අතීතයේ වතු කම්කරුවන් වෙලාව බලා ගත් මානිගල

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තවත් සුන්දර කඳු මුදුනකටයි අපි මේ ඔබව කැඳවාගෙන යන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 කටත් වැඩි උසකින් පිහිටා තිබෙන බව සැලකෙන මෙම කන්ද මානිගල.
මේ චාරිකාව ආරම්භ කරන්නට පෙර අපි මානිගලට මේ නම හැදුණු හැටි ගැනත් කියලම ඉමු.
මානිගල කන්දේ අතීතයේ සරුවටම තේ වගාව කර තිබෙනවා. තේ වතුවල වැඩ කළ කම්කරුවන් ඒ කාලයේ වෙලාව බලා ගත්තේ මේ කන්දෙන්. මේ කන්දේ සම චතුරස්‍රාකාර කොටුවක් හැඩයට පිහිටි ස්ථානයක් තිබෙනවා. මේ කොටුවට හරියටම හිරු එළිය වැටෙන වෙලාව සවස හතර ලෙස සැලකුණා. ද්‍රවිඩ බසින් වෙලාව හඳුන්වන්නේ මනි කියලයි . මේ නිසා තේ වගාවෙහි නිරත ද්‍රවිඩ කම්කරුවන් මේ ගලට මනිගල කිව්වා. මනිගල පසුව මානිගල වූ බව පැවසෙනවා.
ඒ වගේම මේ මානිගල කන්ද ඇත් ඔලු කන්ද කියලත් සමහරුන් හඳුන්වනවා. ඊට හේතුව මේ පර්වතය එක් කෝණයකින් බලන විට ඇතකුගේ හිසක හැඩයට දිස්වීමයි. කොහොම වුණත් මේ කන්ද දැන් වැඩියෙන්ම ප්‍රචලිත වී තිබෙන්නේ මානිගල ලෙසින්.
මේ කන්ද තරණය කරන්න යන ඔබට අතරමගදී හමුවන තවත් සුන්දර ස්ථානයක් තමයි වැද්දා පැනි ඇල්ල. මේ ඇල්ල පිහිටි ස්ථානයට කියන්නේ රත්කින්දගම. වැද්දා පැනි ඇල්ල සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයක් තිබෙනවා. තවත් ඉදිරියට යන්න කලින් අපි ඒ ජනප්‍රවාදයත් කියලම ඉමු.


