ඉන්දියාවේ වායු දූෂණය ලංකාවට බලපාන හැටි

wau

ලංකාවේ පවතින වායු දූෂණ තත්ත්වය මේ දිනවල වඩාත්ම අවධානයට ලක්වන කාරණයක් වී තිබේ. මෙම කලාපයේ සුළං රටාවේ වෙනස් වීම් සමග ඉන්දියාවේ සිට හමන සුළං ප්‍රවාහයන් රට තුළට ඇතුල් වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විශේෂඥයන් පෙන්වා දී තිබේ.

ඉන්දියාව වායු දූෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුළන රටක් බව රහසක් නොවේ. මෙයට ටික කලකට පෙර කරන ලද සමීක්‍ෂණයකින් හෙලි වී තිබුණේ ලොව වායු දූෂණය වැඩිම නගර 20 න් 13 ක් ම පිහිටා ඇත්තේ ඉන්දියාවේ බවයි. උතුරු ඉන්දියාවේ දිල්ලි වැනි නගර ඒ අතරින් ද ප්‍රධානම තැනක් ගනියි. මේ වනවිට ලංකාවේ ද වායු දූෂණය උත්සන්න වී තිබෙන්නේ ඉන්දියාවේ මෙවැනි කලාප හරහා හමා එන සුළඟ මෙරටට ඇතුල් වීම නිසාය.

ඉන්දියාව තුළ වායු දූෂණය ඉහළ යාමට හේතුවන ප්‍රධාන කාරණා කිහිපයක් හඳුනාගෙන තිබේ. එකක් නම් කර්මාන්ත ශාලාවලින් පිටවන දූෂිත වායුන් ය. සමස්ත වායු දූෂණයෙන් සියයට 51 කට දායක වන්නේ මෙය බව සඳහන් වේ. වාහනවලින් පිටවන දුම සියයට 27 ක දායකත්වයක් දක්වන අතර කුඹුරු යායවල අස්වැන්න නෙලා ගැනීමෙන් පසු පිදුරු ආදිය ගිනි තැබීමෙන් පිටවන වායූන් සියයට 17 ක දායකත්වයක් දක්වයි. සියයට 5 ක් වෙනත් විවිධ හේතුන් නිසා සිදුවන බව ද වාර්තා වේ.

wau2

මෙරට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂවරයා පවසා තිබුණේ ඇතැම් විට ලබන මාර්තු මාසය පමණ වනතෙක් මෙම තත්ත්වය වරින් වර ඇති විය හැකි බවයි. කුඩා දරුවන්, වියපත් පුද්ගලයන් සහ ඇදුම වැනි ශ්වසන ආබාධවලින් පීඩා විඳින පුද්ගලයන් මෙහිදී විශාල වශයෙන් පරෙස්සම් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. විශේෂයෙන් නිවෙස්වලින් පිටත යාමේ දී මුහුණු ආවරණ පැළඳීම වැනි පියවර ගැනීම ඉතා වැදගත් වේ.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල පවතින මාරාන්තික වායු දූෂණ තත්ත්වයන් වසරකට ලක්‍ෂ 20 ක පමණ සංඛ්‍යාවකගේ මරණවලට වගකිව යුතු බව සඳහන් වේ. වරක් ඇමරිකානු පර්යේෂණ ආයතනයක් පෙන්වා දී තිබුණේ මෙම වායු දූෂණය හේතුවෙන් ඉන්දියානුවන්ගේ ආයු අපේක්‍ෂාව වසර 9 කින් පමණ අඩු විය හැකි බවයි..

ලංකාවේ මෙවර වායු දූෂණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු වන්නට පටන්ගත් පසුගිය 8 වැනි බ්‍රහස්පතින්දා මෙරට බොහෝ ප්‍රධාන නගරවල වායු තත්ත්ව දර්ශකයේ ඒකක 200 ට වැඩි අගයන් සටහන් විය. මෙය මිනිසුන්ගේ සෞඛ්‍යයට අතිශයින් අහිතකර තත්ත්වයක් ලෙස සැලකේ. කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම 249 ක් වූ අතර කුරුණෑගල 291 ක් ලෙස ද, යාපනයේ 280 ක් ලෙස ද, වව්නියාවේ 251 ක් ලෙස ද, මහනුවර 214 ක් ලෙස ද වාර්තා විය. රටේ බොහෝ ප්‍රදේශවල වායු දූෂණය ඒකක 150 ඉක්මවා තිබිණි. කෙසේ නමුත් සිකුරාදා (09) වනවිට සමහර නගරවල තත්ත්වය වඩා යහපත් මට්ටමක් වෙත ළඟා වී තිබිණි. ඒ වනවිට වැඩිම වායු දූෂණයක් වාර්තා වූයේ මහනුවරිනි.

ඉන්දියාවේ සාමාන්‍යයෙන් වැඩිම වායු දූෂණයක් පවතින්නේ නව දිල්ලියේ වුවත් පසුගිය දිනවල එරට වාණිජ අග නගරය වන මුම්බායි හි ඊටත් වඩා දරුණු තත්ත්වයක් දැකිය හැකි විය. එහි වායු දූෂණය ඒකක 308 ක් ලෙස වාර්තා වී තිබිණි. ඒකක 300 ට වැඩි අගයන් ඉතාම අහිතකර තත්ත්වයන් පෙන්වන අගයන් ලෙස සැලකේ.

පරිසරයෙහි වායු තත්ත්වය යහපත් ලෙස සැලකෙන්නේ වායු තත්ත්ව දර්ශකයේ 0-50 අතර අගයන් පෙන්වන විට ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර