
මුසාව සහ මුලාව, එනම් බොරු කීම සහ අනෙකා රැවටීම යනු සමාජයක අස්ථාවරත්වයට සෘජුවම බලපාන සාධක වේ. ඕනෑම ජන සමාජයක් අස්ථාවර වීමට බොරුව බලපාන අතරම, අස්ථාවර සමාජයක ප්‍රධාන සංසිද්ධිය බවට පත් වන්නේ ද බොරුව සහ රැවටීමයි. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ පවතින තත්ත්වය මෙයට කදිම උදාහරණයකි. කෙසේ වෙතත්, සමාජ මනෝවිද්‍යාව පෙන්වා දෙන්නේ බොරු කීම යනු හුදෙක් පුද්ගලයකුගේ සහජ දුර්වලතාවක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක්ම පමණක් නොවන බවයි. බොරුව යනු පුද්ගලයා ජීවත් වන වටපිටාව, අන්තර්-පුද්ගල සබඳතා සහ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා භාවිත කරන වැදගත් සමාජයීය මෙවලමකි. එනිසා බොරුව සමාජ මනෝවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් මානව සන්නිවේදනයකි. බොරුව නම් වන මෙම සංකීර්ණ හැසිරීම එහි අරමුණ, බලපෑම සහ ව්‍යාප්තිය අනුව ප්‍රධාන වශයෙන් පෞද්ගලික බොරු සහ සමාජමය බොරු වශයෙන් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කළ හැකි ය.
පෞද්ගලික බොරු යනු එදිනෙදා ජීවිතයේදී පුද්ගලයන් දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතර පවතින සබඳතා කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟෙන අසත්‍ය ප්‍රකාශයන් ය. මනෝවිද්‍යාඥයන්ට අනුව මෙවැනි බොරු කීම පිටුපස ප්‍රධාන චේතනා තුනක් පවතී. ඉන් පළමුවැන්න දඬුවම්වලින් බේරීම, ලැජ්ජාවට පත්වීම වැළැක්වීම හෝ කිසියම් පෞද්ගලික ලාභයක් ලබාගැනීම අරමුණු කරගත් ස්වයං-ආරක්ෂක බොරු ය. දෙවැන්න අනෙකාගේ සිත රිදවීම වැළැක්වීමට හෝ ඔවුන්ව සතුටු කිරීම වෙනුවෙන් පවසන ප්රජාහිතකාමී බොරු හෙවත් ‘සුදු බොරු’ (White Lies) ය. උදාහරණයක් ලෙස, ෆේස්බුක්හි පළ කර ඇති හිතවතකුගේ ඡායාරූපයක් දැක, ඔහුගේ සතුට වෙනුවෙන් එය සැබවින්ම ලස්සන නැතත් “ලස්සනයි” යනුවෙන් ප්‍රතිචාර දැක්වීම පෙන්වා දිය හැකිය. බොරු කීමේ තෙවැනි චේතනාව වන්නේ සමාජය තුළ තමන්ගේ තත්ත්වය, පිළිගැනීම හෝ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා තමන් සතු දේ හෝ හැකියාවන් අතිශයෝක්තියෙන් පැවසීම මඟින් ප්රතිරූප පවත්වා ගැනීමයි. මෙය ව්‍යාපාරික, සමාජ සේවා සහ දේශපාලන ක්ෂේත්රවල බහුලව දැකිය හැකි ය.
ලෝක ප්‍රකට කැනේඩියානු-ඇමරිකානු සමාජ විද්‍යාඥ අර්වින් ගොෆ්මන්ගේ (1922-1982) නාට්‍යමය ආකෘතියට අනුව, සමාජය යනු වේදිකාවක් වන අතර මිනිස්සු එහි රංගන ශිල්පියෝ වෙති. එහිදී තමන්ගේ සැබෑ ස්වරූපය සඟවා, සමාජයට අවශ්‍ය චරිතය රඟපෑම සඳහා මිනිසුන් පෞද්ගලික මට්ටමින් බොරුව සහ රැවටීම නිරන්තරයෙන්ම භාවිත කරති. මීට අමතරව, පුද්ගලයා තමන්ගේම මනස තුළ ඇති කරගන්නා පෞද්ගලික බොරු පැහැදිලි කිරීම සඳහා ඇමරිකානු සමාජ විද්‍යාඥ ලියොන් ෆෙස්ටිංගර්ගේ (1919-1989) සංඥානන අසංවාද සිද්ධාන්තය යොදාගත හැකිය. මෙම න්‍යායට අනුව, පුද්ගලයකුගේ විශ්වාසයන් සහ ක්‍රියාවන් අතර ගැටුමක් ඇති වූ විට මනස තුළ නොසන්සුන් බවක් හටගනී. එම නොසන්සුන් බව අඩු කරගැනීම සඳහා මිනිසුන් තමන්ටම මෙන්ම සමාජයට ද බොරු කියමින් විවිධ සාධාරණීකරණයන් ගොඩනඟා ගනිති.
ලෝක ප්‍රකට කැනේඩියානු-ඇමරිකානු සමාජ විද්‍යාඥ අර්වින් ගොෆ්මන්ගේ (1922-1982) නාට්‍යමය ආකෘතියට අනුව, සමාජය යනු වේදිකාවක් වන අතර මිනිස්සු එහි රංගන ශිල්පියෝ වෙති. එහිදී තමන්ගේ සැබෑ ස්වරූපය සඟවා, සමාජයට අවශ්‍ය චරිතය රඟපෑම සඳහා මිනිසුන් පෞද්ගලික මට්ටමින් බොරුව සහ රැවටීම නිරන්තරයෙන්ම භාවිත කරති. මීට අමතරව, පුද්ගලයා තමන්ගේම මනස තුළ ඇති කරගන්නා පෞද්ගලික බොරු පැහැදිලි කිරීම සඳහා ඇමරිකානු සමාජ විද්‍යාඥ ලියොන් ෆෙස්ටිංගර්ගේ (1919-1989) සංඥානන අසංවාද සිද්ධාන්තය යොදාගත හැකිය. මෙම න්‍යායට අනුව, පුද්ගලයකුගේ විශ්වාසයන් සහ ක්‍රියාවන් අතර ගැටුමක් ඇති වූ විට මනස තුළ නොසන්සුන් බවක් හටගනී. එම නොසන්සුන් බව අඩු කරගැනීම සඳහා මිනිසුන් තමන්ටම මෙන්ම සමාජයට ද බොරු කියමින් විවිධ සාධාරණීකරණයන් ගොඩනඟා ගනිති. මේ සඳහා වන නිදසුන් අපේ සමාජයෙන් ඕනෑ තරම් හමුවේ.

කෙසේ වුවද, මෙවැනි පෞද්ගලික බොරු අතරින් ආත්මාර්ථකාමී බොරු මඟින් අන්‍යෝන්‍ය විශ්වාසය බිඳදමා සමාජ සබඳතා පළුදු කරයි. නමුත් ප්රජාහිතකාමී බොරු, නැතහොත් ජන වහරට අනුව ‘චාටු කතා’ මඟින් තාවකාලිකව සබඳතා ශක්තිමත් කරමින් සමාජ සහයෝගීතාව වර්ධනය කරයි. මෙහි ඇති විශේෂිතම කරුණ නම්, සාමාන්‍ය මිනිසෙකුට තවත් කෙනෙකුගේ මෙවැනි පෞද්ගලික බොරුවක් මුහුණ දෙස බලා හඳුනාගැනීමේ හැකියාව පවතින්නේ 54%ක් වැනි ඉතා අඩු ප්රතිශතයක වීමයි. මන්ද, පළපුරුදු බොරුකාරයන් තමන්ගේ ශරීර භාෂාව ඉතා සියුම් ලෙස පාලනය කිරීමට සමත් බැවිනි. මෙය අප සමාජයේ බොහෝ දෙනෙකුට රහසක් නොවේ.
පෞද්ගලික මට්ටමෙන් ඔබ්බට ගොස්, සමස්ත සමාජයක්, ජනතාවක් හෝ පාරිභෝගික ප්‍රජාවක් ඉලක්ක කරගනිමින් සංවිධානාත්මකව මුදාහරිනු ලබන අසත්‍ය ප්‍රකාශ සහ මතවාද “සමාජමය බොරු” ගණයට අයත් වේ. වත්මන් සමාජය තුළ මේවා ද බහුලව දක්නට ලැබේ. මෙම තත්ත්වය දේශපාලන සන්නිවේදනය සහ මහජන මතය හැසිරවීම සඳහා භාවිත වන ලෝක ප්‍රසිද්ධ “ගොබෙල්ස් න්‍යාය” ඇසුරින් මනාව පැහැදිලි කළ හැකි ය. දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනියේ ප්රචාරක ඇමති පෝල් ජෝසෆ් ගොබෙල්ස් විසින් ජනතාව යුද්ධය වෙනුවෙන් පෙළඹවීමට මෙම උපක්‍රමය භාවිත කරන ලදී. මෙම න්‍යායේ මූලික හරය වන්නේ, ඕනෑම විශාල බොරුවක් වුවද, එය නිරන්තරයෙන්ම සහ නැවත නැවතත් පවසන්නේ නම්, මිනිසුන් අවසානයේදී එය සත්‍යයක් ලෙස පිළිගැනීමට පටන් ගනී යන්නයි. මෙය අප සමාජයෙන් ද ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන.
සමාජමය බොරුවක් සාර්ථක කරගැනීම සඳහා පණිවිඩයේ සරල බව, විවිධ මාධ්‍ය ඔස්සේ නැවත නැවතත් කීම, සියලු ප්‍රශ්න හා අර්බුදවලට වගකිව යුතු තනි සතුරෙකු නිර්මාණය කිරීම, විකල්ප මත වාරණය කිරීම සහ බුද්ධියට වඩා මිනිසුන්ගේ හැඟීම්වලට ඇමතීම වැනි උපක්‍රම කිහිපයක් ක්‍රමානුකූලව භාවිත කරනු ලැබේ. මෙය අප රටේ ද ප්‍රධානතම දේශපාලන භාවිතාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි මහා පරිමාණ සමාජමය බොරු ජනතාව වැළඳ ගැනීමට බලපාන ප්‍රධාන සමාජ මනෝවිද්‍යාත්මක පදනම් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ‘මිථ්‍යාව සත්‍යයක් ලෙස පෙනීමේ ආචරණය’ හෙවත් විභ්රාන්තිමය ආචරණය (Illusion of Truth Effect) යි. මිනිස් මොළය නිතර ඇසෙන සහ හුරුපුරුදු තොරතුරු සත්‍ය තොරතුරු ලෙස පහසුවෙන් වර්ගීකරණය කරයි. මේ නිසා, සමාජය තුළ යම් කරුණක් නැවත නැවතත් රැව්පිළිරැව් දෙන විට, එහි සත්‍යතාව සෙවීම පසෙකලා එය පිළිගැනීමට ජනතාව පෙළඹේ.
දෙවැනි පදනම වන්නේ අනුකූලතාව සහ සමාජ පීඩනය හෙවත් සමූහ මානසිකත්වය යි. සුප්‍රකට පෝලන්ත-ඇමරිකානු සමාජ මනෝවිද්‍යාඥයකු වන සලමොන් ඈෂ් (1907-1996) වැනි විද්‍යාඥයන් මෙකී සංකල්පය පෙන්වා දී ඇත. සමාජයේ ව්‍යුහය තුළ බහුතරයක් දෙනා යම් මතයක් පිළිගන්නා බව පෙනෙන්නට තිබෙන විට, සමාජයෙන් කොන්වීමට ඇති බිය නිසා අනෙක් පුද්ගලයන් ද තමන් දන්නා සත්‍යය සඟවා, එම පොදු සමාජමය බොරුවටම එකඟ වෙති. මෙම මානසික නැඹුරුව ද වර්තමාන සමාජය තුළ අපට නිරන්තරයෙන් අත්දකින්නට ලැබෙන තත්ත්වයකි. දේශපාලන ක්ෂේත්රයේදී මැතිවරණ සමයන්හි ප්‍රතිවාදීන් ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත කරන අසත්‍ය පුවත්, වාණිජ ක්ෂේත්රයේදී පාරිභෝගිකයන් මුලා කරමින් සිදුකරන වෙළඳ දැන්වීම් ප්‍රචාරණ සහ සමාජ මාධ්‍ය ඇල්ගොරිතම හරහා පුද්ගලයා කැමති මතයම නැවත නැවතත් පෙන්වන ප්රතිරාව කුටීර (Echo Chambers) මීට කදිම නිදසුන් ය.
පෞද්ගලික බොරු මඟින් පුද්ගලයන් අතර සබඳතා සහ දෛනික පැවැත්ම හැඩගස්වන අතර, සමාජමය බොරු මඟින් මහා පරිමාණයෙන් මහජන මතය සහ සමාජ ව්‍යුහයන් පාලනය කරනු ලබයි. පෞද්ගලික බොරුව බොහෝවිට මනෝවිද්‍යාත්මක ස්වයං-ආරක්ෂාව හෝ සහයෝගීතාව මත පදනම් වන අතර, සමාජමය බොරුව බලය, දේශපාලනය සහ වාණිජමය ලාභ අරමුණු කරගත් සන්නිවේදන ආයුධයක් ලෙස ක්‍රියාත්මක වේ. විවේචනාත්මක බුද්ධියකින් සහ ස්වාධීන ගවේෂණයකින් තොරව, බාහිරින් ලැබෙන තොරතුරු ඒ අයුරින්ම වැළඳගන්නා සමාජයක්, මෙම පෞද්ගලික සහ සමාජමය බොරු යන ද්විත්වයටම ඉතා පහසුවෙන් ගොදුරු වේ. එය අවසානයේදී බරපතළ සමාජ ඛේදවාචකයකට මුල පිරීමකි. මෙම තත්ත්වය අප සමාජයෙන් වියුක්ත වූවක් යැයි අප කෙසේවත් නොසිතිය යුතුය.
සාරාංශයක් ලෙස පවසන්නේ නම්, පෞද්ගලික බොරු මඟින් පුද්ගලයන් අතර සබඳතා සහ දෛනික පැවැත්ම හැඩගස්වන අතර, සමාජමය බොරු මඟින් මහා පරිමාණයෙන් මහජන මතය සහ සමාජ ව්‍යුහයන් පාලනය කරනු ලබයි. පෞද්ගලික බොරුව බොහෝවිට මනෝවිද්‍යාත්මක ස්වයං-ආරක්ෂාව හෝ සහයෝගීතාව මත පදනම් වන අතර, සමාජමය බොරුව බලය, දේශපාලනය සහ වාණිජමය ලාභ අරමුණු කරගත් සන්නිවේදන ආයුධයක් ලෙස ක්‍රියාත්මක වේ. විවේචනාත්මක බුද්ධියකින් සහ ස්වාධීන ගවේෂණයකින් තොරව, බාහිරින් ලැබෙන තොරතුරු ඒ අයුරින්ම වැළඳගන්නා සමාජයක්, මෙම පෞද්ගලික සහ සමාජමය බොරු යන ද්විත්වයටම ඉතා පහසුවෙන් ගොදුරු වේ. එය අවසානයේදී බරපතළ සමාජ ඛේදවාචකයකට මුල පිරීමකි. මෙම තත්ත්වය අප සමාජයෙන් වියුක්ත වූවක් යැයි අප කෙසේවත් නොසිතිය යුතුය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
හිටපු මානව විද්‍යා මහාචාර්ය