ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙනුයි බලංගොඩ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කෙරුණි.
මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 40ක මුදලක් රජය වැය කරයි.වෛද්‍ය සායන , මානසික සුවතා සහ ශරීර සුවතා මධ්‍යස්ථාන , ඔසුසැල් , හදිසි ප්‍රතිකාර ඒකක ඇතුළු අංග සම්පුර්ණ වෛද්‍ය පහසුකම් මේ යටතේ හිමිවෙයි.
පුද්ගලයන් පන්දහසත් , දසදහසත් අතර පිරිසක් වෙනුවෙන් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයක් බැගින් ඉදිකිරීම රජයේ අපේක්ෂාවයි. වෛද්‍යවරයෙක් ඇතුළු කාර්ය මණ්ඩලයක් ඒ වෙනුවෙන් යෙදවීමට නියමිතයි.ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රතිකාර ලබාදීමේ සීමාවෙන් ඔබ්බට ගෙන යමින්, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජනතාවගේ සමස්ත සෞඛ්‍ය හා යහපැවැත්ම ඉහළ නැංවීම කේන්ද්‍ර කරගත් පුළුල් සෞඛ්‍ය සේවා ප්‍රවේශයක් රට පුරා ශක්තිමත් කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ මූලික අරමුණ වෙයි.
ඒ අනුව, ජනතාවට සිය ප්‍රදේශය තුළදීම අවශ්‍ය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි පරිසරයක් ගොඩනැගීම සඳහා “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ජාලය පුළුල් කෙරෙයි.මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් 31 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතයි.