විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම “දොවාගත් කිරි කළයට ගොම මුසු කිරීමක්”

කොළඹ – විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට නියමිතව ඇති ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතල තර්ජනයක් බවත්, එය වත්මන් රජය දොවා ගත් කිරි කළයට ගොම බිඳුවක් මුසු කර ගැනීමක් වැනි ක්‍රියාවක් බවත් සත්‍යය හා යුක්තිය උදෙසා වූ නීතීඥයෝ සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා පවසයි.කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එගොඩමහවත්ත මහතා,”වත්මන් රජයේ ප්‍රතිපත්තිමය ගමන් මගට අප පූර්ණ සහාය දක්වනවා. එහෙත් අධිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපාන මෙවැනි තීරණ සම්බන්ධයෙන් අපට නිහඬව සිටිය නොහැකියි. මෙම යෝජිත සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම එහි විනිවිදභාවයට ද සෘජුවම බාධාවක් විය හැකියි” යනුවෙන් පෙන්වා දුන්නේය.මහජනතාව වත්මන් රජයෙන් අපේක්ෂා කරන්නේ විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම නොව, දූෂිතයන්ට සහ වංචාකරුවන්ට එරෙහිව නීතිය වේගවත්ව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක වන ශක්තිමත් අධිකරණ පද්ධතියක් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.එබැවින් දූෂිතයන්ට දඬුවම් ලබාදීම සඳහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවට, එහි ස්වාධීනත්වයට උචිත නොවන මෙවැනි සංශෝධන ගෙන ඒමෙන් වැළකී සිටිය යුතු බවත්, මෙම යෝජිත සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සඳහන් කළේය.එවැනි තීරණ හරහා රජය කෙරෙහි මේ වන විට ගොඩනැගී ඇති මහජන විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.

කාලීන පුවත්