
රූමත්කම පිළිබඳ ලෝකයේ විවිධ සමාජවල පවතින සංකල්ප අතර සමේ පැහැය සම්බන්ධ අදහසට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල දීර්ඝ කාලයක් තිස්සේ “සුදු සම” රූමත්කමේ, සමාජ පිළිගැනීමේ සහ ඇතැම් විට ආර්ථික තත්ත්වයේ සංකේතයක් ලෙස පවා සලකා තිබේ. එම සමාජ මතය වටා දැවැන්ත වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. මුහුණ සුදු කරන ආලේපන (Cream), දියර (Lotion), සෙරම් (Serum), සබන්, පෙති හා කරල් මෙන්ම විවිධ රූපලාවණ්‍ය ප්‍රතිකාර ද ඒ වෙළෙඳපොළේ කොටස් බවට පත්ව ඇත. එහෙත් මෙහි ඇති භයානකම කරුණ වන්නේ “සුදු වීම” වෙනුවෙන් යමෙකු තම සෞඛ්‍යය පරදුවට තැබීම ය. ඇතැම් අවස්ථාවල එම අවසන් මිල සුන්දරත්වය නොව රෝගීභාවය විය හැකි අතර, විෂ ද්‍රව්‍යවලට දිගුකාලීනව නිරාවරණය වීමේදී ජීවිතය පවා අවදානමට ලක් විය හැකිය.

සුදු වීම යනු කුමක්ද?
මිනිස් සමේ ස්වභාවික පැහැය තීරණය කරන ප්‍රධාන වර්ණකය වන්නේ මෙලනින් (Melanin) ය. ලා පැහැයේ සිට දුඹුරු සහ තද පැහැය දක්වා මිනිසුන් අතර දක්නට ලැබෙන විවිධ සමේ වර්ණ ස්වභාවික මිනිස් ජීව විවිධත්වයේ කොටසකි. එහෙත් සමේ ස්වභාවික මෙලනින් නිෂ්පාදනය හෝ එහි ක්‍රියාකාරීත්වය අඩු කර කෘත්‍රිමව සමේ පැහැය වෙනස් කිරීමට උත්සාහ කිරීම සම විරංජනය, සම හිස් කිරීම/සම පැහැපත් කිරීම (Skin Bleaching/Skin Lightening) ලෙස හැඳින්විය හැකිය. මෙය රූපලාවණ්‍ය තේරීමක් ලෙස පමණක් සලකා අවසන් කළ නොහැක. භාවිත කරන නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය, ඒවායේ සාන්ද්‍රණය, භාවිත කරන කාලය සහ ඒවා නීත්‍යානුකූලව පාලනය කර තිබේද යන්න අනුව සෞඛ්‍ය අවදානම වෙනස් වේ.
ඉන්දියාවෙන් පැමිණි නවතම අනතුරු ඇඟවීම
මේ අවදානම යළිත් ප්‍රබල ලෙස ඉස්මතු කරමින් ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය (සී.ඩී.එස්.සී.ඕ. – CDSCO) 2026 සැප්තැම්බර් 8 වැනිදා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. එම අනතුරු ඇඟවීමට අනුව පාකිස්තානයේ නිෂ්පාදිත ඝොරී බියුටි ක්‍රීම් (Ghori Beauty Cream) සහ චාන්ඩ්නි වයිටෙනින්ග් ක්‍රීම් (Chandni Whitening Cream) යන නිෂ්පාදන ඉන්දියාවේ අලෙවිය සඳහා අවශ්‍ය ආනයන ලියාපදිංචිය ලබා නොතිබූ අනවසර රූපලාවණ්‍ය නිෂ්පාදන ලෙස හඳුනාගෙන ඇත. තවද, සී.ඩී.එස්.සී.ඕ. (CDSCO) පවසන්නේ එම නිෂ්පාදනවල නියමිත සීමාවන් ඉක්මවන බැර ලෝහ (Heavy Metals) අඩංගු බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවයි. එම නිසා ඒවා භාවිත නොකරන ලෙසත්, මිලදී නොගන්නා ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ. මෙය හුදෙක් වෙනත් රටක සිදුවීමක් ලෙස බැහැර කළ නොහැක. ඒ අන්තර්ජාල වෙළෙඳාම, සමාජ මාධ්‍ය ප්‍රචාරණය සහ අවිධිමත් වෙළෙඳ මාර්ග හරහා රටක නීතිමය පාලනයෙන් පිටත නිෂ්පාදන වෙනත් රටවල පාරිභෝගිකයන් වෙත ද ළඟා විය හැකි නිසා ය.
රසදිය – සුදු කරන ක්‍රීම්වල සැඟවුණු විෂ
සම පැහැපත් කිරීම සඳහා භාවිත වන ඇතැම් අනවසර නිෂ්පාදනවල තිබිය හැකි වඩාත් බරපතළ විෂ ද්‍රව්‍යයක් වන්නේ රසදිය (Mercury) ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ රසදිය අඩංගු සම පැහැපත් කරන නිෂ්පාදන මිනිස් සෞඛ්‍යයට අනතුරුදායක බවයි. රසදිය නිසා වකුගඩු හා ස්නායු පද්ධතියට හානි සිදුවිය හැකි අතර සමේ ගැටලු ද ඇති විය හැකිය. වඩාත් බරපතළ කරුණ වන්නේ රසදිය නිරාවරණය ජීවිතයට පවා තර්ජනයක් විය හැකි වීමය. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සී.ඩී.සී. – CDC) වාර්තාවක සඳහන් වන්නේ රසදිය නිරාවරණය ආපසු හැරවිය නොහැකි වකුගඩු හා මධ්‍යම ස්නායු පද්ධති හානි මෙන්ම මරණයට ද හේතු විය හැකි බවයි. එබැවින් “සුදු වීමට භාවිත කළ ක්‍රීම් එකක් නිසා මිය යා හැකිද?” යන ප්‍රශ්නයට පිළිතුර සරලව “නැත” යන්න නොවේ. රසදිය වැනි විෂ ද්‍රව්‍ය අධික ලෙස අඩංගු නිෂ්පාදන දිගුකාලීනව භාවිත කිරීමෙන් ඇතිවන විෂබාධ, විශේෂයෙන් වකුගඩු හා ස්නායු පද්ධතියට සිදුවන බරපතළ හානි හරහා ජීවිත අවදානමක් ඇති කළ හැකිය.

වකුගඩුවට යන සුදු පැහැයේ මිල
මෙය හුදෙක් න්‍යායික අවදානමක් නොවේ. විද්‍යාත්මක වාර්තා කිහිපයක රසදිය අඩංගු සම පැහැපත් කිරීමේ ක්‍රීම් භාවිත කළ පුද්ගලයන්ට වකුගඩු ආශ්‍රිත ප්‍රෝටීන් පිටවීමේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය (Nephrotic Syndrome) ඇතුළු බරපතළ වකුගඩු රෝග තත්ත්ව ඇති වූ අවස්ථා වාර්තා කර තිබේ. එවැනි එක් පර්යේෂණයකදී රසදිය අඩංගු සම පැහැපත් කිරීමේ ක්‍රීම් භාවිත කළ කාන්තාවන් සිව්දෙනකුට බරපතළ ප්‍රෝටීනියුරියා – මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීම (Proteinuria) සහ වකුගඩු රෝගයක් හඳුනාගෙන තිබූ අතර, ක්‍රීම් භාවිතය නතර කිරීමෙන් පසුව ඔවුන්ගේ තත්ත්වය යහපත් වී තිබිණි. එනම්, මුහුණේ පැහැය වෙනස් කිරීම සඳහා සම මත ආලේප කළ ද්‍රව්‍යයක් අවසානයේ ශරීරයේ අභ්‍යන්තර අවයවයකට බලපෑම් කළ හැකිය.
“සතියෙන් සුදු වීම” යනු අනතුරු ඇඟවීමක්ද?
“සතියෙන් සුදු වෙන්න”, “දින කිහිපයකින් පැහැපත් වන්න”, “ස්ථිරව සුදු වන්න” වැනි ජාවාරම්කරුවන්ගේ ප්‍රකාශ පාරිභෝගිකයාගේ අවධානය ඉතා වේගයෙන් දිනා ගනී. එහෙත් වේගවත් ප්‍රතිඵලයක් ලබාදෙන බව කියන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය විය යුත්තේ “එය කොතරම් ඉක්මනින් සුදු කරයිද?” යන්න පමණක් නොවේ. “ඒ සඳහා භාවිත කරන්නේ කුමන රසායනික ද්‍රව්‍යද?”, “ඒවායේ සාන්ද්‍රණය කොපමණද?”, “නිෂ්පාදනය නියාමන අධිකාරියක ලියාපදිංචි කර තිබේද?”, “නිෂ්පාදකයා සහ අමුද්‍රව්‍ය පිළිබඳ නිවැරදි තොරතුරු තිබේද?” යන ප්‍රශ්න ද ඇසිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ රසදිය අඩංගු සම පැහැපත් කිරීමේ නිෂ්පාදන ලෝකයේ රටවල් රැසක තහනම් කර තිබුණ ද ඒවා අන්තර්ජාලය ඇතුළු විවිධ මාර්ග ඔස්සේ තවදුරටත් පාරිභෝගිකයන් වෙත ළඟා වන බවයි. මෙය අප විශේෂයෙන් අවධානයට යොමු කළ යුතු තත්ත්වයකි.

තවත් අවදානම් සහිත ද්‍රව්‍ය
සම පැහැපත් කිරීමේ නිෂ්පාදන පිළිබඳ කතා කිරීමේදී සියලුම රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් සැලකීම නිවැරදි නොවේ. ඒවායේ ආරක්ෂාව තීරණය වන්නේ ද්‍රව්‍යය, සාන්ද්‍රණය, භාවිත කරන ස්ථානය, කාලය සහ වෛද්‍ය අධීක්ෂණය වැනි කරුණු මතය. කෙසේ වෙතත්, අනවසර හෝ අධික ලෙස භාවිත කරන නිෂ්පාදනවල හයිඩ්‍රොක්විනෝන් (Hydroquinone), බලවත් කෝටිකොස්ටෙරොයිඩ් (Corticosteroids) සහ රසදිය වැනි ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අවශ්‍යය. හයිඩ්‍රොක්විනෝන් දිගුකාලීන හෝ අනිසි භාවිතය පිටතින් හටගන්නා සමේ තද පැහැවීම (Exogenous Ochronosis) වැනි ස්ථිර සමේ වර්ණ වෙනස්වීම් සමඟ සම්බන්ධ වී තිබේ. එහෙත් හයිඩ්‍රොක්විනෝන් මිනිසුන් තුළ පිළිකා ඇති කරන බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව විද්‍යාත්මක සමාලෝචන පෙන්වා දෙයි. එබැවින් එය “සමේ පිළිකා ඇති කරන බව තහවුරු වී ඇත” යනුවෙන් සරලව පැවසීම විද්‍යාත්මකව නිවැරදි නොවේ. එසේම බලවත් ස්ටෙරොයිඩ් (Steroids) අඩංගු නිෂ්පාදන අනිසි ලෙස දිගුකාලීනව භාවිත කිරීම සම තුනී වීම, කුරුලෑ වැනි තත්ත්ව, ආසාදන සහ හෝමෝන පද්ධතියට බලපෑම් ඇතුළු සංකූලතා ඇති කළ හැකිය.
මෙලනින් සතුරෙක් නොවේ
මෙහිදී අප අමතක කරන මූලික කරුණක් තිබේ. මෙලනින් යනු රූමත්කම විනාශ කරන ද්‍රව්‍යයක් නොවේ. එය මිනිස් සමේ ස්වභාවික වර්ණකයකි. සූර්යයාගෙන් ලැබෙන පාරජම්බුල (Ultraviolet – UV) කිරණවලට එරෙහිව සමට යම් ආරක්ෂාවක් ලබාදීමටද එය දායක වේ. ඒ නිසා ස්වභාවිකව වැඩි මෙලනින් සහිත සමක් “අඩු රූමත්” යැයි හෝ අඩු සෞඛ්‍ය සම්පන්න යැයි සැලකීමට කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. ඇත්තටම රූමත්කම සහ සෞඛ්‍ය සම්පන්න සම යනු එකම දෙයක් නොවේ. නිරෝගී සම සුදු, දුඹුරු හෝ තද පැහැති විය හැකිය.
සුදු පැහැයෙන් ඔබ්බට යන ලෝකයේ රූමත්කම

එක් කාලයකදී සුදු සම සමාජ තත්ත්වය, ධනය, පිරිසිදුකම සහ රූමත්කම සමඟ සම්බන්ධ කර දැක්වූ සමාජ සංකල්ප ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැවතිණි. එහෙත් අද ජාත්‍යන්තර විලාසිතා හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පෙනී යන්නේ ඊට වඩා විවිධත්වය පිළිගන්නා නිරූපණයකි. නයෝමි කැම්බල් (Naomi Campbell) වැනි කළු ජාතික සුපිරි නිරූපිකාවන් දශක ගණනාවක් පුරා ලෝක විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක සිට ඇත. ලියු වෙනි (Liu Wen) වැනි ආසියානු නිරූපිකාවන්ද ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් ලබා තිබේ. එසේම අඩුට් අකෙච් (Adut Akech), අනොක් යායි (Anok Yai), ප්‍රෙෂස් ලී (Precious Lee), ඉමාන් හමාම් (Imaan Hammam), විනී හාර්ලෝ (Winnie Harlow) සහ පලෝමා එල්සෙසර් (Paloma Elsesser) වැනි විවිධ පසුබිම් සහ පෙනුම් සහිත නිරූපිකාවන් ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රයේ දෘශ්‍යමාන වීමද මේ වෙනසෙහි කොටසකි. එමෙන්ම මුහුණු පොත ආදී සමාජ ජාල පරීක්ෂාවේදී අමොරිනා ටී.එන්. ඩිසිල්වා (Amorina T.N. D zilva) ආදී සම සුදු නොවූ ශ්‍රී ලංකාවේ සුරූපිනියන් බොහොමයක් පිළිබඳ තොරතුරු සොයා ගැනීම අසීරු නොවේ. මෙයින් රූමත්කමට එකම සමේ පැහැයක් හෝ එකම ශරීර ආකෘතියක් තිබිය යුතුය යන පැරණි සංකල්පය අභියෝගයට ලක්වෙමින් පවතින බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවට ඇති පණිවුඩය
ශ්‍රී ලංකාවේ ද “සුදු වුණොත් ලස්සනයි”, “සුදු වීමෙන් වටිනාකම වැඩි වේ” වැනි අදහස් පරම්පරා ගණනාවක් පුරා සමාජයේ සංසරණය වී තිබේ. මෙවැනි අදහස් කුඩා වියේ සිට පුද්ගලයන්ගේ මනසට ඇතුළු වීමෙන් තම ස්වභාවික පෙනුම පිළිබඳ අතෘප්තියක් ඇති විය හැකිය. එතැන් සිට ආරම්භ වන්නේ තවත් සුදු විය යුතුය යන අඛණ්ඩ තරගයයි. ක්‍රීම් එකකින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණහොත් තවත් ක්‍රීම් එකක්, එයින්ද නොලැබුණහොත් පෙත්තක්, ඉන්පසුව එන්නතක් හෝ වඩා ප්‍රබල ප්‍රතිකාරයක් ලැබිය හැක. මෙය රූමත්කම සොයා යන ගමනක් නොව, ස්වභාවික පෙනුම සමඟ ඇති අතෘප්තියෙන් උපදින මාරාන්තික විය හැකි අනතුරුදායක චක්‍රයක් බවට පත්විය හැකිය.
අවසානයේ සුදු පැහැයද, ජීවිතයද?
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සම පැහැපත් කිරීමේ හා විරංජනය කිරීමේ හානිකර ක්‍රියා අවම කිරීම සඳහා රටවල් සමඟ කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවද රසදිය අඩංගු සම පැහැපත් කිරීමේ නිෂ්පාදන ඉවත් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර වැඩසටහනකට සම්බන්ධ වී තිබේ. එහෙත් නීති පමණක් මෙම ගැටලුව විසඳන්නේ නැත. පාරිභෝගිකයාගේ සිතේ ඇති “සුදු වීම = ලස්සන වීම” යන සමීකරණය වෙනස් කළ යුතුය. 2026 දී පවා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සම පැහැපත් කිරීමේ නිෂ්පාදන භාවිතයට සමාජ සම්මත, රූමත්කම පිළිබඳ අදහස්, ප්‍රචාරණය සහ සංස්කෘතික බලපෑම් ඇතුළු සාධක රැසක් බලපාන බවයි.
එබැවින් ප්‍රශ්නය විය යුත්තේ, “කොතරම් ඉක්මනින් සුදු විය හැකිද?” යන්න නොවේ. “සුදු වීමට යන මේ ගමනේදී මාගේ සෞඛ්‍යයට සිදුවන්නේ කුමක්ද?” යන්නය. මන්ද රසදිය වැනි විෂ ද්‍රව්‍ය අඩංගු අනවසර නිෂ්පාදනයක් භාවිත කළහොත් මුහුණේ පැහැය වෙනස් වීමට පෙර වකුගඩුව වෙනස් විය හැකිය. ස්නායු පද්ධතියට හානි විය හැකිය. ශරීරයේ වෙනත් අවයවවලට බලපෑම් ඇති විය හැකිය. අතිශය දරුණු නිරාවරණයකදී ජීවිතය පවා අහිමි විය හැකිය.
එබැවින් සුදුවීමේ උමතුවේ අවසන් සිදුවීම සෑම විටම සුන්දරත්වය නොවිය හැකිය. ඇතැම් විට එය රෝගීභාවය වන අතර, දරුණු විෂ නිරාවරණයකදී මරණය පවා විය හැකිය. අනාගතයේ රූමත්කම යනු එක් වර්ණයකට අයත් මුහුණක් නොවිය යුතුය. එය නිරෝගී බව, පෞරුෂය, ආත්මවිශ්වාසය, හැකියාව සහ තම ස්වභාවික පෙනුම පිළිගැනීම සමඟ බැඳුණු පුළුල් සංකල්පයක් විය යුතුය. සුදු පැහැය රූමත්කමේ එකම ප්‍රවේශපත්‍රය වූ යුගය අවසන් වෙමින් තිබේ. එහෙත් එය අවසන් වීමට පෙර, සුදු වීමට ගොස් ජීවිතය අවසන් කරගන්නා තත්ත්වයක් ඇති නොවීමට මුළු සමාජයම අවදි විය යුතුය.
ඒ. ජී. රේණුකා දමයන්ති