අද දේශපාලනඥයන් ගෙනුත් මතු “අන්දරේලා”බිහි වෙන්න පුළුවන්-අන්දරේත් කවටයෙක් වුණේ මළාට පස්සෙනෙ

vinivida

මිනිස් සමාජය හොඳ- නරක, යහපත- අයහපත ආදී වශයෙන් සැලකෙන සත් අසත් බලවේග වලින් සුසංයෝග වූවකි. ඒ අනුව සමාජයේ වෙසෙන සුවිශේෂ චරිත ද වීර සහ දුෂ්ඨ යන දෙකොටසට බහා දැක්විය හැක. එම වීරයා සමාජයට යහපත ද දුෂ්ඨයා සමාජයට අයහපත ද සිදු කරන බව පොදු සම්මතයයි.එහෙත්, අප දකින සිනමා, නාට්‍ය ආදී කලා කෘතීන් වල මෙම වීර සහ දුෂ්ඨ යන චරිත වලට හාත්පසින්ම වෙනස් චරිත විශේෂයක් ද දක්නා ලැබේ. එනම් විකටයා හෝ කවටයා ය.

හුදෙක් වීරත්වය සහ දුෂ්ඨත්වය නොවන ආස්ථානයක හිඳ රසිකයන්ගේ සිත් ප්‍රබෝධමත් කරන අතරේ යම් යම් යථාර්ථයන්ට සරල සැහැල්ලු විකල්ප අර්ථ කථන දෙන මෙම කවට භූමිකාව සංස්කෘත නාට්‍ය කලාවේ ද විදූෂක ලෙස දක්වා තිබේ.විදූෂක යන්නෙහි අරුත ද කවටයා (Clown ) යන්න ය.සංස්කෘත නාට්‍ය කලාවේ මෙම විදූෂක වර්ග කිහිපයක්ම දක්නට ලැබේ. මේ සියළු කරුණු දක්වන අතරේ අප ගේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ද ඉහත සඳහන් වීරයන්, දූෂ්ඨයන් සේම කවටයන් ද හිඳිනු දක්නට පුළුවන. නමුත් එහි ඇති එක්තරා සුවිශේෂත්වයක් පිළිබඳව ද මෙහි සඳහන් කළ යුතු ය. ඒ කලක් ජනතාව ගේ වීරයන් බවට පත්ව සිටි ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ කියුම් කෙරුම් මත පසුකාලීනව දුෂ්ඨයන් සේම කවටයන් ද වී ඇති බවකි. “වැඩ කරන අපේ විරුවා” යන දේශපාලනික සන්නාමයෙන් යුතුව 2019 ජනාධිපතිවරණයෙන් ඡන්ද හැට නව ලක්ෂයකින් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නමින් මේ වන විට පොතක් නිකුත් වී තිබේ.”වැඩ කරන අපේ විරුවා- වැඩ නොකොට හිඳියි විරවා” යන ජනතා උපහාසය මධ්‍යයේ එළි දැක්වුණු ඉන් පැවසෙනුයේ දේශීය හා විදේශීය කුමන්ත්‍රණකාරී පසුබිමක් යටතේ කිසියම් පිරිසක් විසින් තමන් ජනපති ධුරයෙන් පහ කළ බව ය.එහෙත්, එම කෘතිය මඟින් ඒ බලවේගය හෝ පිරිස කවුරුන් දැයි ඉඟි වශයෙන් හෝ පාඨකයාට ඉදිරිපත් කොට නැත.රාජපක්ෂ මහතා ගේ දේශපාලනික වීරත්වය මේ වන විට දරුණු සුළි කුණාටු වැස්සකට හසු වූ දුබල කටු මැටි බිත්තියක් මෙන් සේදී ගොස් ඇති බව නොරහසකි.එවන් තත්වයක් තුළ එම කෘතිය තුළින් ඔහු කවට භූමිකාවක දිශානතියකට ද යොමු වී ඇති බවක් හැඟෙයි.ඒ හැරුණු කොට වත්මන් ආණ්ඩු සේම විපක්ෂ දේශපාලනයේ ද කවටයෝ බොහෝ වෙති.එහෙත්, ඒවා මෙහි දී විමසුමට ලක් කළ යුතු නොවේ.

දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධ අනේක විධ කවට භූමිකාවන් පිළිබඳව කතා කරන විට සිංහල රාජ වංශයෙන් මතු වන රජ වාසල කවටයකු පිළිබඳව ද අනිවාර්යෙන් සිහිපත් කළ යුතු ය. එනම් කවට අන්දරේ ය. රාජාධිරාජසිංහ රජ සමයේ(වර්ෂ 1782-1798) රජවාසල කවටයා ලෙසින් හඳුන්වනු ලැබූ අන්දරේ සම්බන්ධ රසවත් කතා පුවත් සිය ගණනක් වර්තමානයට ශේෂ වී තිබේ. ඒවා මුල් කොට විවිධ සාහිත ග්‍රන්ථ සහ සිනමා සහ නාට්‍ය නිර්මාණ ද බිහි වී තිබේ. එහෙත්, සිංහල රාජ වංශයේ කිසිදු අවස්ථාවක ‘රජවාසල කවටයා’ නම් නිලයක් හෝ තනතුරක් තිබිණ ද? යන්න ඓතිහාසික වශයෙන් විමසීමේ දී පෙනී යන්නේ ඒවා හුදෙක් කාලානුරූප ලෙස නැවත නැවත යාවත් කාලීන වන රසවත් ජන ප්‍රවාද මාලාවක් බව ය.අන්දරේ පිළිබඳ සියලු පුරාවෘත්තයන්ට අනුව ඔහු කන්ද උඩරට රජකම් කළ රාජාධිරාජසිංහ රජු (වර්ෂ 1782-1798) විසින් රජ වාසල කවටයා නම් ඉන් පෙර නොවූ විශේෂ තනතුරකට පත්කර ගත් විසුළු පෙනුමින් යුතු ගැමියෙකි. ඒ ප්‍රවාද ගත තොරතුරුවලට අනුව රජතුමාට ඔහු මුල්වරට හමුවී ඇත්තේ ද අහඹු ලෙසකිනි.

ජන ප්‍රවාදවලට අනුව අන්දරේගේ වාසගම ‘සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ මුතුකුමාරණ’ යනුවෙන් හා ‘සද්ද විද්ද පළඟ පතිර අඹකුමාර’ වශයෙන් දෙ අයුරකින් සඳහන් ය. කෙසේ වුවත් මෙය අන්දරේ නමින් ජීවත් වූ එම සැබෑ මිනිසාගේ චරිතය පසුකාලීන ජනතාව විසින් රසවත් ලෙස ප්‍රතිනිර්මාණය වීමෙන් ඇති වූ ‘බේගල්’ බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම්වලදී පෙනී යයි. ඊට හේතුව ඔහුට එම පෙළපත් නාමය හිමිවූ ආකාරය දැක්වෙන ප්‍රවාදය කෙසේවත් විශ්වාස කළ නොහැකි බැවිනි.

රජ වාසල අද්දර පොකුණක වෙසෙන මැඩියකුගේ කන් කරච්චලයක් නිසා රාත්‍රී නින්ද අහිමිව කෝපයට පත් වන රජතුමා එම මැඩියා මරා දැමීමට රාජ පුරුෂයන්ට අණ කරයි. එහෙත්, ඔවුනට එවැනි මැඩියකු සොයාගත නොහැකි වේ. එම මැඩියා මරා දමන අයකුට රාජ ප්‍රසාද හිමිවන බවට රජතුමා රට පුරා අණ බෙර කරුවන් යවනුයේ කෝපය එතරම් උත්සන්නව පැවැති බැවිනි. කෙසේ හෝ අණ බෙර කරුවන්ට මගදී හමුවන අන්දරේ නම් විසුළු පෙනුමකින් යුත් පුද්ගලයකු මෙම අභියෝගය පිළිගෙන රජවාසලට පැමිණ රාත්‍රියේ පොකුණ අසල හිඳ මැඩි හඬ එන දිසාවට හී පහරක් එල්ල කොට එම මැඩියා මරා දමයි.එයින් මහත් සතුටට පත්වන රජතුමා ඒ පිළිබඳව විමැසීමේදී දෙන හාස්‍යෝත්-
පාදක පිළිතුරුවලින් කොතෙක් ප්‍රමුදිත වීද යත් ඔහුට ‘සද්ද විද්ද පළඟ පතිර’ නම් අභිධාන නාමය දී ඔහු රජ වාසලේම රඳවා ගනියි. ජන ප්‍රවාදවලට අනුව අන්දරේගේ වාසගම ‘සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ මුතුකුමාරණ’ යනුවෙන් හා ‘සද්ද විද්ද පළඟ පතිර අඹකුමාර’ වශයෙන් දෙ අයුරකින් සඳහන් ය. කෙසේ වුවත් මෙය අන්දරේ නමින් ජීවත් වූ එම සැබෑ මිනිසාගේ චරිතය පසුකාලීන ජනතාව විසින් රසවත් ලෙස ප්‍රතිනිර්මාණය වීමෙන් ඇති වූ ‘බේගල්’ බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම්වලදී පෙනී යයි. ඊට හේතුව ඔහුට එම පෙළපත් නාමය හිමිවූ ආකාරය දැක්වෙන ප්‍රවාදය කෙසේවත් විශ්වාස කළ නොහැකි බැවිනි.

අන්දරේ පිළිබඳ පිළිගත හැකි තොරතුරු වලට අනුව ඔහු මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර, කිරලවැල්ලේ ගුරුන්නැහේ ගේ වත්ත නම් ප්‍රදේශයේ උපත ලැබූවෙකි.අන්දරේගේ උපන් ගම දික්වැල්ල යැයි ඇතැමෙක් පැවැසුව ද එය ඔහුගේ මවගේ ගම බව පිළිගැනීමට අපට සිදුවෙයි. එමෙන්ම අපගේ ජන සම්ප්‍රදාය අනුව විවාහපත් බිරිඳක් තම පළමු දරු ප්‍රසූතිය ළංවන විට සිය මව සමීපයට යන බැවින් අන්දරේගේ පාරම්පරික ගම දෙවුන්දර වුවද පවුලේ එක දරුවා වූ ඔහු දික්වැල්ලේ ඉපදීමේ ද අරුමයක් නැත.

සියලු ජනප්‍රවාද ගැන තොරතුරු වලට අනුව අන්දරේගේ පියා ඉමාන් විල්හෙම් ෆැල්ක් (වර්ෂ 1762-1785) ඕලන්ද ආණ්ඩුකාරයා වෙතින් පවා පදවි තානාන්තර ලැබූ එවක සමාජයේ සිටි උගත් ප්‍රභූවරයෙකි. ලන්දේසි, පෘතුගීසි ආදී අපරදිග භාෂාවන් සේම සිංහල,දෙමළ, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවලත් නිපුණත්වයකින් හෙබි උගතකු වූ ඔහු එවක ඕලන්ද රජයෙන් හිමි වන ‘පල්ලියේ ගරු’ තනතුරකින් ද පිදුම් ලැබූවෙකි. එනිසාම ඔහු කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නමින් ප්‍රකට වූ බවද පැවැසෙයි.
වර්තමාන සිංහල බසෙහි පල්ලිය යන්න දේවස්ථාන හැඳින්වීම සඳහා යොදා ගැනෙන මුත් ඉන්දු ආර්ය සහ ද්‍රවිඩ භාෂා කිහිපයකම ‘පල්ලි’ යනුවෙන් හැඟවෙනුයේ ‘විද්‍යස්ථානය’ නැතහොත් පාසල යන්න ය. එමෙන්ම ඕලන්ද පාලන සමයේ අධ්‍යාපන සේම විවාහ ලියාපදිංචි කිරීම් ද දේවස්ථානවලම සිදු කෙරුණු බැවින් ඒවායේ ඉගැන්වූ ආචාර්යවරුන් සේම එම විවාහ ලියාපදිංචි කිරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කළ ප්‍රභූන් පල්ලියේ ගුරුන් යන නමින් හැඳින්වෙන්නට විය.