වැද්දා පැනි ඇල්ල ජලධාරාව පටන් ගන්නේ දෙල්ගමු ඔයෙන්. මේ ජලධාරාවට උඩින් පාලමක් තිබෙනවා. අතීතයේ මේ කැලෑවල වැදි ජනතාව වාසය කළ බව පැවසෙනවා. හැමදාම කැලෑවට ගිහින් මී කඩාගෙන යන වැද්දෙක් මේ ජනධාරාවෙහි එක් පැත්තක තිබෙන ගලක සිට අනෙක් පැත්තේ ගලට පැනීමෙන් තමයි එහා මෙහා ගියේ. දවසක් හොඳටම වැස්ස වැහැලා තිබුණු වෙලාවක වැද්දා මේ විදිහට ඒ පැත්තෙ ඉඳන් මේ පැත්තට පනින්න යද්දි පය ලිස්සලා ජල ධාරාවට වැටිලා මියගියා. ඊට පස්සේ මේ ඇල්ල වැද්දා පැනි ඇල්ල යනුවෙන් ව්‍යවහාර කළ බවට තමයි ජනප්‍රවාදයේ එන්නේ. පැනි වැද්දා වැටුණු ඇල්ල වැද්දා පැනි ඇල්ල ලෙසින් හඳුන්වන බව සමහරු පවසන අතරේ, වැද්දා පැන්න ඇල්ල පසු කලෙක වැද්දා පැනි ඇල්ල බවට පත්වී තිබෙන බවත් තවත් සමහරුන් පවසනවා.
මානිගල කන්ද තරණය කරන පාර ඇරඹෙන්නේ ඇටන්වලින්. ඔබ පැමිණි ඕනෑම වාහනයක් ඇටන්වල දක්වා පමණයි යා හැක්කේ. එතැන් සිට ඇරඹෙන්නේ දෙපයින් ඇවිද යායුතු දුෂ්කර මාර්ගයක්. මාර්ගය ආරම්භයේ මානිගල මංපෙත නමින් බෝඩ් එකකුත් දකින්න ලැබෙනවා.
මේ පාරේ මානිගල දක්වා වන දුර කිලෝ මීටර් තුනහමාරක් පමණ වන බවයි පැවසෙන්නේ. ටිකක් උඩට යනකොට තවත් පාරවල් හමුවෙන අතර බොහෝ අය මේ පාරවල් වරද්දා ගන්නවා. මානිගල යන්න නම් කෙළින් යා යුතුයි. දකුණු පැත්තට හැරුණොත් නකල්ස් දූවිලි ඇල්ල පැත්තට යා හැකියි . දැනට මිනිස් වාසයක් නැතිව අත්හැර දමා තිබෙන වනයටම සින්න වූ ගමක් වන වල්පොලමුල්ල පසු කරමින් තමයි දූවිලි ඇල්ලට යන්න ඕනේ. මේ දූවිලි ඇල්ලට යන පාරේ තවත් දිය ඇලි හතරක් ඊට පෙර හමුවෙනවා. මානිගලට යන්න කලින් ඒ ගැනත් පුංචි සඳහන් කිරීමක් කරලාම ඉන්නම්. දූවිලි ඇල්ල බලන්න යන ඔබට මුලින්ම දකින්න ලැබෙන්නේ දුම්බර ඇල්ල. ඊළඟට කළු දිය පොකුණ ඇල්ල, ඊටත් පස්සේ ඉන්ටර්නිටිපූල් දියඇල්ල, ඉන් පසුව සංසුන් ඇල්ලත් අවසානයට දූවිලි ඇල්ලත් දැකගන්න ලැබෙනවා. කොහොම වුණත් මේ සියල්ල තියෙන්නේ නකල්ස් වනාන්තරය ඇතුළේ. නොදන්නා අය ගියොත් අතරමං වෙන්නයි සිද්ධ වෙන්නේ. නකල්ස් වන සංරක්ෂණ කාර්යාලය, රිවර්ස්ටන් වන නිවහන වැනි කාර්යාලයකින් මේ සඳහා මඟ පෙන්වන්නකු සොයා ගත හැකි සේම මෙවැනි ගමන් සඳහා මඟ පෙන්වීමට නිර්දේශ කරන ලද පුද්ගලයන් ද ඒ ගම්වල සිටිනවා. ඇටන්වල ගමෙනුත් මෙවැනි අවසර ලත් මඟ පෙන්වන්නකු සොයා ගන්න පුළුවන්. නකල්ස් රක්ෂිතය තුළ එහි සිරි නරඹන්නට යන ඔබ අනිවාර්යයෙන්ම මඟ පෙන්වන්නකුගේ සහාය ලබා ගැනීම වැදගත්. ඒ වගේම අවසරයක් නැතුව මේ රක්ෂිත ඇතුළට යන්නත් බෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයකින් මේ සඳහා ඔබට අවසර ගැනීමට සිදුවෙනවා.
ඇටන්වල ගම්මානය කෙළවරෙන් පටන්ගෙන මේ මානිගලට යන පාර දළ වශයෙන් කිලෝමීටර් තුනහමාරක් පමණ වන බවයි සැලකෙන්නේ. කන්ද තරණය කර මානිගලට යන්න පැය එකහමාරක් දෙකක්වත් ගත වෙනවා. පයින් ඇවිද යා යුතු බොහොම දුෂ්කර මාර්ගයක්.
මානගල මුදුන තැනිතලා ප්‍රදේශයක් ලෙසිනුයි පවතින්නේ. එය මුදුනේ සිට බලන විට තුන්හිස්ගල කන්ද, පතනේගල, ලකේගල වගේම නකල්ස් කඳු පන්තියත් ඉතාමත් හොඳින් දැක බලා ගන්න පුළුවන්. මෙය හරිම සුන්දර දසුනක්. ඒ වගේම පහලින් ඇටන්වල ගමත් හරිම අපූරුවට දිස්වෙනවා. මානිගල ඉතාමත් සුන්දර වීව්පොයින්ට් එකක්. මේ පරිසරය මොනතරම් සුන්දරද යන්න එම අත්දැකීම විඳගත් අයටම විශේෂ වූ දෙයක්.
ලකේගල සහ ඒ අවට කඳු ප්‍රදේශ වගේම ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් රාවණා රජු සම්බන්ධ ජනප්‍රවාද රාශියක් පවතිනවා. අපේ රටේ රාවණා රජු සම්බන්ධ ජනප්‍රවාද වැඩියෙන්ම පවතින්නේ මේ නකල්ස් කඳු ආශ්‍රිත ප්‍රදේශයේ බව සලකන්න පුළුවන්. මානිගල සම්බන්ධයෙනුත් රාවණා ජනප්‍රවාද බොහොමයි. මෙවැනි එක් ජනප්‍රවාදයක් තමයි රාවණා රජු ගුවන් තාක්ෂණය සඳහා මානිගල කන්ද භාවිතා කළ බව පැවසෙන කතාව.
මානිගල කන්දේ කෑම්පින් කරන්නටත් බොහෝ සංචාරකයන් ප්‍රිය කරනවා. මෙහි රාත්‍රිය ගත කර උදේට හිරු පායා එද්දී දකින්නට ලැබෙන දර්ශනය හරිම දැකුම්කළුයි.
මානිගල පමණක් නොව කොහේ කෑම්පින් කළත් ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ, ඔබ රැගෙන යන පොලිතින් වැනි ඉවතලන ද්‍රව්‍ය කිසිවක් මේ පරිසරයෙහි හැර නොදමා සියල්ල ආපසු රැගෙන ඒම වගේම රාත්‍රියට ඔබ දල්වන ගිනිමැල සහ ඔබ කෑම පිසීමට භාවිතා කරන දර වැනි දෑ ඔබ ආපසු පැමිණෙන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීම යන කාරණා යි. අපේ රටේ පවතින සොබාදහමේ දායාද ලෙසින් ලද මේ සුන්දර ස්ථාන රැක ගැනීම අපේ යුතුකමයි.

තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව