අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම කඩිනම් කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් යොදවා ඇති අතර, කාවන්තිස්ස ඇතාගේ මරණය සහ මෙරට වන අලි ඝාතන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පරිසර අමාත්යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම හමුදා කණ්ඩායම යොදවා ඇත. අදාළ රාජ්ය ආයතනවල සහයෝගයෙන් මෙහෙයුම ක්රියාත්මක කෙරේ.මේ අතර, බොහෝ දෙනාගේ ආදරයට පාත්ර වූ කාවන්තිස්ස ඇතාගේ මරණය පිටුපස කිසියම් සැලසුම් සහගත ක්රියාවක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බලන ලෙස පරිසර අමාත්යාංශයේ ලේකම්වරයා විසින් අද (18) පොලිස්පතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.වන අලින්ට වෙඩි තැබීම ඇතුළු වන සතුන් ඝාතනය කිරීමේ සිදුවීම් පිළිබඳව කඩිනම් විමර්ශන පවත්වා වගකිවයුත්තන් හඳුනාගෙන නීතිමය පියවර ගන්නා ලෙස ද එමඟින් ඉල්ලා ඇත. විමර්ශනවල ප්රගතිය පිළිබඳව පරිසර අමාත්යාංශය දැනුවත් කරන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.වන අලි සහ අනෙකුත් වන සතුන්ට සිදු කරන හිංසා හා ඝාතන වැළැක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රධානත්වයෙන් ත්රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධ මෙහෙයුම් හා වැටලීම් ක්රියාත්මක කරමින් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් වේ.මේ අතර, “කාවන්තිස්ස” වැනි නම්වලින් හැඳින්වෙන වන අලි ඇතුන් වගා පළිබෝධකයන් ලෙස අමාත්ය කේ. ඩී. ලාල් කාන්ත මහතා හඳුන්වා දීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, පාරිසරික විද්යාත්මක දෘෂ්ටිකෝණයෙන් වන අලි ඇතුන් වනාන්තර පරිසර පද්ධතියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන සතුන් වන අතර, බීජ ව්යාප්තියට සහ පරිසර පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීමට ද දායක වෙති.එහෙත් වගාබිම්වලට පිවිස බෝග විනාශ කිරීමෙන් ගොවීන්ට ආර්ථික හානි සිදු විය හැකි බැවින්, එවැනි අවස්ථාවල ඔවුන් ‘වගා හානි සිදුකරන වන සතුන්’ ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බව පරිසර විද්යාත්මක අදහසයි.