විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මෙලෙස අත්හිටුවා ඇති බවයි.
අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමග සම්බන්ධ වී හැකි ඉක්මනින් e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
දැනටමත් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ දැනුම්දීම් සඳහා ‘e-Channeling’ පද්ධතිය කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.
පද්ධතිය යථා තත්ත්වයට පත් වූ වහාම ඒ පිළිබඳව සියලු අයදුම්කරුවන් දැනුවත් කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කොන්සියුලර් කටයුතු අංශය සිය කණගාටුව පළ කර සිටියි.