ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර ඇත. ඒ අනුව, මීටර සහිත ත්‍රිරෝද රථ සඳහා අයකරන පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130 ක් දක්වා ඉහළ නැංවීමට ඔවුන් පියවර ගෙන තිබේ.ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අඛණ්ඩව සිදුවන ඉන්ධන මිල ඉහළ යාම් හමුවේ මෙම තීරණය ගැනීමට ඔවුන්ට සිදුවූ බවයි.පසුගිය වර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ද, මෙවර යළිත් රුපියල් 24 කින් ද වැඩි කර තිබේ.මෙලෙස අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යන පසුබිමක් තුළ, ගාස්තු සංශෝධනයකින් තොරව ත්‍රිරෝද රථ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව සංගමය දැඩිව අවධාරණය කරයි. අමතර කොටස් මිල ගණන් ද ඉහළ මට්ටමක පැවතීම මීට තවත් හේතුවකි.මෙම ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය නිල වශයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය සැලසුම් කර ඇත. අදාළ කමිටුවේ අනුමැතියෙන් පසු මෙම නව ගාස්තු ක්‍රමය විධිමත් ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට මෙම ගාස්තු ඉහළ යාම තවත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව මගීහු පවසති. දෙවන කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව සම්බන්ධයෙන් ද ඉදිරියේදී යම් යාවත්කාලීන කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.