2026 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයෙන් වාර්තා වන වඩාත්ම සුබවාදී, එහෙත් වඩාත්ම සංකීර්ණ පුවතක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අසන්නට ලැබී තිබේ. එය සුබ පුවතක් වන්නේ භාණ්ඩාගාරයටය; අසුබ පුවතක් වන්නේ සමස්ත සමාජයටය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල නිවේදනයට අනුව 2026 පළමු අර්ධය තුළ පමණක් රුපියල් බිලියන 141.5 ක සුරාබදු ආදායමක් රජය වෙත අය කර දීමට එම දෙපාර්තමේන්තුව සමත් වී ඇත. සංඛ්‍යාලේඛන දෙස බලන විට මෙය සැබවින්ම වාර්තාගත ජයග්‍රහණයකි.
2026 පළමු කාර්තුව තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 70.4 ක ආදායමක් උපයා ඇත. එය එම කාර්තුවට නියමිතව තිබූ රුපියල් බිලියන 61.95 ක ඉලක්කය පහසුවෙන් ඉක්මවා යාමකි.
ඉලක්කයට වඩා 118.6% ක්: 2026 පළමු අර්ධය සඳහා දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ මුළු ඉලක්කය රුපියල් බිලියන 119.3 කි. උපයා ඇති රුපියල් බිලියන 141.5 යනු ඉලක්කයට සාපේක්ෂව 118.6% ක සුවිශේෂී ජයග්‍රහණයකි.
වාර්ෂික ඉලක්කය: සමස්ත 2026 වසර සඳහා වාර්ෂික ඉලක්කය රුපියල් බිලියන 245 කි. මෙය රජයේ මුළු බදු ආදායම් මූලාශ්‍ර අතරින් තෙවන විශාලතම මූලාශ්‍රය ලෙස සැලකේ.
2025 පළමු අර්ධයේ ආදායම වූ රුපියල් බිලියන 117.03 ට සාපේක්ෂව මෙය 120.91% ක වර්ධනයකි. එමෙන්ම 2025 වසරේදී දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමු වරට තම ඉලක්කය ඉක්මවා ගොස් තිබිණි. ඒ රුපියල් බිලියන 227.4 ක ඉලක්කයට එරෙහිව රුපියල් බිලියන 231.3 – 233 ක් පමණ උපයා ගනිමින් 102% ක ඉලක්ක සපුරා ගැනීමක් වාර්තා කරමිනි. මෙම සාර්ථකත්වය පිටුපස ඇත්තේ හුදෙක් බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව පමණක් නොවේ.
මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් නිරපේක්ෂ මද්‍යසාර (Absolute Alcohol) ප්‍රමාණය 2025 පළමු අර්ධයේ ලීටර් මිලියන 17.25 සිට 2026 පළමු අර්ධයේදී ලීටර් මිලියන 19.6 දක්වා 13.6% කින් වර්ධනය වී තිබීමෙන් පෙනී යන්නේ රට තුළ නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනයේ ප්‍රමාණාත්මක වර්ධනයක් ද සිදුවී ඇති බවයි.මිලි ලීටර් 750 ප්‍රමාණයේ බෝතල් වශයෙන් ගත් විට මෙය බෝතල් මිලියන 26.13 ක් පමණ වේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න පවසන පරිදි, මෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ සියලු ශ්‍රේණිවල නිලධාරීන්ගේ කැපවීම, මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර දැඩි අධීක්ෂණය, නව ආරක්ෂිත ස්ටිකරය හඳුන්වා දීම, නීති විරෝධී ස්ප්‍රීතු පිළිබඳ විමර්ශන තීව්ර කිරීම සහ බලපත්‍රලාභී ස්ථාන නිරන්තර පරීක්ෂාවයි.
අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු රජයට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ට වඩා වැඩි අනුපාතයකට ගෙන ඒමට සිදුවී ඇති මොහොතක, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන තුන රජයේ ආදායමේ ප්‍රධාන කුළුණු තුනයි. ආදායම 118.6% කින් ඉලක්කය ඉක්මවීමෙන් පෙනී යන්නේ, විශේෂයෙන් නව ආරක්ෂිත සලකුණ (Security Sticker) මගින් ව්‍යාජ මත්පැන් සහ බදු නොගෙවූ නිෂ්පාදන වෙළෙඳපොළට ඒම සීමා වී, බදු කාන්දුව කාර්යක්ෂමව වැළැක්වීමට හැකි වී ඇති බවයි.
