හදිසි මානසික කම්පනයකදී අපේ මොළය සහ හදවත ක්ෂණිකව “අවදි වන” හැටි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ


ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක මානසික වශයෙන් දැඩි තිගැස්මක් හෝ කම්පනයක් ඇති වීමේ අවකාශය පොදුවේ අප කා තුළත් පවතී. එවන් අවස්ථා සම්බන්ධයෙන් බොහෝ දෙනකු පවසන “මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා”, “පපුව සීතල වුණා”, “හාට් එක එක පාරටම නැවතුණා වගේ දැනුණා”, “ඔලුව පුපුරන්න එනවා වගේ දැනුණා” වැනි ප්‍රකාශ ද අපි අසා ඇත්තෙමු. නමුත් ඒ කිසිවක් හුදු හිස් වදන් නොවේ. ඒ ක්ෂණික ප්‍රතිචාර පිටුපස පැහැදිලි ජෛව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක පදනමක් පවතී. මෙයින් අපගේ මොළය සහ හෘදය වස්තුව අතර පවතින සෘජු සන්නිවේදනය මනාව වටහා ගත හැකිය. එබැවින් අප ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම ද ඉතා වැදගත් ය.

එහිදී සුලබවම ඇසෙන “මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා” යන්න විද්‍යාත්මකව විස්තර කිරීමේදී ‘සටන් වැදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය’ (Fight or Flight Response) ලෙස හැඳින්විය හැකිය. හදිසි ප්‍රකම්පනීය පුවතක් සන්නිවේදනය වූ සැණින් ශරීරය එය තර්ජනයක් ලෙස දකින අතර, එසැනින් මොළයේ ඇති ඇමිග්ඩලා (Amygdala) කොටස මඟින් අනුකම්පක ස්නායු පද්ධතිය (Sympathetic Nervous System) ක්ෂණිකව උත්තේජනය කරයි. එවිට ඇඩ්‍රිනලින් (Adrenaline) සහ කෝටිසෝල් (Cortisol) වැනි හෝමෝන රුධිරයට මුදා හැරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස හෘද ස්පන්දන වේගය ශීඝ්‍රයෙන් ඉහළ යන අතර, එය අපට “පපුව ගැහෙනවා” ලෙස දැනේ. මෙය අපට සොබාදහමෙන් උරුම වූ ආරක්ෂක ක්‍රියාවලියකි (Defence Mechanism). ඒ අනුව මූලිකව එය අහිතකර තත්ත්වයක් නොවේ.

“මගේ පපුව සීතල වෙලා ගියා” යනුවෙන් බොහෝ දෙනකු දක්වන ප්‍රතිචාරය තුළ ද විද්‍යාත්මක පසුබිමක් පවතී. මෙය රුධිර වාහිනී සංකෝචනය වීම (Vasoconstriction) නිසා සිදු වන්නකි. දැඩි බියක් හෝ කම්පනයක් දැනුණු විට ශරීරය ස්වයංක්‍රීයවම තීරණය කරන්නේ මොළය සහ මාංශ පේශි ඇතුළු වැදගත් ඉන්ද්‍රියයන් ආරක්ෂා කර ගැනීමටයි. එවිට පර්යන්ත රුධිර වාහිනී සංකෝචනය වී, සම මතුපිටට සහ පපුව ආශ්‍රිත සමට ලැබෙන රුධිර සැපයුම තාවකාලිකව අඩු වේ. රුධිරය මඟින් ශරීරයේ උණුසුම පවත්වා ගන්නා බැවින්, එම ප්‍රදේශවල රුධිරය අඩුවීම “සීතල වීමක්” ලෙස අපට දැනේ.

එමෙන්ම එවන් අවස්ථාවල “මගේ පපුව සීතල වෙලා ගියා” යනුවෙන් බොහෝ දෙනකු දක්වන ප්‍රතිචාරය තුළ ද විද්‍යාත්මක පසුබිමක් පවතී. මෙය රුධිර වාහිනී සංකෝචනය වීම (Vasoconstriction) නිසා සිදු වන්නකි. දැඩි බියක් හෝ කම්පනයක් දැනුණු විට ශරීරය ස්වයංක්‍රීයවම තීරණය කරන්නේ මොළය සහ මාංශ පේශි ඇතුළු වැදගත් ඉන්ද්‍රියයන් ආරක්ෂා කර ගැනීමටයි. එවිට පර්යන්ත රුධිර වාහිනී සංකෝචනය වී, සම මතුපිටට සහ පපුව ආශ්‍රිත සමට ලැබෙන රුධිර සැපයුම තාවකාලිකව අඩු වේ. රුධිරය මඟින් ශරීරයේ උණුසුම පවත්වා ගන්නා බැවින්, එම ප්‍රදේශවල රුධිරය අඩුවීම “සීතල වීමක්” ලෙස අපට දැනේ.

එවන් ප්‍රකම්පනීය අවස්ථාවල “හාට් එක එක පාරටම නැවතුණා වගේ දැනුණා” යනුවෙන් පවසන ප්‍රකාශය සහ එහිලා වාගස් ස්නායුවේ බලපෑම (Vagus Nerve Impact) පිළිබඳව ද අප විද්‍යාත්මකව දැන සිටීම ඉතා වැදගත් වේ. අධික කම්පනයකදී ඇතැම් විට හෘද ස්පන්දනය වේගවත් වීමට ප්‍රතිවිරුද්ධ දෙයක් ද සිදු විය හැකිය. කම්පනය නිසා ඇති වන උත්තේජනය වාගස් ස්නායුව (Vagus Nerve) හරහා ගමන් කරන විට, එය හෘද ස්පන්දන වේගය මොහොතකට අඩාල කිරීමට හෝ ස්පන්දනයක් මගහැරීමට (Ectopic Heartbeat) හේතු විය හැකිය.

‘බිඳුණු හදවතේ සහලක්ෂණය’ (Broken Heart Syndrome) ද මීට සම්බන්ධ තත්ත්වයකි. විද්‍යාත්මකව මෙය ‘ටකොට්සුබෝ කාඩියෝමයෝපති’ (Takotsubo Cardiomyopathy) ලෙස හැඳින්වේ. දැඩි මානසික හෝ ශාරීරික කම්පනයක් නිසා හදවතේ එක් කොටසක් තාවකාලිකව අක්‍රිය වීම මෙහිදී සිදු වේ. මෙහි රෝග ලක්ෂණ හෘදයාබාධයකට (Heart Attack) සමාන වුවද, ධමනි අවහිර වීමක් සිදු නොවේ. හෝමෝන මඟින් හෘද පේශිවලට ඇති කරන බලපෑම මෙයට හේතුවයි.

එවන් ප්‍රකම්පනීය සිදුවීමකදී “ඔලුව පුපුරන්න එනවා වගේ දැනුණා” යනු කම්පනය නිසා ඇති වන හිසරදය සහ මාංශ පේශි තද වීම මුල් කොට පැවසෙන ප්‍රකාශයකි. ප්‍රකම්පනීය පුවතකදී හදවතට පෙර මොළය ද ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයෙන් සිදු වන්නකි. ඒ ඇස, කන, නාසය, සම (ස්පර්ශය) යන සංවේදීතාවන් මඟින් එය පළමු කොටම මොළයට දැනෙන නිසා ය. මෙහිදී ද ‘සටන හෝ පලායාම’ ප්‍රතිචාරයේදී රුධිර පීඩනය ඉහළ යන අතර, හිසෙහි රුධිර වාහිනී ප්‍රසාරණය හෝ සංකෝචනය වීමෙන් තදබල හිසරදයක් ඇති විය හැකිය.

නොදැනුවත්වම බෙල්ල, උරහිස සහ හිස්කබල අවට මාංශ පේශි තද වීම (Muscle Tension) නිසා ආතතිමය හිසරදය (Tension Headache) ඇති වේ. මෙය මනෝකායික බලපෑමකි (Psychosomatic Impact). විශේෂයෙන් මිග්‍රේන් (Migraine) ඇති අයකුට මෙය ප්‍රබල උත්තේජකයක් (Trigger) විය හැකි අතර එය නිතර නිතර අත්දකින්නට ද සිදු වනු ඇත.

එහෙත් මෙවන් අවස්ථාවක වේදනාව සමඟ හුස්ම ගැනීමේ අපහසුව, වම් අත හෝ හකු ප්‍රදේශයට වේදනාව විහිදී යාම, අධික ලෙස දාඩිය දැමීම සහ ක්ලාන්ත ගතියක් දැනේ නම් එය ඇතැම් විට හෘදයාබාධ ලක්ෂණයක් වීමට පුළුවන. එහිදී පළමුව ඇවිදීම ඇතුළු කායික ක්‍රියා නතර කර, සුවපහසු ලෙස වාඩි වී හෝ වැතිරී සිටිය යුතු අතර, වෛද්‍ය උපදෙස් මත මීට පෙර නිර්දේශ කර ඇත්නම් පමණක් නියමිත මාත්‍රාවේ ඇස්පිරින් පෙත්තක් සැපිය යුතුය. ඒ සමඟම ළඟම ඇති රෝහලට යාම හෝ ගිලන් රථයක් (1990) ඇමතීම සුදුසුය. මෙබඳු අවස්ථාවල ඔබ දන්නා හොඳම වෛද්‍යවරයා හමුවීමට කල් මැරීමට වඩා, ඒ ආසන්නයේ සිටින ළඟම වෛද්‍යවරයා වෙත යොමු වීම ද අතිශය වැදගත් ය.

භීති ප්‍රහාරයක් (Panic Attack) යනු පුද්ගලයෙකු දැඩි බියට හෝ කම්පනයට පත් වූ විට සිරුරෙන් නිකුත් වන ක්ෂණික සහ තීව්‍ර ප්‍රතික්‍රියාවකි. මෙහි ඇති විශේෂත්වය නම්, බොහෝ විට කිසිදු බාහිර අනතුරක් නොමැති අවස්ථාවල පවා මෙය හටගත හැකි වීමයි. එහිදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. හෘදයාබාධයක ලක්ෂණවලට සමානකමක් දැක්වුවද, පැනික් ඇටෑක් එකකදී හෘද ස්පන්දනය වේගවත් වීම, පපුව ගැහෙන බව තදින් දැනීම (Palpitations), ශ්වසන අපහසුතාව හෙවත් හුස්ම ගැනීමට අපහසු වීම හෝ හුස්ම හිරවන බවක් දැනීම, අධික ලෙස දහඩිය දැමීම, ශරීරය සිසිල් වුවත් දහඩිය දැමීම හෝ වෙව්ලීම, පපුවේ වේදනාව හෝ අපහසුව, පපුව තද වීමක් වැනි හැඟීමක් ඇති වීම, කැරකැවිල්ල සහ ක්ලාන්තය, හිස සැහැල්ලු බවක් හෝ පියවි සිහිය ගිලිහෙන බවක් දැනීම, තමා දැන් මිය යනු ඇතැයි යන දැඩි භීතිය, පාලනය ගිලිහී යාමේ බිය, තමාට උමතු වනු ඇතැයි හෝ තමාගේ හැසිරීම පාලනය කරගත නොහැකි වනු ඇතැයි සිතීම, යථාර්ථයෙන් බැහැර වීම (Derealization): අවට පරිසරය සිහිනයකදී මෙන් අමුතු හෝ අතාත්වික එකක් ලෙස දැනීම, බඩවැල්වල අපහසුතා හෝ වමනය කිරීමට අවශ්‍ය වීම (Nausea), ඇඟ හිරිවැටීම හෝ සිරුර පුරා කූඹින් දුවනවා වැනි හැඟීමක් (Tingling Sensations), සීතල හෝ රස්නය ක්ෂණිකව මාරුවෙන් මාරුවට දැනීම.මේවා එදිනෙදා ජීවිතයේ දී ඔබට අතිශයින් ප්‍රයෝජනවත් වීමට පුළුවන.

යම් ප්‍රකම්පනීය පුවතක් ඇසීමේ හෝ දැඩි කම්පනයක් ඇති වීමේදී ශරීරයේ ප්‍රතික්‍රියා මුල් කොට නිසි අයුරින් හැසිරෙන අයුරු අපි බටහිර චිත්‍රපට ජවනිකා මඟින් කොතෙකුත් දැක ඇත්තෙමු. ඒ අනුව අපට සාපේක්ෂව බටහිර සමාජය තුළ මෙවන් දැනුම් අවබෝධයන් පැතිර ඇති බව සාධාරණ ලෙස අනුමාන කරන්නට අපට පුළුවන. නමුත් ඒ සමඟ හිසරදය සමඟ අධික වමනය, පෙනීම දුර්වල වීම හෝ ශරීරයේ පණ නැති ගතියක් දැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුමය. ඒ කෙසේ හෝ මෙවන් සංසිද්ධියකින් පසු මෙය හෘද රෝගයක්ද, ආමාශයේ ගැටලුවක්ද (Gastritis), නැතිනම් මානසික ආතතියද යන්න තහවුරු කර ගැනීමට ECG පරීක්ෂණයක් කර ගැනීම නුවණට හුරුය. ඒ කෙසේ හෝ අපේ ජනවහරේ පවතින කියමන් හුදු හැඟීම් පමණක් නොව, පැහැදිලි ජෛව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක පදනමක් සහිත මනෝ කායික සංසිද්ධීන් බව ඒ අනුව වටහා ගත හැකිය.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

විනිවිද සායනය