කිරලවැල්ලේ ගුරුන්නාන්සේ තම එකම පුතණුවන් හට එවක පෘතුගිසී ජාතිකයන් විසින් බහුලවම යොදාගත් ‘ආන්ද්‍රේ’ යන නම යොදන ලද්දේ ඔහු පෘතුගීසි පාලන සමය තුළ උපත ලැබූ නිසා විය හැක. තම ආගමික සංස්කෘතික විශ්වාසවලට අවනත වන්නවුන් හට විවිධ සමාජ, ආර්ථික වරප්‍රසාද හිමිකර දීමට යටත් විජිත පාලකයෝ විශේෂ උනන්දුවක් පළ කළහ. ආන්ද්‍රේ යන්න ඉංග්‍රීසි බසෙහි වර නැගෙනුයේ ඇන්ඩෲ යනුවෙනි. තම පියා සමාජ සම්මත උගතකු හා ප්‍රභූවරයකු වුව තම ළමා වියේ සිට සාම්ප්‍රදායික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ අන්දරේ විශිෂ්ට නිර්මාණාත්මක හා පරිකල්පනමය හැකියාවෙන් සපිරි කවිකාර තරුණයකු වූ බව පෙනේ. ද්‍රවිඩ නායක්කාර් වංශික රජුන් අතරේ වඩාත්ම බහුශ්‍රැත හා මගේ පිළිගැනීම අනුව සොඳුරුතම චරිතය වන රාජාධිරාජසිංහයන් බලයට පත්වන විට අන්දරේ මැදිවියේ පසුවූවකු බව පෙනී යයි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය මොරතොට ධම්මඛන්ධ හිමියන් ඇසුරේ අධ්‍යාපනය ලබා පාලි සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා පිළිබඳ මැනවින් උගත් මෙම රජු ශබ්ද ශාස්ත්‍රයේ විශාරදයකු බවත් අසදෘශ්‍ය ජාතකය සිංහලයෙන් කවියට නැගූ පඬිවරයකු බවත් චූල වංශයේ එකසිය එක්වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. නමුදු මේ වන විට එකි`නෙකා පරදමින් රාජ්‍යත්වයේ ඉහළට ඒම පිණිස කන්ද උඩරට රදළයන්ගේ කුළල් කා ගැනීම නිසා අතිශය මානසික පීඩාවට පත්ව සිටි රජතුමා ඉන් අත් මිදෙනු පිණිස රාජ්‍ය පාලන කටයුතුවලට පවා කිසියම් සෞන්දර්යාත්මක ප්‍රවේශයක් දීමට කටයුතු කළ බව පෙනේ.

අන්දරේට රාජාධිරාජසිංහ රජතුමා විසින් අධිකාරම් පදවියක් පවා දී තිබේ. රජකුට හැරුණු කොට රජවාසල වැඩිම බලයක් හිමි පදවියක් වන අධිකාරම් තනතුරු මුල් යුගයේ තිබුණේ එකක් පමණි. පසුව එය කිහිපයක් දක්වා වැඩි වූ බව පෙනේ.ඉංග්‍රීසි ලේඛකයන් Adigar නමින් හඳුන්වා ඇති අධිකාරම් තනතුර වත්මන් අග්‍රාමාත්‍ය තනතුරට අනුරූප බව පෙනෙයි. ඒ අනුව අන්දරේ හුදු කවටයකු පමණක් වී නම් ඔහුට අධිකාරම් වැනි නිලයක් දක්වා උසස්වීම් ලැබෙනුයේ කෙසේද? යන්න ද සිතා බැලිය යුතු ය.

ඒ අනුව කන්ද උඩරට රජතුමාට වන්දි භට්ටයන් විසින් ප්‍රශස්ති ගැයූ කවිකාර මඩුවට සෞන්දර්යාත්මක විනෝදාත්මක සේම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ලබාදීම රාජාධිරාජසිංහ රජු විසින් සිදුකරන ලද නිහඬ විප්ලවයකි. කන්ද උඩරට රාජ්‍යයේ ඔඩු දුවා තිබූ කුලභේදය පිළිබඳව පවා තැකීමක් නොකළ ඔහුගේ කවිකාර මඩුවෙහි සිටි කවීන් අතර මුංකොටුවේ රාළ, කොත්මලේ සංගර නයිදේ, වඩුගොඩපිටිය නිලමෙ සහ ‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ යන අතිශය ජනප්‍රිය කවිය සහිත කැලණි හෑල්ල රචනා කළ තාඹුගල ලෝකුරු නයිදේ ද විය. ඔවුන් අතරේ අන්දරේට ද සුවිශේෂ තැනක් හිමිව තිබූ බව පෙනේ.පසුකාලීන මූලාශ්‍රවලට අනුව අන්දරේට රාජාධිරාජසිංහ රජතුමා විසින් අධිකාරම් පදවියක් පවා දී තිබේ. රජකුට හැරුණු කොට රජවාසල වැඩිම බලයක් හිමි පදවියක් වන අධිකාරම් තනතුරු මුල් යුගයේ තිබුණේ එකක් පමණි. පසුව එය කිහිපයක් දක්වා වැඩි වූ බව පෙනේ.ඉංග්‍රීසි ලේඛකයන් Adigar නමින් හඳුන්වා ඇති අධිකාරම් තනතුර වත්මන් අග්‍රාමාත්‍ය තනතුරට අනුරූප බව පෙනෙයි. ඒ අනුව අන්දරේ හුදු කවටයකු පමණක් වී නම් ඔහුට අධිකාරම් වැනි නිලයක් දක්වා උසස්වීම් ලැබෙනුයේ කෙසේද? යන්න ද සිතා බැලිය යුතු ය. කෙසේ නමුත් රාජාධිරාජසිංහ රජුට අතිශය හිතෛෂී රාජ්‍ය නිලධාරියකු වූ අන්දෙර් සෙසු හිතුවක්කාර දඩබ්බර නිලමේවරුන් පාලනය කිරීම සම්බන්ධයෙන් රජතුමා හට සොඳුරු සහයෝගයක් දුන් බව අනුමාන කළ හැක.එමෙන්ම රජතුමා සියුම් ලෙස අන්දරේ එවැනි කටයුතු සඳහා යොදාගත් බව පෙනේ.

වරක් රාජ සභාවේදී අන්දරේ එහි කිසිදු නිලමේවරයකුට රජ වාසල පොකුණ තුළ කිමිදී දිය යටින් බිත්තරයක් ගෙන ආ නොහැකි බවට රජු ඉදිරියේදීම අභියෝගයක් කරයි.එහෙත්, නිරතුරුවම ඔහු ගේ අභියෝගවලින් පරාජයට පත්වන නිලමේවරු කිසියම් උපායක් යොදා ඒ අභියෝගය ජය ගැනීමට රහසේ කතිකා කරගනිති. ඒ අනුව කලින් සොයා ගත් බිත්තරය බැගින් ඉණේ සඟවා ගන්නා නිලමේවරු රජු ඉදිරියේ දී ඒ අභියෝගය ජය ගනු පිණිස එක්වරම පොකුණ යට කිමිදී යළි දිය මතුපිටට පැමිණ තමන් රහසින් සඟවාගෙන සිටි බිත්තර රජුට දක්වති. එහෙත්, ඒ නිලමේවරුන් සමඟම දිය යට කිමිදුණු අන්දරේ යළි දිය මතට එනුයේ බිත්තරයක් නොමැතිව ය. එසේ පැමිණෙන ඔහු ‘මමයි කුකුළා’ හඬ නගනුයේ සෙසු සියලු නිලමේවරුන් රජු ඉදිරියේ මහත් ලැජ්ජාවට ලක් කරමිනි. මෙය ඔවුන්ගේ පෞරුෂය දරුණු ලෙස බිඳ හෙළීමකි.

තවත් එක් අවස්ථාවක කවිකාර මඩුවේදී කිසිසේත්ම සත්‍යයක් විය නොහැකි දෙයක් හිටිවනම කවි කර කියන්නැයි රජතුමා එහි කවීන්ට අණ කරයි. එවිට එක් එක් කවියා විවිධ නිර්මාණාත්මක දේ පවසතත් ඉන් සෑහීමකට පත්වීමට රජුට නොහැකි වේ.අවසානයේ තමන් වෙත පැමිණෙන අවස්ථාව පැමිණි විට අන්දරේ හිටිවනම කියනුයේ මෙම කවියයි.

රජ කම් කළත් ඉඳගෙන සිහසුනක් මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
තුන් සිංහලේ වෙන කිසියම් තැනක නැත

මෙම කවිය ඇසූ සැණින් රජතුමා දැඩිව කෝපාවිෂ්ට වූ බවත් එකෙනෙහිම අන්දරේ ද,‘අවසර දේවයන් වහන්ස, ඔබ වහන්සේ මට කිව්වේ කිසි දවසක ඇත්තක් නොවන දෙයක් කවි කර කියන්න නේද?’ යනුවෙන් විමසා තිබේ.කරුණු වටහා ගත් රජතුමා අන්දරේ කී දෙය සත්‍යයක් බැවින් සිනාසී නිහඬ වූ බව ජනශ්‍රැතියේ එයි. එහෙත්, අන්දරේ සහ රාජාධිරාජසිංහ රජතුමා අතර පැවැති මෙවන් ගනුදෙනු සහ කතාබහ සියල්ල විමසීමේදී පෙනී යන්නේ අන්දරේ යනු රජතුමාගේ අතිශය විශ්වාසවන්ත සමීපතමයකු බව ය. එමෙන්ම ඔවුන් දෙදෙනා අතරේ රජවාසල සෙසු නිලයන් නොදත් රහස් සබැඳියාවක් තිබූ බවයි. මෙම කතා පුවත් සිද්ධිමය වශයෙන් සත්‍යය නොවුව ද අන්දරේ අදිකාරම රජ තුමාත් රාජ්‍යයත් රැක ගැනීමට ගත් උපාය මාර්ග සහ තාක්ෂණික ක්‍රම මීට සමාන බැවින් ඒවා සංකේතනය කොට ජීවිත පරිඥානයේ ඉහළම තලයකට පත් ගැමියන් මෙම කතා ප්‍රබන්ධය කළ බව බව මගේ වැටහීම ය.ගම්පොල රාජධානිය එවක ප්‍රබලව නැඟී තිබූ රයිගම උප රාජධානිය සමඟ ඇති වූ දේශපාලනික සහ ජීවනය සංකේතවත් කොට පබැඳුණු රයිගමයා ගේ හා ගම්පලයා ගේ කතා ද මෙවැනි සංකේතාත්මක ප්‍රබන්ධයන් වේ.

තම ජීවිතයේ අවසන් භාගයේදී රජතුමන් අනියමින් කළ ඉල්ලීමක් හෙවත් අන්දරේගේ කෑම පිඟානේ තුන් තැනකට එක්වර ‘පලා බෙදීමක්’ නිසා රජ වාසල තම සේවය අවසන් වීම රජුගේ අපේක්ෂාව බව වටහා ගන්නා අන්දරේ රජතුමාගෙන් අවසර ගෙන රාජකීය ගෞරව මැද සිය ගම රට බලා පිටත් වූ පුවත අතිශයින් ප්‍රචලිත ය.

කෙසේ හෝ තම ජීවිතයේ අවසන් භාගයේදී රජතුමන් අනියමින් කළ ඉල්ලීමක් හෙවත් අන්දරේගේ කෑම පිඟානේ තුන් තැනකට එක්වර ‘පලා බෙදීමක්’ නිසා රජ වාසල තම සේවය අවසන් වීම රජුගේ අපේක්ෂාව බව වටහා ගන්නා අන්දරේ රජතුමාගෙන් අවසර ගෙන රාජකීය ගෞරව මැද සිය ගම රට බලා පිටත් වූ පුවත අතිශයින් ප්‍රචලිත ය. ඒ වන විට ඔහු කුෂ්ට රෝගයකින් පෙළෙමින් සිටි බව ද කියනු ලැබේ. 1914 මුද්‍රණය කරවන ලද ජේම්ස් බස්තියන් පෙරේරා විසින් ලියූ ‘නීති රත්නාවලී’ නම් කෘතියේ මාගම් පත්තුවේ කඩඉම වන උඩමළල කරගම් ආරේ එගොඩදී අන්දරේ මළ බවත් දේහය කරගම් ආරේ මෙගොඩට ගෙනවුත් ආදාහනය කළ බවත් සඳහන් ය. පසුව එම ස්ථාන දෙකේම ශිලා ස්ථම්භ කරවු බවත්, දෙවන ශිලා ස්ථම්භය ‘අන්දරේ සොහොන’ නමින් ප්‍රසිද්ධ වූ බවත් සඳහන් ය. එමෙන්ම ඔහු මියගිය ස්ථානය ‘මලල මෝදර’ ඉහළ මලල්ගම ආදී ලෙසින් විවිධ ස්ථානවල හැඳින්වීම නිසාත් ඔහු උදෙසා සොහොන් ස්මාරක තැනීම නිසාත් ඔහු ප්‍රභූවරයකු ලෙස පිළිගැනීමට අපට සිදුවේ. කෙසේ වුවත් ජනප්‍රවාදගත කරුණු අනුව ඔහුගේ මරණය සිදුව ඇත්තේ දිය පිපාසයෙන් ඔත්පලව පලු වීර ගස් යට අන්ත අසරණ ලෙසිනි.

