි බවයි. එය තමන් තුළ කියැවීමේ රුචිය පුබුදු කළ මුල්ම අවස්ථාවක් බව ඔහු ගේ මතයයි. එමෙන්ම තම ගම්පියසට ඩීමන් ආනන්දගේ පොත්පත් හැරුණු කොට අන් කිසිදු පොතක් පත්තරයක් නොආ බව ද සුනිල් කන්නන්ගර පවසයි. ඒ අනුව ඩීමන් ආනන්ද සාම්ප්‍රදායික පාඨකයන් නොවූ පොදු සිංහල සමාජයට ගැළපෙන පරිදි සාහිත්‍යය ජනතාකරණයට ලක් කිරීම අපට කෙසේවත් අමතක කළ නොහැක.
ඉක්මනින් කියවීමට සේම පහසුවෙන් පරිහරණයට සුදුසු සාක්කු පොත් (Pocket Books) ලෙස, පිටු 64-72ත් අතර පරිමාවකින්, තුනී කඩදාසිවල මුද්‍රණය කර ඉතා අඩු මිලකට අලෙවි කළ මෙම පොත් ගැන ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජයප්රකාශ ශිවගුරුනාදන් පවසනුයේ පාසලේ හතේ-අටේ පන්තිවල සිටියදී තමන් කියවූ ඩීමන් ආනන්දගේ පොත්පතින් තම සිත තුළ එම සිදුවීම් මුල් කොටගත් කදිම චිත්ත රූප මැවුණු බවකි. “හැබැයි හුඟක් වෙලාවට ඒ පොත් එක හුස්මට කියවන්න මට සිද්ධ වුණා. එකක් ඒ කාලේ ඒවා කියවන එකට වැඩිහිටියන් කැමති නොවීම. අනික ඒක කාගෙන් හරි ඉල්ලගෙන පටස් ගාලා කියවලා දිය යුතු පොතක් වීම. කොහොම හරි මට අදත් බොහොම වේගයෙන් කියවන්න හැකි වෙලා තියෙන්නෙ ඩීමන් ආනන්දගේ පොත්පත් කියවලා තමයි. නමුත් ඊට පස්සේ ජනප්‍රිය වුණු චිත්‍ර කථාවල ඒ වගේ රූප චිත්ත මාධ්‍යයෙන් ඉදිරිපත් කරලා තිබුණු නිසා අර වගේ චිත්ත රූප මවා ගැනීමේ ඉඩකඩ මඟ හැරුණා.” හෙතෙම කීය.
අප රටේ පොත්පත් ප්රකාශනය පිළිබඳ වාචික ඉතිහාසයට අනුව, මරදානේ ටවර් හෝල් අසල ආනන්ද පොත්හල මඟින් සහ එකල ප්‍රකට ලිංගම් සුරුට්ටු නිෂ්පාදක පංචලිංගම්ගේ සොහොයුරු සොක්කලිංගම්ගේ මැදිහත්වීමෙන් මෙම පොත් විශාල ලෙස මුද්‍රණය විය. සොක්කලිංගම් ඊට ආනන්ද පොත්හල කියා නම් යොදා ඇත්තේ ඩීමන් ආනන්ද නිසා බව මා අසා තිබේ. සිය සමීපතමයන් “සොක්කා” නමින් හඳුන්වනු ලැබූ ඔහු පා පැදියක් සිය වාහනය වශයෙන් තබා ගත් චාම් සරල මිනිසෙකි.
