සිංගප්පූරුවේ අවිවාහක රජයේ සේවකයන්ට කපුකම් කරන අපූරු app එකක්

සිංගප්පූරු රජය එරට රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට යන අපූරු වැඩපිලිවෙලක් ගැන පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවලින් පැවසුණේ එරට රජයේ සේවයේ සිටින අවිවාහකයන් ඉක්මනින් විවාහ කර දීමේ අරමුණෙන් වැඩසටහනක් දියත් කර ඇති බව යි. ඒ එක්තරා ජංගම යෙදවුමක් (app එකක්) හඳුන්වා දීම හරහා යි.

සිංගප්පූරුව මේ ආකාරයෙන් අවිවාහකයින් විවාහ කර දීමට උත්සුක වන්නේ එරට උපත් අනුපාතය සහ ජනගහණ වර්ධනය කැපී පෙනෙන ආකාරයෙන් පහත වැටී ඇති තත්වයක් තුළ යි. 2025 වසරේ එරට උපත ලබා තිබුණේ දරුවන් 30,000 කට අඩු සංඛ්‍යාවක් බව වාර්තා වෙනවා. උපත් සංඛ්‍යාව මේ සීමාවෙන් පහතට වැටී තිබුණේ සිංගප්පූරුව නිදහස ලැබීමෙන් පසු පළමු වතාවට වීම විශේෂත්වයක්.

රටක උපත් අනුපාතය අඩු වීම සහ ජනගහණ වර්ධනය අඩුවීම ඒ රටේ ආර්ථික දියුණුවට ද දැඩි ලෙස බලපාන කාරණයක්. එසේ වන්නේ වැඩ කළ හැකි වයසේ තරුණ පිරිස අඩු වීමක් වන නිසා යි. එම නිසා උපත් අනුපාතය වැනි කාරණා නිසි මට්ටමින් තබා ගැනීම ඉතා වැදගත්.

සිංගප්පූරුවේ උපත් අනුපාතය අඩු වීමට හේතු වී ඇත්තේ විවාහ වන පිරිස අඩු වීම සහ ඇතැමුන් විවාහ වන්නේ නිසි වයස ඉක්මවා ගිය පසු වීම යි. කාන්තාවන් වයස ගොස් විවාහ වූ විට දරුවන් බිහි කිරීමට ඇති හැකියාව අඩු වන බව රහසක් නොවේ.

සමහරුන්ට විවාහ වීම සඳහා සුදුසු සහකරුවන් සහකාරියන් සොයා ගැනීමට අපහසු වීම නිසා ද විවාහ අතපසු වීම සහ ප්‍රමාද වීම සිදු වෙනවා.

සිංගප්පූරු රජය අවිවාහක රජයේ සේවකයින්ට ඉක්මනින් සහකරුවන් සහකාරියන් සොයා දීමට යෙදවුමක් හඳුන්වා දී ඇත්තේ මෙවැනි පසුබිමක් තුළ යි. වාර්තා වන අන්දමට මෙය දැනට ක්‍රියාත්මක වන්නේ නියමු ව්‍යාපෘතියක් හැටියට. ඉදිරියේ දී එය රජයේ සේවයෙන් පිටතටත් හඳුන්වා දීමට ඉඩ තිබෙනවා.

මෙම යෙදවුම නම් කර තිබෙන්නේ FirstDate යන නමින්. First Date යන්නෙන් ඇඟවෙන්නේ දෙදෙනෙකු අතර ආදර සම්බන්ධයක් ඇති වීමේ දී සිදුවන පළමු හමුව යි.

කාන්තාවන් සහ පුරුෂයන් එකිනෙකා මුණ ගස්වන මේ ආකාරයේ යෙදවුම් (dating apps) බොහොමයක් භාවිතයේ ඇති බව රහසක් නොවෙයි. නමුත් FirstDate යෙදවුමේ යම් විශේෂත්වයක් ඇති බව වාර්තා වෙනවා. එය කෙනෙකුට වඩාත්ම ගැලපෙන අය හඳුන්වා දෙන්නට කටයුතු කරන බැව් සඳහන්. මේ නිසා වැඩි “රස්තියාදුවකින්” තොරව සුදුසු කෙනෙකු සොයා ගැනීමට FirstDate තුළින් හැකියාව ලැබෙන බව පැවසෙනවා.

වාර්තා වන අන්දමට දැනට මෙම යෙදවුම භාවිත කළ හැක්කේ අවුරුදු 21-35 අතර වයස්වල රජයේ සේවකයින්ට පමණයි. මෙම යෙදවුමට ඇතුල් වන තැනැත්තා මුලින්ම තමාගේ රුචි අරුචිකම්, විනෝදාංශ, පුරුදු, තමුන් අගය කරන වටිනාකම් ආදිය එහි සටහන් කරනවා. එවිට FirstDate යෙදවුම ඒ තුළ ඒ වනවිට ලියාපදිංචිව සිටින අය අතරින් එම තැනැත්තාට වඩාත් ගැලපෙන කෙනෙකු තෝරා ගෙන අර තැනැත්තා වෙත ඉදිරිපත් කරනවා. ඒ සමගම අනෙක් පුද්ගලයාට ද මේ තැනැත්තා ගැන දැනුම් දෙනවා.

ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවීමට හෝ එකිනෙකා සමග කතා කිරීමට හෝ කැමති ද යන්න තීරණය කිරීමට පැය 72 ක කාලයක් ඔවුන්ට ලැබෙනවා. ඔවුන් ඊට කැමති වුවහොත් පමණක් ඔවුන්ගේ දුරකතන අංක ආදිය දෙදෙනා වෙත ලබා දෙනවා.

එකිනෙකා හමුවීමට මේ දෙදෙනා අකැමැති වුවහොත් ඊළඟට වෙනත් දෙදෙනෙකු ඔවුන්ට හඳුන්වා දීමට FirstDate කටයුතු කරනවා. කෙසේ හෝ වේවා, එක් අයෙකුට එක වරකට හඳුන්වා දෙන්නේ එක් කෙනෙකු පමණයි.

FirstDate හි භාවිත කෙරෙන ඇල්ගොරිතමය ලොයිඩ් ෂප්ලි නැමැති ගණිතඥයා විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර ඒ වෙනුවෙන් ඔහුට 2012 වසරේ නොබෙල් සම්මානය පවා හිමි වුණා.

තරුණ පරපුරේ අය විවාහ වීමට සහ දරුවන් හැදීමට මැලි වීම මේ කාලයේ බොහෝ රටවල දක්නට ඇති තත්වයක්.
පවුල් ජීවිත ගත කිරීම සඳහා සහ දරුවන් ලොකු මහත් කිරීම සඳහා දැරීමට සිදුවන වියදම් ඉහළ යාම ඊට බලපා ඇති ලොකුම හේතු හැටියට සැලකෙනවා.

ඒ වගේම අද කාලයේ තරුණ පරපුරේ බොහෝ දෙනා පවුල් ජීවිත තුළ කොටු වෙනවාට වඩා නිදහස් ජීවිත ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවත් දැකිය හැකියි. විවාහ වී දරුවන් බිහි කළ විට වැඩියෙන්ම නිදහස අහිමි වන්නේ කාන්තාවන්ගේ. මේ නිසා මෙකල බොහෝ රටවල තරුණියන් විවාහයට වඩා පෞද්ගලික නිදහස අගය කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් තමුන්ගේ වෘත්තීය ජීවිතවලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන්නට ද පෙළැඹී සිටිනවා.

සමහර විට මේ අය වෘත්තීය ජීවිතවල යම් මට්ටමකට ළඟා වී ආර්ථිකයත් ගොඩ නගාගෙන විවාහ වන විට දරුවන් ලැබිය හැකි කාලය බොහෝ දුරට ඉක්ම ගිහින්.

මේ වනවිට විශාල ජනගහණ අර්බුදයකට මුහුණ දී සිටින දකුණු කොරියාවත් තරුණ තරුණියන් විවාහය සඳහා පෙළඹවීමටත්, ඔවුන් එකිනෙකා මුණ ගැස්සවීමටත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර පන්සල් ආශ්‍රිතව ක්‍රියාවට නගා ඇති අපූරු වැඩපිලිවෙලක් ගැනත් පසුගිය දිනවල වාර්තා වුණා. අපේ රටවල නම් සාමාන්‍යයෙන් පන්සල් පෙම් කෙළීමට තහනම් කලාප බව කව්රුත් දන්නා කාරණයක්. දකුණු කොරියාවේ පවතින්නේ මහායාන බුදු දහම යි.

සහකාරියන් සහකරුවන් සොයා ගැනීමට අපහසු වී ඇති තරුණ තරුණියන් පන්සල් විසින් සංවිධානය කරනු ලබන මේ “හමුවීමේ වැඩසටහන්වලට ” සහභාගි වන අතර මෙහිදී ඔවුන්ට නිස්කලංක පරිසරයක, බෞද්ධ භික්ෂූන්ගේ ද මග පෙන්වීම යටතේ එකිනෙකා සමග කතාබස් කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. මේ වැඩසටහන් කෙමෙන් ජනප්‍රිය වෙමින් ඇති බවයි පැවසෙන්නේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර