ඊශ්‍රායල-හමාස් යුද්ධය පොලොවෙන් යටටත් පැතිරෙයි ද?

මේ වනවිටත් බිහිසුණු ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද්ධය තවමත් කෙරෙමින් ඇත්තේ පොලොවෙන් මතුපිට ය. ඒ ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර හරහා ය. නමුත් තව ටික දිනකින් එය පොලොවෙන් යටටත් පැතිරෙනු ඇත් ද යන සැකයක් මේ වනවිට බොහෝ නිරීක්‍ෂකයන් සහ යුද විශේෂඥයන් තුළ ඇති වෙමින් තිබෙන ආකාරයක් පෙනේ. මෙම යුද්ධය පොලොවෙන් යටට යන්නේ කෙසේදැයි සමහර විට ඔබ තුළ කුතුහලයක් ඇති වීමට පිලිවන.

පලස්තීන ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් සංවිධානය එහි පොලොව යට ඉතා සංකීර්ණ උමං මාර්ග පද්ධතියක් ඉදි කර ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. ඔවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන ද රැසක් පිහිටා ඇත්තේ මෙම උමං පද්ධතිය තුළ බව සඳහන් වේ. තම අවි ආයුධ ගබඩා කර තැබීම සඳහා ද, විවිධ භාණ්ඩ එහා මෙහා ගෙන යාම සඳහා ද, යුද මෙහෙයුම් දියත් කිරීම සඳහා ද, එමෙන්ම ඔවුන් අල්ලා ගන්නා ප්‍රාණ ඇපකරුවන් රඳවා තැබීම සඳහා ද හමාස් සංවිධානය මෙම උමං භාවිත කරන බව හෙලි වී ඇත. මේ වනවිට පොලොව මතු පිට සිට හමාස් සංවිධානයට ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා ඉදිරියේ දී මෙම උමං මාර්ග පද්ධතියට ඇතුල් වී යුද්ධය පොලොවෙන් යටට ද ගෙන යාමට ඉඩ ඇති බවට අදහස් පළවෙමින් තිබෙනු දැකිය හැකි වේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් තෙනන්යාහු දිගින් දිගටම පවසන්නේ හමාස් සංවිධානය සහමුලින් විනාශ නොකර තමා සටන නොනවත්වන බවයි. යුද විශේෂඥයන් පවසන්නේ එම අරමුණ ඉටු කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඊශ්‍රායල හමුදාවලට ඉහත කී උමං පද්ධතියට ද ඇතුල් වී ප්‍රහාර එල්ල කිරීමට සිදුවනු ඇති බව ය.

සති කිහිපයකට පෙර මෙයට අදාලව තරමක් මතභේදාත්මක කාරණයක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එහි සඳහන් වූයේ ඊශ්‍රායල හමුදා මෙම උමං මාර්ග තුළට විෂ වායූන් යවා හමාස් සාමාජිකයන් මරා දැමීම ගැන සලකා බලන්නට ඉඩ ඇති බවකි. නමුත් මෙයට එරෙහිව විශාල වශයෙන් අදහස් පළවන්නට විය. ඒ අතර වෝල් ස්ටී්‍රට් ජර්නල් (Wall Street Journal) නැමැති ඇමරිකානු පුවත්පත සඳහන් කර තිබුණේ ඊශ්‍රායල හමුදා මෙම උමං පද්ධතිය මුහුදු ජලයෙන් පුරවා ඒ ඔස්ස් හමාස් සංවිධානය අඩපණ කිරීමට කල්පනා කරමින් සිටිනවා විය හැකි බවයි. මෙවැනි මෙහෙයුමක් සඳහා අවශ්‍ය වන වතුර පොම්ප පවා ඔවුන් රැස් කර ඇති බවක් ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කර තිබිණි. ඊශ්‍රායලය ආසන්නයේ පිහිටි මධ්‍යධරණී මුහුදෙන් ජලය පොම්ප කර දින කිහිපයක් තුළ මෙම උමං පද්ධතිය පුරවන්නට හැකි වනු ඇති බව ද එහි සඳහන් විය.

