විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය වුවහොත් ඊට සූදානම්

විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට මුහුණ දීමට වුවද රජය පූර්ණ සූදානමකින් පසුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ, 2022 වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් විපක්ෂය විවිධ මත පළ කළද, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම තීරණ නැවත සමාලෝචනය කිරීමේ හැකියාව පවතින බවයි.රජය මෙම සංශෝධන ඉදිරිපත් කරන්නේ නිසි නීතිමය තර්කයන් මත පදනම්ව බවත්, ඒ සඳහා අධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවකට ගරු කිරීමට රජය බැඳී සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.”අධිකරණය විසින් මෙම සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කළහොත්, ඊට මුහුණ දීමට අප කිසිසේත්ම පසුබට වන්නේ නැහැ. අපට පැහැදිලි මහජන වරමක් සහ බලයක් තිබෙනවා. ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුව සමඟයි,” යනුවෙන් ද විජේසිංහ මහත්මිය අවධාරණය කළාය.විපක්ෂයේ ක්‍රියාකලාපය විවේචනය කළ මන්ත්‍රීවරිය, විපක්ෂයේ ඇතැම් නායකයන්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවීම නිසා ඔවුන්ගේ දේශපාලන පදනම දෙදරා ගොස් ඇති බවත්, ඔවුන් කට ඇරියහොත් ඡන්ද දහස් ගණනින් අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බවත් පැවසුවාය.ජාත්‍යන්තර දර්ශකයන්ට අනුව ජනාධිපතිවරයා සහ වත්මන් රජය කෙරෙහි පවතින මහජන ආකර්ෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, ඕනෑම මැතිවරණයකට හෝ ජනමත විචාරණයකට රජය බිය නොවන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 65 දී ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 63 දී ද විශ්‍රාම යා යුතුය.
යෝජිත නව සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය, නීතිඥ සාමූහිකය සහ හෙට්ටිපොල නීතිඥ සංගමය ඇතුළු නීති ක්ෂේත්‍රයේ කිහිපයක්ම විරෝධය පළ කර ඇති අතර, එය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බවට චෝදනා එල්ල වී තිබේ.

කාලීන පුවත්