ස්වභාවික මරණයක් ආසන්න වන විට සිදුවන දේ දැන ගනිමු – හෘදවේද විශේෂඥ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ


දිගු කලක් රෝගාතුරව, සිහිය දුර්වල වී සිටි තම පියාණන්  ඉතා විස්මිත අයුරින් හිටි හැටියේම හොඳින් කතා කොට, අවට සිටින ඥාතීන් හඳුනාගෙන පමණක් නොව පැරණි මතකයන් ද සිහිපත් කර, ඊට ඉතා ආසන්න මොහොතක මියගිය බව පසුගිය දිනයක අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවක් පැවසුවා ය. ඇය මෙම තත්ත්වය හැඳින්වූයේ එය තම පියාණන්ගේ පරලොව දිවිය යහපත් වීම පිළිබඳ පැහැදිලි පෙරනිමිත්තක් ලෙසිනි. එහෙත් ඒ සම්බන්ධයෙන් විවිධ ආගමික අර්ථ නිරූපණ තිබිය හැකි වුවත්, මෙය මරණයට ආසන්න අවස්ථාවේදී හදිසියේ ඇතිවන මානසික පැහැදිලිභාවය (Terminal Lucidity) ලෙස හඳුනාගත හැකි බවත්, විශේෂයෙන්ම මතකය හා සංජානනය දුර්වල කරන රෝගයකින් (Dementia ) පෙළෙන රෝගීන් සම්බන්ධයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් මම ඇයට පැවසුවෙමි.
එහෙත් මරණාසන්න මානසික පැහැදිලිභාවය (Terminal Lucidity) පිළිබඳ වාර්තා තිබුණ ද එහි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය තවමත් පැහැදිලිව තහවුරු වී නැත. එමෙන්ම එය සෑම මරණාසන්න පුද්ගලයකුටම සිදුවන දෙයක් ද නොවේ. එමෙන්ම යම් රෝගියකු හදිසියේ සිහියෙන් කතා කිරීම පමණින් මරණය ආසන්න බව කිසිසේත්ම නිගමනය කිරීමට ද නොපුළුවන.
මේ අතර සමහර මරණාසන්න පුද්ගලයෝ තමන්ට කලින් මියගිය මව, පියා හෝ සමීප ඥාතියකු පෙනෙන බව හඟවමින් ඔවුන් සමඟ කතාබස් ද කරති. මේ සඳහා විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් තුළ විවිධ අර්ථකථන තිබේ. මෙවැනි අත්දැකීම් සඳහා දර්ශන අත්දැකීම් (Vision-like Experiences) යන යෙදුම භාවිත කළ හැකිය.
නමුත් වෛද්‍ය විද්‍යාවේදී භ්‍රාන්තිය (Hallucination) යනු බාහිරව සැබෑ උත්තේජනයක් නොමැතිව යමක් දකින, අසන හෝ දැනෙන අත්දැකීමකි. මරණාසන්න අවධියේදී මෙවැනි අත්දැකීම් ඇතිවීමට මොළයේ රසායනික සමතුලිතතාව වෙනස් වීම, ඖෂධවල අතුරු ප්‍රතිඵල, ඔක්සිජන් හිඟවීම, ආසාදන, උණ සහ හදිසියේ ඇතිවන සිහිවිකල් බව (Delirium) හේතු විය හැකිය.
මරණය යනු ජීවිතයේ කවරදාක හෝ මුහුණදීමට සිදුවන අනිවාර්ය ජීව විද්‍යාත්මක සංසිද්ධියකි. එහෙත් මරණය පිළිබඳ මිනිසා තුළ පවතින කුතුහලය කිසිදා අවසන් වන්නේ නැත. විශේෂයෙන්ම ස්වභාවික මරණයක් ආසන්න වන විට තමන්ට ඒ බව යම් ආකාරයකින් දැනෙනවාද? මරණයට පෙර ශරීරයේ වෙනස්කම් සිදුවන්නේ කෙසේද? තමන්ගේ අත්පා තමන්ට අයිති නැති බවක් දැනීම, අවට ලෝකයෙන් ඈත්වූ බවක් හැඟීම හෝ කලින් මියගිය ඥාතීන් පෙනෙන බව පැවසීම වැනි අත්දැකීම්වලට වෛද්‍ය විද්‍යාත්මක පදනමක් තිබේද? මේවා බොහෝ දෙනකු තුළ දැඩි කුතුහලයක් දනවන මාතෘකාවන්ය.
නමුත් මේවා හුදෙක් ජනප්‍රවාද හෝ අද්භූත විශ්වාස ලෙස බැහැර කළ හැකි කරුණු ද නොවේ. ඒවායින් සමහරක් මරණාසන්න අවධියේදී ඇතිවිය හැකි කායික හා මානසික වෙනස්කම් සමඟ කවරාකාරයකින් හෝ සම්බන්ධ වන අතර, තවත් සමහරක් පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම් තවමත් සම්පූර්ණ වී නැත. නමුත් එපමණකින්ම ප්‍රමාණවත් කරුණු නොමැතිව ඒවා අද්භූත සංසිද්ධීන් ලෙස සැලකිය යුතු ද නොවේ.
මෙහිදී අප මුලින්ම පැහැදිලි කරගත යුතු වැදගත්ම කරුණ නම්, ස්වභාවික මරණයක් යනු මරණයට පෙර අනිවාර්යයෙන්ම දින කිහිපයක් තිස්සේ විශේෂ ලක්ෂණ පෙන්වන මරණයක් පමණක් නොවන බවයි. හෘදයාබාධයක්, ආඝාතයක් හෝ වෙනත් අභ්‍යන්තර රෝගී තත්ත්වයක් හේතුවෙන් කිසිදු පැහැදිලි පූර්ව දැනුම්දීමකින් තොරව ද හදිසි ස්වභාවික මරණ සිදුවිය හැකිය.
ස්වභාවික මරණය සඳහා ඉංග්‍රීසියෙන් භාවිත වන්නේ Natural Death යන යෙදුමයි. එයින් අදහස් වන්නේ අනතුරක්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ වෙනත් බාහිර බලපෑමක් නිසා නොව, ශරීරයේ අභ්‍යන්තර රෝගී හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් සිදුවන මරණයකි. උදාහරණ ලෙස හෘදයාබාධය, පිළිකා රෝගය, ආඝාතය, නිදන්ගත පෙනහළු රෝග, වයසට යෑම හා සම්බන්ධ ශාරීරික පිරිහීම සහ වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රිය රෝග දැක්විය හැකිය.
නීති වෛද්‍ය විද්‍යාවේදී මරණය සිදුවූ ආකාරය හඳුන්වන්නේ මරණය සිදුවූ ආකාරය (Manner of Death) යනුවෙනි. එහිදී සාමාන්‍යයෙන් ප්‍රධාන කාණ්ඩ පහක් හඳුනාගනී.
ස්වභාවික මරණය (Natural): ශරීරයේ අභ්‍යන්තර රෝගී හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් සිදුවන මරණය.
හදිසි අනතුරකින් සිදුවන මරණය (Accident) :අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් සිදුවන මරණය.
සියදිවි නසාගැනීම (Suicide) : පුද්ගලයා විසින්ම තම ජීවිතය අවසන් කරගැනීම.
වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවකින් සිදුවන මරණය (Homicide) :වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවක් හේතුවෙන් සිදුවන මරණය.
නිශ්චය කළ නොහැකි මරණය (Undetermined) :මරණය සිදුවූ ආකාරය නිශ්චිතව තීරණය කළ නොහැකි අවස්ථාව.
මෙහිදී වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවකින් සිදුවන මරණය (Homicide) යන්නෙන් සෑමවිටම මිනීමැරුමක් හෝ අපරාධයක් අදහස් නොවේ. එය වෙනත් පුද්ගලයකුගේ යම් ක්‍රියාවක් හේතුවෙන් මරණය සිදුවූ බව දැක්වෙන නීති වෛද්‍ය වර්ගීකරණයකි.
එසේම මරණයට හේතුව (Cause of Death) සහ මරණය සිදුවූ ආකාරය (Manner of Death) යනු එකිනෙකට වෙනස් කරුණු දෙකකි. උදාහරණයක් ලෙස හෘදයාබාධයක් යනු මරණයට හේතුව විය හැකි අතර, එය ස්වභාවික මරණයක් ලෙස වර්ගීකරණය කළ හැකිය.
වෛද්‍ය විද්‍යාවේදී ජීවිතයේ අවසාන අවධිය හැඳින්වීමට ජීවිතයේ අවසාන අවධිය (End-of-Life Phase) සහ ක්‍රියාකාරී මරණාසන්න අවධිය (Active Dying Phase) යන යෙදුම් භාවිත වේ. මෙය විශේෂයෙන්ම පිළිකා, හෘද රෝග, පෙනහළු රෝග සහ වෙනත් සුව කළ නොහැකි හෝ අවසාන අදියරට පැමිණි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ රැකවරණයේදී සැලකිල්ලට ගන්නා තත්ත්වයකි.
කෙසේ වෙතත්, සියලුම පුද්ගලයන් මරණයට පෙර එකම ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) සහ ජාතික සෞඛ්‍ය හා සත්කාර විශිෂ්ටතා ආයතනය (NICE) පෙන්වා දෙන්නේ මරණාසන්න ලක්ෂණ හඳුනාගැනීම සඳහා එක් ලක්ෂණයක් පමණක් නොව, රෝගියාගේ සමස්ත ශාරීරික හා මානසික තත්ත්වය සැලකිල්ලට ගත යුතු බවයි.
ආහාර හා ජලය ගැනීම අඩුවීම
මරණය ආසන්න වන විට ආහාර ගැනීමට ඇති කැමැත්ත ක්‍රමයෙන් අඩුවේ. ඇතැම්විට ආහාර ගිලීම පවා අපහසු විය හැකිය. මෙය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය හා ආහාර ජීර්ණ අවශ්‍යතා වෙනස් වීමත් සමඟ සම්බන්ධ විය හැකිය.
අධික නිදිමත හා ශක්තිය අඩුවීම
පෙර මෙන් ක්‍රියාශීලීව සිටීමට නොහැකි වීම, වැඩි වේලාවක් නිදාගැනීම, අවදිව සිටින කාලය අඩුවීම සහ කතාබහට ඇති කැමැත්ත අඩුවීම මෙහිදී දැකිය හැකිය.
හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම
මෙය ඉතා වැදගත් වෙනස්කමකි. විශේෂයෙන්ම චේන්-ස්ටෝක්ස් ශ්වසන රටාව (Cheyne-Stokes Respiration) නමින් හඳුන්වන තත්ත්වයේදී හුස්ම ගැනීමේ ගැඹුර හා වේගය වරින් වර වෙනස් වේ. ඇතැම්විට වේගයෙන් හුස්ම ගෙන පසුව සුළු වේලාවකට හුස්ම ගැනීම නතර වී නැවත ආරම්භ විය හැකිය.
තවත් විටක උගුරේ ශ්ලේෂ්මල එකතු වීම නිසා ගොරගොර ශබ්දයක් ඇසේ. මෙය මරණාසන්න ශ්වසන ගොරෝසු ශබ්දය (Death Rattle) ලෙස හැඳින්වේ. එම ශබ්දය පවුලේ සාමාජිකයන්ට බියජනක විය හැකි නමුත්, එයින් පමණක් මියයන පුද්ගලයා දැඩි වේදනාවකින් සිටින බව නිගමනය කළ නොහැකිය.
අත්පා සීතල වීම හා සමේ පැහැය වෙනස් වීම
රුධිර සංසරණයේ වෙනස්කම් නිසා මෙවැන්නවුන් ගේ අත් පා සීතල විය හැකිය. සමහර ප්‍රදේශ නිල්, දම් හෝ පැල්ලම් සහිත ස්වභාවයක් ගැනීම සමේ පැල්ලම් ඇතිවීම (Mottling of the Skin) ලෙස හැඳින්වේ.
මුත්‍රා පිටවීම අඩුවීම
වකුගඩු ක්‍රියාකාරීත්වය වෙනස් වීමත් සමඟ මුත්‍රා ප්‍රමාණය අඩුවී, වර්ණය තද වීමට ඉඩ තිබේ.
සිහිය හා ප්‍රතිචාර දැක්වීම අඩුවීම
අවට පරිසරය පිළිබඳ අවබෝධය අඩුවීම, කතා කිරීමට අපහසු වීම, අන්‍යයන්ගේ කතාබහට ප්‍රතිචාර නොදැක්වීම වැනි වෙනස්කම් මෙහිදී ඇතිවිය හැකිය. මෙම සියලු ලක්ෂණ පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික සේවය (NHS) සහ ඇමරිකානු ජාතික පිළිකා ආයතනය (NCI) විස්තර කර තිබේ.
මරණාසන්න මොහොතේ පසුවන සමහර පුද්ගලයෝ තමන්ගේ ශරීරය පිළිබඳ අමුතු අත්දැකීම් විස්තර කරති. තමන්ගේ අත්පා තමන්ට අයිති නැති බවක් දැනීම, තමන්ගේ ශරීරය පිටතින් බලා සිටිනවා වැනි හැඟීමක් ඇතිවීම, තමන් කරන ක්‍රියාවන් තමන්ගේ පාලනයෙන් තොරව සිදුවනවා වැනි හැඟීමක් ඇතිවීම සහ අවට ලෝකය යථාර්ථයක් නොවන බවක් දැනීම ඒ අතුරින් කිහිපයකි.
මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙවැනි අත්දැකීම් හැඳින්වීමට තමන්ගෙන්ම වෙන්වූ බවක් දැනීම (Depersonalization) සහ අවට ලෝකය යථාර්ථ නොවන බවක් දැනීම (Derealization) යන යෙදුම් භාවිත වේ. මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ දසවැනි සංශෝධනය (ICD-10) යටතේ F48.1 කේතයෙන් තමන්ගෙන් වෙන්වූ බවක් හා අවට ලෝකය යථාර්ථ නොවන බවක් දැනීමේ සහලක්ෂණය (Depersonalization-Derealization Syndrome) ලෙස සඳහන් වේ.
එහෙත් මෙවැනි හැඟීම් මරණාසන්න පුද්ගලයන්ට පමණක් ඇතිවන ලක්ෂණ නොවේ. දැඩි මානසික ආතතිය, කාංසාව, ඇතැම් මානසික රෝග සහ ස්නායු පද්ධතියේ වෙනස්කම් සමඟ ද මේවා ඇතිවිය හැකිය. මරණයට පෙර ඔක්සිජන් හිඟවීම හෝ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා මෙවැනි අත්දැකීම් ඇතිවිය හැකි බවට ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ හැකි වුවත්, එය මරණයේ නිශ්චිත පූර්ව ලක්ෂණයක් බවට ප්‍රමාණවත් සාක්ෂි නැත.
ශරීරයෙන් පිටත සිට තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීම
ශරීරයෙන් පිටත සිට තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීම ද මෙහිදී ඇතිවිය හැකි අත්දැකීමකි. මෙය ශරීරයෙන් පිටත අත්දැකීම (Out-of-Body Experience) ලෙස හැඳින්වේ. දැඩි අනතුරු, ශල්‍යකර්ම හෝ මරණාසන්න අත්දැකීම්වලින් පසුව තමන්ගේ ශරීරය පිටතින් බලා සිටි බවට සමහරු විස්තර කරති.
අප සමාජයේ අතිශයින් ප්‍රචලිත “මනෝකාය” නම් සංකල්පයේ මූලාරම්භය මෙවැනි අත්දැකීම් සමඟ සම්බන්ධ කර දැක්විය හැකිය. නමුත් එය මෙලොවින් බැහැර පාරභෞතික අත්දැකීමක් සේ සලකන්නට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ද කිව යුතු ය.
මොළය අපගේ ශරීරය පිළිබඳ අවබෝධය ගොඩනඟන්නේ එක් සංවේදනයක් මත පමණක් නොව, ඇස් පෙනීම, ස්පර්ශය, මාංශ පේශිවලින් ලැබෙන සංඥා සහ ශරීරයේ පිහිටීම පිළිබඳ සංවේදන එකිනෙක සම්බන්ධ කිරීමෙනි. එම සංඥා අතර සම්බන්ධීකරණය බිඳවැටුණු විට මෙවැනි අසාමාන්‍ය හැඟීම් ඇතිවිය හැකි බව ස්නායු විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වේ. එහෙත් මෙය මරණාසන්න අවස්ථාවක සිදුවන අනිවාර්ය ක්‍රියාවලියක් ලෙස සැලකීම ද නිවැරදි නොවේ.
ඇමරිකානු ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙන්නේ ජීවිතයේ අවසාන දිනවලදී ඇතැම් පුද්ගලයන්ට භ්‍රාන්ති සහ සිහිවිකල් තත්ත්ව ඇතිවිය හැකි බවයි. එහෙත් සෑම දර්ශන අත්දැකීමක්ම සිහිවිකල් බව (Delirium) නිසා ඇතිවන බව ද කිව නොහැකිය. මෙවැනි අත්දැකීම්වලට අද්භූත අර්ථකථන ලබාදීමට පෙර ඒවායේ වෛද්‍යමය පසුබිම සලකා බැලීම සේම, රෝගියාගේ මනසේ තැන්පත්ව ඇති ආගමික හා සංස්කෘතික විශ්වාසවලට ගරු කිරීමත් වැදගත්ය.
මේ අතර මරණය ආසන්න වන විට ඇතැම් පුද්ගලයන් අසාමාන්‍ය ලෙස නොසන්සුන් විය හැකිය. මෙය මරණාසන්න නොසන්සුන්භාවය (Terminal Restlessness) ලෙස හැඳින්වේ. ඇඳ ඇතිරිලි ඇදීම, නිතරම ඉරියව් වෙනස් කිරීමට උත්සාහ කිරීම, අත්පා සෙලවීම, හේතුවක් නොමැතිව කතා කිරීම හෝ කෑගැසීම, අවට සිටින අය හඳුනාගැනීමට අපහසු වීම වැනි ලක්ෂණ මෙහිදී ඇතිවිය හැකිය.
ඇතැමුන් මෙය ඒ පුද්ගලයා අපායට ඇදගෙන යාමට යමපල්ලන් පැමිණ ඇති බවට අදහස් දක්වන නමුත් එය හුදු මනඃකල්පිතයක් පමණි.
වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, ආසාදන, ඖෂධවල බලපෑම සහ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ආදී සාධක මෙයට හේතු විය හැකි බව මේ සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක නිගමනයයි. එබැවින් එවැනි පුද්ගලයකුට අවශ්‍ය වන්නේ බිය ගැන්වීම හෝ බලහත්කාරයෙන් නිහඬ කිරීම නොව, ඔහුගේ අපහසුතාව හඳුනාගෙන සුදුසු වෛද්‍ය සහන සැලසීමයි.
සමහරු මරණයට පෙර තමන්ට ජීවිතයේ අවසානය ළඟා වී ඇති බවක් දැනෙන බව පවසති. පවුලේ සාමාජිකයන් කැඳවා අවසන් උපදෙස් ලබාදීම, සමාව ඉල්ලීම හෝ තවදුරටත් ජීවත් විය නොහැකි බව පැවසීම ඔවුහු සිදුකරති.නමුත් මෙය ද ගුප්ත අද්භූත සිදුවීමක් නොවේ.
ඒ සඳහා ද හේතු කිහිපයක් තිබිය හැකිය. පළමුව, ශරීරයේ වෙනස්කම් පිළිබඳ අභ්‍යන්තර සංඥා ඒ අතුරින් ප්‍රධානය. මොළයට හෘද ස්පන්දනය, හුස්ම ගැනීම සහ වේදනාව පිළිබඳ සංඥා ලැබේ. මෙය ශරීරයේ අභ්‍යන්තර තත්ත්වයන් පිළිබඳ සංවේදනය (Interoception) ලෙස හැඳින්වේ.
“මගේ ඇඟට අද හරි අමුත්තක් දැනෙනවා. මාව මැරෙන්න යනවද කොහෙද?” යනුවෙන් එවන් විටෙක ඔවුන් බොහෝ දෙනෙක් පවසති.
එහෙත්, ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව පැහැදිලි කළ යුතු කරුණක් තිබේ. තමන් මියයන නිශ්චිත වේලාව හෝ දිනය පුද්ගලයකුට අභ්‍යන්තර සංවේදනයක් මඟින් නිවැරදිව දැනගත හැකි බවට තහවුරු කළ වෛද්‍ය සාක්ෂි නොමැත. එබැවින් මරණය ආසන්න බව දැනීම යනු ඇතැම් පුද්ගලයන්ගේ වැටහීමක් විය හැකි නමුත්, එය මරණය පුරෝකථනය කිරීමේ විශ්වාසදායක ක්‍රමයක් හෝ තත්ත්වාවබෝධයක් නොවේ.
මෙම ලක්ෂණවලින් සමහරක් මරණාසන්න අවධියේදී දැකිය හැකි වුවත් ඒවා වෙනත් ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයන් නිසා ද ඇතිවිය හැකිය. හදිසියේ සිහිය වෙනස් වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මුත්‍රා පිටවීම අඩුවීම සහ අධික නොසන්සුන් බව යනු ඇතැම්විට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන තත්ත්වයන්ය. එබැවින් විශේෂයෙන්ම කලින් එවැනි රෝගී තත්ත්වයක් නොතිබූ පුද්ගලයකුට මේවා හදිසියේ ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
සුව කළ නොහැකි රෝගයක අවසාන අවධියට පැමිණි පුද්ගලයකුට වුවද සහනදායී වෛද්‍ය සත්කාර (Palliative Care) ඉතා වැදගත් වේ. එහි අරමුණ වන්නේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ මානසික පීඩනය අවම කරමින් රෝගියාටත් පවුලේ සාමාජිකයන්ටත් හැකි උපරිම සුවපහසුව ලබාදීමයි.
අවසාන වශයෙන්, මරණය පිළිබඳ අත්දැකීම්වලට වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් මෙන්ම තවමත් නොවිසඳුණු ප්‍රශ්න ද තිබේ. ස්වභාවික මරණයක් යනු හදිසියේ ද සිදුවිය හැකි දෙයකි. මරණාසන්න ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ බිය ඇති කරගැනීමට නොව, ආදරණීයයකුගේ අවසාන මොහොතේදී ඔහුට හෝ ඇයට තනිකමක් නොදැනෙන් සේ අවශ්‍ය සහනය, ගෞරවය සහ රැකවරණය ලබාදීමටයි.
විශේෂයෙන්ම මරණයට පත්වන පුද්ගලයකුගේ අවසාන මොහොත දක්වා ඉතිරිව පැවතිය හැකි ඉන්ද්‍රිය සංවේදනය ශ්‍රවණය බවට සැලකෙන බැවින්, මුළුමනින්ම ශරීරය අකර්මණ්‍ය වූ අයකුට වුවද යම්තාක් දුරට ඇසෙන හා වැටහෙන දේ තිබිය හැකි බව තේරුම්ගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ යුතුය.එමෙන්ම මේවා සෑම පුද්ගලයකු ගේම මරණාසන්න අවස්ථාවක් මුල් කොට ගත් නියත සිදුවීම් නොවන බව ද අවසන් වශයෙන් කිව යුතු ය.
හෘදවේද විශේෂඥ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ඉරා අදුරුපට