නමුත් මෙවැනි උපක්‍රමවලට බාධා කරන ප්‍රබල කාරණයක් මේ වනවිට තිබේ. එනම් හමාස් සංවිධානය මේ වෙද්දී රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිලිබඳ කාරණය යි. බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට මෙම ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටින්නේ ඉහත කී උමං පද්ධතිය තුළ ය. ඒ නිසා මෙම උමං මාර්ග ජලයෙන් පිරවීම හෝ ඒවාට විෂ වායූන් යැවීම හෝ බරපතල ප්‍රතිවිපාක ඇති කරන්නකි. එසේ වුවත් ඇතැම් යුද විශේෂඥයන් පවසන්නේ ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන්ට වඩා යුද ජයග්‍රහණය ප්‍රමුඛ තැනක ලා සලකන්නට වුව ද ඉඩ ඇති බවයි. එසේ වුවහොත් ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ගැන නොසලකා ඉහත කී පියවර අනුගමනය කිරීමට ඉඩ තිබේ. නමුත් එවැන්නක් කළහොත් ඊශ්‍රායලය තුළ විශාල විරෝධයක් මතු වන්නට ඉඩ ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

යම් හෙයකින් ඊශ්‍රායලය මෙම උමං පද්ධතිය ජලයෙන් පිරවීමට කටයුතු නොකර මෙයට ඇතුල් වී හමාස් සටන්කරුවන් සමග සටන් කිරීමට අදහස් කළහොත් එය ඊශ්‍රායල හමුදාවන්ට ඉතා අභියෝගාත්මක කටයුත්තක් වනු ඇත. මන්ද යත් මෙම උමං මාර්ග පද්ධතිය ගැන ඔවුන්ට ඇති දැනුම, අවබෝධය සීමාසහිත බැවිනි. මෙම උමංවල සෑම අඟලක් පාසා හොඳින් දන්නා හමාස් සටන්කරුවන්ට එහි දී විශාල වාසියක් අත් වනු ඇති බව නිසැක ය. කෙසේ නමුත් මෙවැනි උමං පද්ධති තුළ සටන් කිරීම සඳහාම පිහිටුවන ලද විශේෂ කමාන්ඩෝ බලකායක් ද ඊශ්‍රායල හමුදා තුළ සිටින බව සඳහන් වේ. මෙම බලඇණිය හඳුන්වන්නේ ‘සමූර්’ යන නමිනි. ඊශ්‍රායලය පවසන්නේ උමං පද්ධතිය තුළට ඇතුල් ව හමාස් සටන්කරුවන් සමග සාර්ථකව සටන් කිරීම සඳහා අවශ්‍ය වන අවි සහ මෙවලම් මෙම සමූර් බලඇණිය සතුව ඇති බවයි. මෙවැනි මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් ද මෙම කණ්ඩායම සතුව සිටින බව ද සඳහන් ය.

කෙසේ හෝ වේවා, ඊශ්‍රායල හමුදා හමාස් සංවිධානයේ උමං පද්ධතියට ඇතුල් වේවි ද, ඒ කවදා ද යන කාරණා ගැන තවමත් නිශ්චිතව කිසිවක් සඳහන් නොවේ. නමුත් ඊශ්‍රායල අගමැතිවරයා පවසන ආකාරයට ඔහු හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට අදහස් කරන්නේ නම් අනිවාර්යයෙන් ම උමං පද්ධතිය ද ආක්‍රමණය කිරීමට සිදු වනු ඇත. ඇතැම් යුද විශේෂඥයන් නම් පවසන්නේ වැඩි කල් නොගොස් ඔහුට ඒ ගැන තීරණය කරන්නට සිදුවනු ඇති බවයි. මන්ද යත්, මෙම යුද්ධයට එරෙහිව ලොව බොහෝ පාර්ශ්ව වෙතින් මේ වනවිට දැඩි පීඩනයක් අගමැති නෙතන්යාහු වෙත එල්ල වෙමින් ඇති බැවිනි. මේ නිසා හමාස් සංවිධානය අවසන් කිරීම සඳහා වැඩි කාලයක් ගැනීමට ඔහුට හැකියාවක් නොවනු ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර