සිරිලක සොබා දම් අසිරිය ලොවට කියාපාන දිවියන් ගේ දිවි සුරකිමු


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයට අයත් ශික්ෂණ සත්ත්ව ගොවිපොළ  යනු පශු වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව සහ පර්යේෂණ කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන මෙරට ප්‍රධානතම ආදර්ශ ගොවිපොළකි. මෙය පිහිටා ඇත්තේ හන්තාන රක්ෂිත මායිමේ ය. පසුගිය දිනයෙක දී මෙහි ගාල් කර සිටි වසු පැටවෙකු දිවියකුගේ ගොදුරක් වී තිබේ. පශු වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එළ ගවයන්, මී ගවයන්, එළුවන්, හාවුන් සහ කුකුළන් රඳවා සිටින මෙම ගොවිපොළේම පසුගිය මාර්තු මාසයේ දී ද තවත් වසු පැටවෙකු මෙලෙසම බිලි වී තිබුණි. ඉතා සාධාරණ ලෙස අනුමාන කළ හැක්කේ මෙම දිවියන් හන්තාන රක්ෂිතයේ සිට පැමිණෙන බවකි.

මෙය හුදු සතුන් දෙදෙනෙකු මියයාමේ පුවතක් පමණක් නොවේ. එය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සහ ඒ අවට ජනාවාස තුළ ඇති කර ඇති නොසන්සුන්තාවයට වඩා, ශ්‍රී ලංකාවේ පරිසරයේ සිදුවෙමින් පවතින විශාල වෙනසක සංඥාවකි. මීට පෙර ද විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ කාර්යාලයක් අසල රාත්‍රී කාලයේ දිවියකු සැරිසරන අයුරු ආරක්ෂිත කැමරා [CCTV] වල සටහන් වී තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම පැමිණීම අහම්බයක් නොවන බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසික ජිනදාස ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායම සිදුකළ අධ්‍යයනයන්ට අනුව හන්තාන රක්ෂිත වනාන්තරය තුළ දිවියන් පස්දෙනෙක් පමණ ජීවත් වෙති. හන්තාන යනු හුදකලා වන පෙතක් නොවේ. එය නකල්ස් කඳුකරයට සහ මධ්‍යම කඳුකරයේ අනෙකුත් වනාන්තර වලට සම්බන්ධ වන වැදගත් ජීව කොරිඩෝවකි. මෙම ගැටළුවේ සුලමුල සොයා ගත යුත්තේ එතැනිනි. විවිධ සංවර්ධන කටයුතු සහ අනවසර ඉඩම් අල්ලා ගැනීම් හේතුවෙන් වනාන්තර එළිපෙහෙළි වීමෙන් දිවියාගේ ස්වාභාවික වාසභූමිය සීඝ්‍රයෙන් සීමා වී ඇත. එය නකල්ස් කඳුකරයට සේම හන්තාන අඩවියට ද දැඩි සේ බලපා තිබේ. එමෙන්ම කැලෑබද ප්‍රදේශවල වෙසෙන මුවන්, හාවුන් වැනි සතුන් නීති විරෝධී ලෙස දඩයම් කිරීම නිසා දිවියාගේ ස්වාභාවික ආහාර දාමය බිඳ වැටී ඇත.

අනෙක් කරුණ නම් මේ දිවි දෙනුන් පැටවුන් බිහි කරන කාලයයි. මෙම කාලයේ දී මවට සහ පැටවුන්ට වැඩි ශක්තියක් අවශ්‍ය බැවින් ඔවුහු වඩාත් සක්‍රීය ලෙස ගොදුරු සොයති. ස්වාභාවික ගොදුරු අඩු වූ විට, ගෙවතු අසල සිටින සුනඛයන්, එළුවන්, ගව පැටවුන් වැනි පහසුවෙන් අල්ලාගත හැකි ගොදුරු කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වේ. හෝර්ටන්තැන්නේ දී මෙන්ම හන්තාන ආශ්‍රිතව ද මෙම රටාව දැකිය හැකිය. නල්ලතන්නිය, මස්කෙළිය වැනි වතු ජනාවාස වල කුකුළු කොටු සහ සත්ව ගොදුරු දුර්ගන්ධය ඇති ස්ථාන වෙත දිවියන් පහසුවෙන් ආකර්ෂණය වන බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත. පේරාදෙණියේ සිදුව ඇත්තේ ද එයමය.

සිංහලෙන් අප “කොටියා” යැයි පොදුවේ හඳුන්වන සත්ත්වයා සැබවින්ම කොටියා නොවේ. ඔහු ශ්‍රී ලංකා දිවියා [Sri Lankan Leopard] ය. නමුත් ඔහුගේ විද්‍යාත්මක නාමය Panthera pardus kotiya නම් වේ. මොහු ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන අතර, ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ සිටින විශාලතම සහ ප්‍රධානතම විලෝපිකයා  වේ.

කහ පැහැති රන්වන් ලොම් සළුව මත කළු පැහැති රොසෙටා පුල්ලි පිහිටා තිබීම මොවුන්ගේ අනන්‍යතාවයි. ලෝකයේ වෙනත් රටවල දිවියන්ට වඩා ශ්‍රී ලංකාවේ දිවියා සිරුරින් තරමක් විශාලය. ඊට හේතුව අප රටේ සිංහයන් හෝ ව්‍යාඝ්‍රයන් වැනි තරඟකාරී විශාල විලෝපිකයන් නොසිටීම නිසා පරිණාමීය වශයෙන් ඔවුන් උසස් ස්ථානයක් හිමි කර ගැනීමයි. ඉතා විසිතුරු පුල්ලි රටාවකින් යුතු සිරුරු සහිත මොවුන්ගේ සාමාන්‍ය අලස චර්යා රටාව නිසා බොහෝ දේශීය විදේශීය සංචාරකයෝ මොවුන් දැකීම ප්‍රිය කරති. යාල, විල්පත්තුව, කුමන, වස්ගමුව වැනි වියළි කලාපීය ජාතික උද්‍යාන වල වැඩිම ඝනත්වයක් දක්නට ලැබුණද, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය වැනි තෙත් කලාපීය වනාන්තර වල සහ හෝර්ටන් තැන්න වැනි කඳුකර වනාන්තර වල ද ජීවත් වීමට මොවුන් අනුවර්තනය වී ඇත. හෝර්ටන් තැන්නේ සිටින දිවියන්ගේ ලොම් සීතලට ඔරොත්තු දීම සඳහා තරමක් ඝනකම් ය. එමෙන්ම අප රටේ ඉඳ හිට Black Panther නමින් හඳුන්වන කළු දිවියන් ද වාර්තා වී ඇති අතර අප ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ඊට තරමක් නුදුරු කුට්ටාපිටිය ප්‍රදේශයේ සැරිසරන කළු දිවි පැටවකු ගැන ද අසන්නට ලැබිණි. ඒ සිරුරේ මෙලනින් නම් වර්ණකය අධික ලෙස නිෂ්පාදනය වීම මත කළු පැහැ ගැන්වුණු දිවි පැටවකු බව අපට පසුව දැන ගත හැකි විය.අධික ලෙස මෙලනින් වර්ණකය නිපදවීම නිසා උන්ගේ ලොම් කළු පැහැයෙන් පෙනුනද, පරීක්ෂා කර බැලූ විට දිවියන්ගේ සිරුරේ ඇති ලාක්ෂණික ලප/ලක්ෂණ (Ro-settes) ඒ කළු ලොම් අතරින්ද පැහැදිලිව දැකගත හැකිය.ශ්‍රී ලාංකික දිවියා අතරද මෙම ජානමය විකෘතිතාව සහිත කළු දිවියන්……………… අතිශය විරල ලෙස ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශවලින් (උදාහරණ ලෙස ශ්‍රී පාද අඩවිය, සිංහරාජය) හමුවී ඇත. කෙසේ හෝ මේ වන විට අප රටේ සම්පූර්ණ දිවියන්ගේ ගහණය 800 නො ඉක්මවන බව පරිසරවේදීන්ගේ මතයයි.

තනිව ජීවත් වන දිවියෝ තම බල ප්‍රදේශ දැඩිව ආරක්ෂා කරති. ප්‍රධාන වශයෙන් රාත්‍රීචර වන අතර අලුයම සහ සන්ධ්‍යා කාලයේ මොව්හු වඩාත් සක්‍රීය වෙති. මුවන්, ගෝනුන්, වල් ඌරන්, වඳුරන් සහ කුඩා ක්ෂීරපායින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයයි. ශ්‍රී ලංකාවේ දිවියා වඳුරන් ගොදුරු කර ගැනීමට යොදා ගන්නා කූටෝපායක් පිළිබඳව ශ්‍රී ලංකාවේ කලක් ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥයකු හා ලේඛකයකු වන ජෝන් ස්ටීල් විසින් 1930 වසරේ ලියූ Jungle Tide නම් කෘතියේ කදිම විස්තරයක් තිබේ.

උඩපේරාදෙණිය සත්ත්ව ගොවිපොළේ සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසන්නේ මාර්තු මාසයේ පළමු සිදුවීමත් සමඟම සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා පියවර ගෙන ඇති බවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ දිවියන් ආරක්ෂිත වෙනත් වනජීවී කලාප වෙත සංක්‍රමණය කරවන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව ද උපකුලපතිවරයා සඳහන් කරයි.

මේ අතර පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් කිසි දිනෙක මිනිස් මස් අනුභවයට හුරු වූ සතුන් ලෙස වාර්තා වී නොමැති බවයි. ශ්‍රී ලංකා දිවියා සාමාන්‍යයෙන් තම ඇස් මට්ටමට වඩා පහළින් ඇති ගොදුරු දඩයම් කිරීමට පෙළඹේ. එබැවින් කෙළින් සිටින මිනිසෙකුට සෘජු තර්ජනයක් එල්ල කිරීමේ ප්‍රවණතාව ඉතා අඩුය. කෙසේ වෙතත් මිනිසුන් බිම වාඩි වී සිටින විට, බිම නිදා සිටින විට හෝ කුඩා දරුවන් සිටින විට ඔවුන් ගොදුරක් ලෙස වරදවා වටහා ගැනීමේ අවදානමක් ඇත. ඉකුත් සමයක උතුරු නැගෙනහිර සිට වනගත මාර්ග ඔස්සේ කතරගම පාද යාත්‍රාවක යෙදුණු ගුරුවරියක දිවියකුට බිලි වූයේ ඇය ශරීර කෘත්‍ය සඳහා පහත් වී සිටිය දී බව අනාවරණය වී තිබේ. එබැවින් දිවියන් කෙරෙහි අනවශ්‍ය භීතියක් ඇති කර ගැනීම වෙනුවට නිසි ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

රාත්‍රී කාලයේ හන්තාන ආශ්‍රිතව සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අඳුරු ස්ථානවල තනිව ගමන් කිරීමෙන් වැලකීම, සත්ත්ව ගොවිපොළවල් සහ කුකුළු කොටු රාත්‍රී කාලයේ දී නිසි ලෙස ආලෝකමත් කර, ආරක්ෂිතව වසා තැබීම, ආහාර අපද්‍රව්‍ය සහ සත්ව අපද්‍රව්‍ය විවෘතව බැහැර කිරීමෙන් වැලකීම, දිවියන්ගේ ආකර්ෂණය අවම කර ගන්නා ක්‍රමෝපායන් ලෙස හඳුනාගෙන තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා දිවියා IUCN රතු දත්ත පොතට අනුව තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස නම් කර ඇත. මොවුන්ට ඇති ප්‍රධානම තර්ජනය වන්නේ මුවන්ට සහ ගෝනුන්ට අටවන මන්ද වලට අසුවී වසරකට දිවියන් විශාල සංඛ්‍යාවක් මිය යාමයි. විශේෂයෙන් කඳුකර ප්‍රදේශ වල මඳු වලට හසුවීමෙන් සිදුවන මරණ ද බහුල ය. ඊට අමතරව වාසස්ථාන අහිමි වීම, වතු ආශ්‍රිතව සිදුවන විෂ දීම් සහ වාහන වලට හැපීම ද ප්‍රධාන තර්ජන වේ.

දිවියා යනු පරිසර පද්ධතියේ සමතුලිතතාවය රකින යතුරයි. දිවියා විනාශ වුවහොත් මුවන්, ගෝනුන් වැනි ශාක භක්ෂක සතුන්ගේ ගහනය පාලනයකින් තොරව වැඩි වී මුළු වනාන්තර පද්ධතියම විනාශ විය හැකිය. එසේම ශ්‍රී ලංකාවේ පරිසර සංචාරක කර්මාන්තයට [Eco-Tourism] දිවියාගෙන් ලැබෙන ආර්ථික දායකත්වය අතිමහත් ය. ඒ අනුව මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වන දිවියන්ගෙන් ආරක්ෂා වන අප තව නොබෝ කාලයකින් මෙරටින් සදහටම වඳ වී යා හැකි මෙම වන ජීවී සම්පත රැක ගැනීම සම්බන්ධයෙන් ද අදට වඩා වගකීම් සහගත විය යුතුය.

ඒ. ජී. රේණුකා දමයන්ති

හරිත දනව්ව