ඩීමන් ආනන්දයන්ගේ සැබෑ නම ඩිකී වීරකෝන් බවත් ඔහු මාතර බණ්ඩත්තර ඉපදී හැදී වැඩුණු බවත් පැවසේ. එමෙන්ම ඔහුගේ ලේඛන දිවිය කැපී පෙනෙන සිදුවීම් සමුදායකින් සමන්විත ය. ළමා කාලයේදී අගනුවර පදිංචියට ආ ඩීමන් ආනන්ද මුලින්ම දොස්තොව්ස්කිගේ ‘අපරාධය සහ දඬුවම’ සිංහලට නැඟුවද නවකයෙකු වූ බැවින් එය ප්‍රකාශකයන් කිහිප දෙනකු විසින්ම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් නොනැවතී ‘සිනමා’ සහ ‘රිදී තිරය’ යන පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, ලිංගම් මුදලාලිගේ ඉල්ලීම පරිදි සිගරට්, සුරුට්ටු මිලට ගන්නවුන්ට අලෙවි කළ පොතක් ලෙස ‘ගංතෙර හොල්මන’ නම් පොතක් ලියමින් සිය මාරක කතා චාරිකාව ඇරඹීය. නිකුත් වී සති දෙකකින් පිටපත් 10,000ක් අලෙවි වූ මෙම පොත්, මරදානේ ටවර් රඟහල අද්දර සිය කාර්යාලය පවත්වාගෙන ගිය එවක වෙසක් සුබ පැතුම් කලාවේ පුරෝගාමී සිත්තරකු වූ අබේසිංහයන්ගේ (ගම්පහ කේ. ඒ. පියදාස අබේසිංහ) වර්ණවත් කවරවලින් සැරසී පාඨකයන් නොවන තරුණයන් වසඟයට ගත් බව පෙනේ. මෙම විචිත්‍රවත් බව ද පල්ප් සාහිත්‍යයේ විශේෂ ලක්ෂණයකි.
මේ අතර එවකට වෙසක් සුබ පැතුම් හා ගීත පොත් ප්රකාශනය සම්බන්ධයෙන් නම් දැරූ කලෙයි මඟල් සමාගම සමඟ ද ඩීමන් ආනන්දයන්ගේ සම්බන්ධයක් පැවැති අතර, එහිදී ඒ සඳහා ඔහු හඳුන්වා දුන් ආධුනික ලේඛකයකු ලියූ “මෝහිනී” නම් පොත අතිශය ජනප්‍රිය විය. ඔහු, පසු කලෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති පදවිය තෙක් පැමිණි, ‘ඇල්ල ළඟ වලව්ව’ ඇතුළු ටෙලි නාට්‍ය හා ග්රන්ථ කිහිපයක් නිර්මාණය කළ ජාත්‍යන්තර කීර්තියට පත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නිමල් සේනානායකයන් ය. මෙය ඩීමන් ආනන්දයන්ගේ මිනිසත් බව මැනැවින් හුවා දක්වන්නකි.
නමුත් ඩීමන් ආනන්දගේ පොත්පත් මඟින් දරුවන් තුළ ලිංගිකත්වය හා ප්රචණ්ඩත්වය මුල් කොටගත් භාවයන් උද්දීපනය වීමේ හැකියාවක් ඇතැයි අනුමාන කළ එවකට ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්. එච්. මෙත්තානන්දයන් ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් පාසල්වලට මෙම පොත් තහනම් කළ අතර, ඒ සමඟම එම තහංචිය දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක විය. නමුත් ඉන් සිදු වූයේ එම තහනමින් වඩාත් කුතුහලයට පත් සිසුන් එම පොත් රහසින් හුවමාරු කරගනිමින් කියවීම වැඩිවීමයි. කොළඹ ආනන්දයේ දීප්තිමත් විද්‍යාර්ථියකු වන ගාල්ලේ දෙව්සිරි බී. හේවාවිදාන සිය “ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා” කෘතිය මඟින් අනාවරණය කරන අන්දමට, තහනම නිසා දුක් වූ ආනන්ද නේවාසිකාගාරයේ සිසුවෙකුට ඩීමන් ආනන්දයන් විසින්ම පොත් 150ක පාර්සලයක් යවා තිබේ.
මෑත භාගයේ අප රටේ බිහි වූ මුල් පෙළේ භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් සරසවි සිසුවකුව සිටියදී ඩීමන් ආනන්ද සමඟ කොළඹ ආනන්දය අද්දර වජිරාඥාන මාවතේ හෝටලයක උඩු මහලේ නවාතැන්ගෙන තිබේ. ඒ දෙදෙනාම මාතරින් පැමිණ තිබීම සේම දෙදෙනාම හින්දි භාෂා හා සිනමා ලෝලීන් වීම මත ඔවුන් දෙදෙනා අතර සමීප මිතුරු දමක් ද හටගෙන තිබේ. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් ‘හින්දි භාෂාව හා සාහිත්‍යය’ කෘතිය එළි දක්වා ඇත්තේ ද ඒ යුගයේ දීය. ඔහු පවසන අන්දමට ඩීමන් ආනන්ද යනු අතිශය වේගවත් ලේඛකයෙකි. තමන් හා මරදානේ බෝඩිං කාමරයේ සිටින කාලයේ එක රැයකින් පොතක් ලියා නිමකිරීමේ විස්මයජනක හැකියාවක් ඔහුට තිබුණි.
ලෝක සාහිත්‍යයේ ඉයන් ෆ්ලෙමින් විසින් ‘කැසිනෝ රෝයාල්’ හරහා ‘ජේම්ස් බොන්ඩ් (007)’ බිහි කළා සේම, සිංහල පල්ප් සාහිත්‍යයේ ජේම්ස් බොන්ඩ් වූයේ ඩීමන් ආනන්දයන්ගේ පළමු වීරයා වූ ඩිකී වීරකෝන් සහ දෙවන වීරයා වූ ‘ජේම්ස් බණ්ඩා 019’ නම් රහස් පරීක්ෂකයාය. “නඩු නැත – උසාවි නැත, නීතිය – ඇසට ඇසකි, උණ්ඩයට – උණ්ඩයකි” යන තේමාව ඔස්සේ ඩීමන් ආනන්දයන් පොදු ජන මනසේ සිත්තම් කළ ජේම්ස් බණ්ඩා, මුවඟ චේරූට් සුරුට්ටුවක් රැඳි, බටහිර ධනවාදී කුමන්ත්රණවලට එරෙහිව සටන් කළ දේශීය වීරයෙකි. ඉයන් ෆ්ලෙමින් මෙන් ඩීමන් ආනන්ද තම රහස් පරීක්ෂකයා සඳහා ඇස්ටන් මාර්ටින් රථ හෝ මාර්ටිනි කොක්ටේල් යොදා නොගත්තේ ඒවා අප ජන සමාජයට නුහුරු නුපුරුදු බැවිනි. ඒ අනුව ඔහු අප ජන සමාජයට හුරුපුරුදු පරිසරයක් මුල් කොට සිය පරිකල්පනය පුබුදුවා තිබේ.
සිංහල සාහිත්‍යයේ තවත් සුවිශේෂ රහස් පරීක්ෂක චරිතයක් වනුයේ පියදාස සිරිසේන සූරීන් නිර්මාණය කළ කෝන්ගොඩ වික්‍රමපාලය. මෙරට මුල්ම රහස් පරීක්ෂක කතා කලාවේ ආරම්භකයා වූයේද පියදාස සිරිසේනයි. එහිදී ප්‍රථම රහස් පරීක්ෂක චරිතය වන්නේ කෝන්ගොඩ වික්රමපාල චරිතයයි. එම චරිතය, පියදාස සිරිසේන සූරීන්ගේ සාහිත්‍යකරණයේ ප්‍රකට අරමුණක් වූ ජාතිමාමකත්වය හා සෘජුව සම්බන්ධ කිරීමට යාමෙන් කෝන්ගොඩ වික්රමපාලගේ රහස් පරීක්ෂක භූමිකාව සීමාව ඉක්මවා යන බවක් දක්නට ලැබුණි. පියදාස සිරිසේන, සිංහල-බෞද්ධ ජාතිකවාදියෙකු ලෙස ප්‍රකට ලේඛකයෙකි. බටහිර සංස්කෘතිය වැළඳගත් උඩඟු ප්‍රභූ සමාජය ඔහු පිළිකුල් කළ අතර, සිංහල සිරිත් විරිත් සහ ජාතියේ ආගමික සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීම ඔහුගේ සියලු නවකතාවල යටි අරමුණ විය. එම නිසා කෝන්ගොඩ වික්රමපාල, හුදු තර්කනයෙන් සහ සාක්ෂි විමර්ශනයෙන් අපරාධය විසඳන වෘත්තීය රහස් පරීක්ෂකයෙකුට වඩා, සිරිසේනගේ ජාතික-ආගමික දේශපාලනය ප්‍රකාශ කරන ඒජන්තවරයකු බවට පත් විය. ඔහු අපරාධකරුවා අල්ලා ගැනීමට පෙර, මත්පැන් පානය, පරංගි ඇඳුම්, විවාහයේදී කුලමල නොසලකා හැරීම ආදී සමාජ දූෂණ ගැන දීර්ඝ දේශනා පවත්වන්නෙකි. එහිදී රහස් පරීක්ෂක කතාවට අවශ්‍ය කුතුහලය, ත්‍රාසය සහ විද්‍යාත්මක විමර්ශනය යටපත් වී, අවසානයේ වික්රමපාල යනු අපරාධ විසඳන්නෙකුට වඩා ජාතිය හදන චරිතයක් බවට පරිවර්තනය විය. සිංහල රහස් පරීක්ෂක ප්‍රබන්ධයේ ආරම්භක දුර්වලතාව මෙන්ම සුවිශේෂත්වය ද ඇත්තේ එතැනයි. ඉන් සිදු වූයේ පියදාස සිරිසේන සූරීන්ගේ කෝන්ගොඩ වික්රමපාල අබිබවා ඩීමන් ආනන්දගේ ඩිකී වීරකෝන් සහ ජේම්ස් බණ්ඩා පොදු ජන වීරයන් බවට පත් වීමය.
සමාජයේ ගුප්ත විශ්වාස මුල් කොට ගනිමින් දශක තුනක පමණ කලෙක සිට ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පවසනුයේ තමන් මේ මඟට වැටීමට ළමා කාලයේ කියැවූ ඩීමන් ආනන්දයන්ගේ නිර්මාණ බෙහෙවින් බලපෑ බවය. “මම ඉපදිලා හැදුණු වැඩුණු ගම්බද පරිසරය අනුව කුඩා කාලයේ ඉඳලම ගුප්ත හැඟීම් හිත ඇතුළට ඒමේ පහසු ඉඩක් තිබුණා. ඔය අතරේ වයස අවුරුදු දහතුනේ දී විතර තමයි මට ඩීමන් ආනන්ද ලියපු ත්‍රාසජනක (Horror) පොත් කියවන්න ලැබුණේ. ඒ වගේම ඒ පොත්වල තනියම කියවන්න එපා, රෑට කියවන්න එපා වගේ අනතුරු ඇඟවීමුත් තිබුණා. ඒකෙන් ඇති වුණු කුතුහලය මුල් කරගෙන මම ඒ වගේ පොත් කියවන්න බරපතල විදිහට ඇබ්බැහි වුණා. අලුත් පොතක් හොයා ගන්න බැරි වුණොත් එකම පොත හත් අට සැරයක් කියෙව්වා. රෑට ඒ පොතක් කියවනකොට ගේ කිට්ටුවෙන් බල්ලෙක් බිරුවත් ගහකින් ගෙඩියක් වැටුණත් සර්වාංගෙම සීතල වෙලා ගියා. අන්න ඒකෙන් තමයි මම ජීවිතේ මුල් වරට ගුප්ත බය කියන එක දරා ගන්න වගේම ආස්වාදනය කරන්න පුරුදු වුණේ. ඒ වගේම ඩීමන් ආනන්දගේ රහස් පරීක්ෂකවරුන්ගේ අපරාධ ලුහුබැඳීමත් මගේ හිතට තදින්ම කා වැදුණා. ඒ හින්දා මාධ්‍ය ජීවිතයට පිවිසුණාට පස්සේ ගුප්ත විශ්වාස ගැන ගවේෂණ කරන්න මාව පෙළඹුණේ ඩීමන් ආනන්දගේ පොත් කියලා තමයි මම හිතන්නේ.” එමෙන්ම ඩීමන් ආනන්දයන් තම කෘති මඟින් මිථ්‍යාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට, එම මිථ්‍යාව ඇතුළෙන්ම පුපුරුවා හැරීමට කටයුතු කළ අන්දම තමන්ට පසුව වැටහී ගිය බව ද ඔහු කීය. එමෙන්ම 1960 සිට 1980 දශක තෙක් සාක්ෂරතාව හුරු කර ගත් මුල් පෙළේ ශ්‍රී ලාංකේය පුරවැසියන් දහස් ගණනක් ද ඩීමන් ආනන්දගේ පාඨකයන් බව මම පෞද්ගලිකවම දනිමි.
1960 දශකයේ ඇරඹි ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ ගුණාත්මක සංවර්ධනය 1970 දශකය වන විට සමාජ සංවිධාන ව්‍යුහයක් දක්වා වර්ධනය විය. එහිදී කලා ක්ෂේත්රය ‘විදග්ධ – ප්රබුද්ධ’ ආදී වශයෙන් පැහැදිලි වර්ගීකරණයකට ලක් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ජනතාවගේ හදවත් දිනාගත් එච්. ආර්. ජෝතිපාල වැනි ගායකයන් ද, ඩීමන් ආනන්ද වැනි ලේඛකයන් ද ‘විදග්ධ ප්රබුද්ධ’ යැයි තමන් හඳුන්වාගත් අධිපති මතවාදීන්ගේ හාස්‍යයට, නින්දාවට හා අපහාස උපහාසයට ලක් විය. ඒ අතරේ ඩීමන් ආනන්ද අසභ්‍ය පොත්පත් සමාජගත කරන්නකු බවට කිසියම් පිරිසක් සංවිධානාත්මක මතයක් සමාජගත කොට තිබූ බව ඔහුගේ සමීපතමයකු වූ ජනප්‍රිය ගායක වර්නන් පෙරේරා කීය. වරක් ඒ බව තමන් ඩීමන් ආනන්දයන්ට දැනුම් දුන් බවත්, ඒ වන විට වැල්ලම්පිටියේ ඔහුගේ නිවස ගංවතුරට හසුවී ඒ පොත්පත් සියල්ල විනාශ වී තිබීම මත තමන් දෙදෙනා ඒ පොත් පිටපත් සොයා ජාතික කෞතුකාගාරයට ගිය අවස්ථාවක් වර්නන් පෙරේරා සිහිපත් කළේය. එහිදී එවක එහි අධ්යක්ෂ පදවිය හෙබවූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඩීමන් ආනන්ද දැක මහත් විස්මයටත් සතුටටත් පත්ව “මමත් ඔබේ හොඳ පාඨකයෙක්. ඒත් මම හිතුවේ ඔබ දැන් ජීවතුන් අතර නැතුව ඇති කියලනේ. කොහොම හරි අද මගේ එක හීනයක් හැබෑ වුණා. ඒ ඔබව දැක ගන්න එක” කියමින් ඩීමන් ආනන්ද වෙත සිය දෑතම දිගු කළ බව වර්නන් පෙරේරා කීය. එමෙන්ම මේ පොතක ඇති එකම එක අසභ්‍ය වදනක් හෝ පෙන්වන ලෙසට ඩීමන් ආනන්ද ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ඉදිරියේ එදා කළ සුහද අභියෝගය තමන්ට කිසිදා අමතක නොවන බව ද වර්නන් පෙරේරා කීය. එමෙන්ම ජීවිතයේ නව යොවුන් වියේ සිට ඔහුගේ පොත්පත් සිය ගණනක් කියවා ඇති මට ද ඒවායේ තිබී එක් අසභ්‍ය වැකියක්වත් හමු නොවූ බව සපථ කොට පවසනුයේ, එම අසභ්‍ය චෝදනාව අප රටේ සාහිත්‍ය කලා ක්ෂේත්රයෙන් ඩීමන් ආනන්දයන් වෙත එල්ල වූ කුහකත්වය මත පදනම් වූ මඩ ප්‍රහාරයක් බව සෘජුවම පවසමිනි.
1990 දශකයේදී ග්රන්ථ ප්‍රකාශක දයාවංශ ජයකොඩි ඩීමන් ආනන්දයන්ට රාජ්‍ය සම්මානයක් දෙන ලෙස එවක සංස්කෘතික ඇමති විජේමු ලොකුබණ්ඩාරයන්ගෙන් ඉල්ලා සිටියද, සාහිත්‍ය අනුමණ්ඩලවල කුහක විරෝධතා නිසා එය වැළකී ගොස් ඇත්තේ ද එම කුහක වත වඩාත් ඉහළ නැඟ තිබූ නිසා බව අපගේ වැටහීමයි. ලොව වැඩිම පොත් සංඛ්‍යාවක් ලියා පළ කොට ගිනස් වාර්තා හිමි බ්‍රසීල ලේඛක රියෝකි ඉනෝයි ද පොත් 1075ක් ලියා ඇත්තේ ආරූඪ නම් තිස් නවයක් යොදා ගනිමිනි. එහෙත් ඩීමන් ආනන්ද කෘති 1009ක් රචනා කොට ඇත්තේ ඒ නමින්ම ය. 1980 දශකයේ චිත්‍රකතා පුවත්පත් ප්‍රචලිත වීමත් වීඩියෝ යුගය වෙළඳපොළට ඒමත් සමඟ මාරක කතාවල ඉල්ලුම අඩු වූ අතර, ඔහුගේ 1009 වන අවසාන නවකතාව ‘සැඩ සුළඟ’ ලෙස 1999 දී නිකුත් විය. මෙම පසුබිම යටතේ 2007 වසරේදී 74 වන වියේදී සමුගත් ඩීමන් ආනන්දයන්ට සාහිත්‍ය විචාරකයන්ගෙන් සුදුසු තැන නොලැබීම පුදුමයක් නොවේ. නමුත් පර්සි ජයමාන්න, ඒ. ඩී. රංජිත් කුමාර, ප්‍රේම් දිසානායක හා සුනිල් මිහිඳුකුල ආදී ඩීමන් ආනන්දගේ කෘතීන් රසවිඳි මාධ්‍යවේදීහු ඔහුව විවිධ අගැයුම්වලට ලක් කොට ඇත.
පසුව ‘මේ දෑස කුමකටද’, ‘යළි ඉපදේ’, ‘සූරයා සූරයාමයි’ වැනි ජනප්‍රිය චිත්‍රපටවල තිර රචකයා වූ ඔහු 2007 වසරේ මෙලොවින් සමුගෙන ඇත්තේ අට වසරක නිහඬ යුගයකින් පසුව බව පෙනේ.
එහෙත් නූතන නව ලිබරල්වාදය තුළ පවතින ‘කලාවේ යහපැවැත්ම ජනතා අභිලාෂයන් මතම ස්ථාපිත විය යුතුය’ යන ප්‍රායෝගික සිද්ධාන්තය අනුව, අද වන විට කලාව සම්බන්ධ එම ආචීර්ණ කල්පික අධිපති මතවාදී පවුරු ශීඝ්‍රයෙන් බිඳ වැටී සුන්බුන් වී ඇත. ඒ අනුව ඉකුත් කාලයේ ඔවුන් විසින් බිඳ හෙළන ලද එච්. ආර්. ජෝතිපාල වැනි කලාකරුවන්ගේ දැවැන්ත ප්රතිරූප යළි මනාව ඔප් නැංවෙමින් තිබේ. එමෙන්ම ‘මාරක කතා චක්‍රවර්තී’ යන ශ්‍රී ලාංකේය ජන අභිධානයෙන් පිදුම් ලැබූ, සිංහල පල්ප් සාහිත්‍යයේ පීතෘත්වය හොබවන ඩීමන් ආනන්ද නාමය තවදුරටත් ආරක්ෂා කොට, ස්ථාපිත කිරීමේ සමකාලීන සමාජමය යුතුකම පැහැර හැරීම, සාහිත්‍ය කලාවේ නාමයෙන් සිදු කෙරෙන ජාතික අකෘතඥකමක් වනු නොඅනුමානය.


ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)