එහෙත්, මෙය සැබෑ ජයග්‍රහණයක් ද?
ආර්ථික විද්‍යාවේ එක් මූලධර්මයක් වන්නේ “Sin Tax” හෙවත් පාප බද්දයි. සමාජයට හෝ පුද්ගල සෞඛ්‍යයට අහිතකර දේට වැඩිපුර බදු පැනවීමෙන් පරිභෝජනය අවම කරවීම එහි අරමුණයි. මත්පැන් මිල වරින්වර වැඩි කිරීමෙන් පරිභෝජනය අඩු කිරීම රජයේ ප්‍රතිපත්තිය වූයේ ද එබැවිනි.
එහෙත් දත්ත පෙන්වන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. මිල වැඩිවීම් මධ්‍යයේ වුවද පරිභෝජනය ලීටර් මිලියන 19.6 දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් පෙනී යන්නේ මත්පැන් සඳහා ඇති ඉල්ලුම මිල ඉහළ යාමට එතරම් සංවේදී නොවන බවයි. ජනතාව විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද මත්පැන් සඳහා වියදම් කිරීමට පෙළඹෙන බවයි. මෙය සමාජයීය අර්බුද රාශියක මතුපිට දර්පණයකි.ඒ අනුව විද්‍යාත්මක පදනමකින් එහි ව්‍යුහය පරීක්ෂා කිරීමේ දී බරපතල ඛේදනීය තත්වයක් අනාවරණය කර ගත හැකි වනු ඇත.ඒ අඹු දරුවන් සා ගින්දරේ තබා මත් පැන් වෙනුවෙන් තම සන්තකය වැය කරන සැමියන් හා පියවරුන් යන්න කේන්ද්‍රගතව ය.
අප රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාව තුළ මත්පැන් යනු දුරින් දුරු කළ යුතු දෙයකි. බහුතරයක් දරන බෞද්ධ දර්ශනයේ පංචශීලය තුළ පස්වන ශික්ෂා පදය වන්නේ ‘සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී’ යන්නයි. එනම් මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීමයි. මෙය හුදු ආගමික තහනමක් පමණක් නොවේ; එහි අතිප්රබල සදාචාරාත්මක පැතිකඩක් තිබේ. එමෙන්ම එය සිහිය (Mindfulness) නැතිවීමෙන් සිදුවන සමාජ අපරාධ, පවුල් ආරවුල්, විවාහ කැඩීබිඳී යාම්, රථවාහන අනතුරු සහ අලසකම වැළැක්වීමේ සමාජ ආරක්ෂණ පලිහක් ලෙස ක්‍රියා කර ඇත. නමුත් නූතන සමාජය විසින් මත්පැන් දියුණු සමාජ විලාසිතාවක් සේම පුරුෂාර්ථයක් ලෙස හඳුනා ගැනීම මත එම භාවිතාවන් වඩාත් පුළුල් හා ව්‍යාප්ත වී ඇත්තේ එහි බරපතල ආදීනවයන් ද සමඟිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2023 ජනවාරි මාසයේදී The Lancet Public Health ජර්නලයේ පළ කළ නිවේදනයේ ඉතා පැහැදිලිව සඳහන් කළේ සෞඛ්‍යයට හිතකර යැයි පැවසෙන මත්පැන් පරිභෝජන මට්ටමක් නොමැති බවයි (“No level of alcohol consumption is safe for our health”). තවද, මත්පැන්වල අඩංගු එතනෝල්, ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය (IARC) විසින් Group 1 Carcinogen හෙවත් ඉහළම අවදානම් සහිත පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එය ඇස්බැස්ටෝස්, දුම්කොළ සහ විකිරණශීලීතාවට සමාන කාණ්ඩයකට අයත් වේ. WHO පවසන පරිදි මත්පැන් පිළිකා වර්ග 7 කට සෘජුවම සම්බන්ධ වන අතර, යුරෝපයේ පමණක් සැහැල්ලු හා මධ්‍යස්ථ පානය කරන්නන් අතර පවා වසරකට පිළිකා රෝගීන් 23,300 ක් පමණ වාර්තා වේ.
ඒ අනුව රුපියල් බිලියන 141.5 පිටුපස සැඟවුණු දරුණු ශෝකාන්තයක් ඇති බව ද අප පිළිගත යුතුය.
එක් එක් සමාජයට වෙන් වශයෙන් බලපෑවද පොදුවේ ගත් කල මත්පැන් භාවිතය යනු පෞද්ගලික සෞඛ්‍යයට මෙන්ම මුළු පවුල් සංස්ථාවේම ඉදිරි පැවැත්මට බරපතල ලෙස තර්ජනය කරන ප්‍රධාන සමාජීය ගැටලුවකි. අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා අක්මාව සිරෝසිස් (Liver Cirrhosis) තත්ත්වයට පත්වීම, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආමාශයේ තුවාල (Gastritis) සහ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යයි. මත්පැන් මගින් ස්නායු පද්ධතිය දුර්වල කරන අතර, විෂාදය (Depression), අධික කෝපය සහ නොසන්සුන්කම ඇති කරයි. මත්පැන් පානය කර වාහන පැදවීම නිසා සිදුවන රථවාහන අනතුරු, හදිසි වැටීම් සහ පහරදීම් මගින් අකාලයේ ආබාධිත වීමට හෝ මියයාමට සිදුවේ.
එමෙන්ම දිනපතා හෝ සතිපතා මත්පැන් සඳහා වැය කරන මුදල නිසා පවුලේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වන ආහාර, ඇඳුම් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැති වේ. මත්පැන් නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයාගේ රැකියා කාර්යක්ෂමතාව අඩුවීම, නිතර සේවයට වාර්තා නොකිරීම හෝ රැකියාව අහිමි වීම නිසා පවුලට ලැබෙන ස්ථිර ආදායම ඇණහිටියි. අවසානයේ පොලියට මුදල් ගැනීම හෝ දේපළ උගස් තැබීම නිසා පවුල දැඩි ණයගැතිභාවයකට ඇද වැටේ. සෞඛ්‍ය හා ආර්ථික පරිහානියට අමතරව, මත්පැන් නිසා පවුල තුළ ගෘහස්ථ ප්රචණ්ඩත්වය, අඹු-සැමි සැකය සහ රණ්ඩු සරුවල් වැඩිවේ. මෙයින් වඩාත්ම බැටකන්නේ අහිංසක දරුවන්ය. දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් වීම මෙන්ම ඔවුන් තුළ මුළු ජීවිත කාලයටම බලපාන මානසික බිඳවැටීම් සහ බිය උපදවන සුළු මතකයන් ඇතිවේ.
එබැවින් රුපියල් බිලියන 141.5 ක ආදායම් වර්ධනය පිටුපස ඇති ලීටර් මිලියන 19.6 ක නිරපේක්ෂ මධ්‍යසාර පරිභෝජනය යනු හුදු ආර්ථික ජයග්‍රහණයක් පමණක් නොව, දිගුකාලීන සෞඛ්‍ය වියදම් බරපතල ලෙස ඉහළ යාමේ පෙරනිමිත්තක් ද වේ. එමෙන්ම මේ වන විට ග්‍රාමීය මට්ටමින් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන නීති විරෝධී විෂ මත්පැන් පරිභෝජනය නිසා අකාලයේ වැනසෙන මිනිස් ජීවිත මෙන්ම, එම ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් වාර්ෂිකව රජයට දැරීමට සිදුවන ධනස්කන්ධය ද සුළුපටු නොවේ.
මේ සම්බන්ධයෙන් අප රටේ බුද්ධිමත් ගිහි පැවිදි ප්‍රජාව විසින් රජයට නිසි මඟ පෙන්වීමක් නොකළ හොත්, මෙම සංසිද්ධිය ලෝක සාහිත්‍යයේ මෙන්ම පුරාණ සංස්කෘතික ග්‍රන්ථවල එන තම මාංශය අනුභව කොට ජීවත් වීමට වෙර දරා අවසානයේ විනාශ මුඛයට පත් වන ආත්මභක්ෂක උරගයාගේ ක්‍රියාවට සමාන වනු ඇත.
එක අතකින් බදු ආදායමෙන් රට පෝෂණය කරන අතර, අනෙක් අතින් එම ආදායම උපදවන මත්පැන්වලින්ම රටේ මිනිසාගේ සෞඛ්‍යය, පවුල සහ අනාගත පරපුර විනාශ කරමින්, රජයටම නැවතත් සෞඛ්‍ය, සුබසාධන සහ සමාජ ආරක්ෂණ වියදම් ලෙස දෙගුණයකින් බර දැරීමට සිදුවීම අපට යළි යළිත් සිහිපත් කරනුයේ එම ආත්මභක්ෂක උරගයාගේ කතා පුවතම ය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