‘රිදී කලේ රන් කොතලේ බීපු මට
කට කැඩි කළේ වත් දිය නැත පිපාසෙට’

යනුවෙන් අන්දරේ අවසන් වරට කියූ බව පැවැසෙන කවියෙන් එය මනාව පැහැදිලි වේ.

අන්දරේ මියගිය බව සැලවූ රජතුමා වහා එහි පැමිණ දෑත් දෙපා විහිදුවා මියගොස් සිටි අන්දරේගේ දේහය දැක පළමුව සිනාසී ‘අනේ අන්දරේ උඹ මැරිලත් මාව හිනැස්සුවා නේද?’ යනුවෙන් අසා සිටි පුවත ද අතිශය ප්‍රචලිත ය.

නමුදු ජීවිතයේ අවසාන භාගයේදී කන්ද උඩරට හෙවත් මහනුවර සිට දෙවිනුවරට යා යුතුව තිබූ අන්දරේ ඒ සඳහා සබරගමුව, රන්මලේ කඳුවැටිය ඔස්සේ මාතර දිසාවට වැටී ගත් සෘජු මාවත ඔස්සේ ගමන් නොකොට කන්ද උඩරට රාජ්‍ය සමයේ ලුණු ප්‍රවාහනය සඳහා ප්‍රකටව තිබූ මාර්ගය ඔස්සේ හම්බන්තොට ද පසුකොට ගමන් කළේ කුමක් නිසාද? යන්නද විමසා බැලිය යුතු ය. එමෙන්ම අන්දරේ මියගිය බව සැලවූ රජතුමා වහා එහි පැමිණ දෑත් දෙපා විහිදුවා මියගොස් සිටි අන්දරේගේ දේහය දැක පළමුව සිනාසී ‘අනේ අන්දරේ උඹ මැරිලත් මාව හිනැස්සුවා නේද?’ යනුවෙන් අසා සිටි පුවත ද අතිශය ප්‍රචලිත ය.
එහෙත්, මෙලෙස රජතුමාගේ පැමිණීම ද විශ්වසනීයත්වයෙන් තොර ප්‍රවෘත්තියක් වනුයේ එවක පැවැති මාර්ග සහ ප්‍රවාහන පහසුකම් යටතේ රජ කෙනකුට එවන් පණිවුඩයක් ලැබීමෙන් පසු අසකු පිටින් වුව මෙපමණ දුරක් ඒමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. එම කාලය සහ ඒ ප්‍රදේශයේ පවතින පාරිසරික උෂ්ණත්වය අනුව රජතුමා සැබැවින්ම එහි පැමිණියේ නම් ඔහුට දැකගත හැකිවනුයේ ශීඝ්‍රයෙන් නරක් වෙමින් පවතින අන්දරේගේ විරූපී මළ සිරුර ය. එවන් මළ සිරුරක් දැක ප්‍රකෘති සිහියෙන් යුතු කිසිවකුටත් සිනා පහළවීමේ ඉඩක් නැත.

ඒ කෙසේ වුවද මෙරට මුද්‍රිත සාහිත්‍යයේ ආරම්භයත් සමඟම ප්‍රකාශයට පත් වූ අන්දරේගේ කතා, කවට අන්දරේ වැනි පොත-පත හා පසුව මේ චරිතය මුල් කොට නිපද වූ සිනමා කෘතීන් සහ වේදිකා නාට්‍ය මගින් හුදෙක් අන්දරේ යන ‘සංකේතය’ යොදා ඉදිරිපත් වූ සමාජ ප්‍රකාශනයන් මිස ඔහුගේ සැබෑ ජීවන චරිතය ඉස්මතු වී ද යන්න සැක සහිතය.ඒ අනුව අපට ඉතා සාධාරණ ලෙසම අනුමාන කළ හැක්කක් තිබේ.එනම් වර්තමාන දේශපාලනඥයන් ගේ අනේක විධ උසුළු විසුළු කතා හා ක්‍රියාකාරකම් අනුව ඔවුන් මුල් කොට ද අනාගතයේ අන්දරේට කෙසේ වත් නොදෙවෙනි සුපිරි කවට අන්දරේලා බිහි විය හැකි බවකි.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර