එල් නිනෝව අපටත් මාරාන්තික වේද?


අහස දෙස බලන විට එල් නිනෝ හැර අන් කිසිවක් මතක් නොවන තරමට එය අපගේ ජනජීවිතයට බද්ධ වූ සංසිද්ධියක් බවට පත්ව තිබේ. මේ දිනවල පවතින කාලගුණය සහ දේශගුණය ගැන කතා කිරීමේදී ද මේ වචනය නොඇසුණේ නම් එය අඩුපාඩුවකි. සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් එල් නිනෝ ගැන විවිධාකාර කතා පතුරවමින් සිටින අතර ඒ අතරින් සැබෑ දේ මොනවාද, වැරදි තොරතුරු මොනවාද යන්න පවා තේරුම් ගත නොහැකි තැනකට පත්ව තිබේ. මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්වීම සිදුවිය හැකි බැවින් මෙම තත්ත්වය පිළිබඳව නිල වශයෙන් කරුණු පැහැදිලි කිරීමට සහ ප්‍රකාශ නිකුත් කිරීමට මෙරට එකම සහ නිල බලධාරියා වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් අයිතිය පවරා තිබේ. එය ඉතා යහපත් තීරණයක් වන අතර ලෝක කාලගුණික රටාවන් නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින වර්තමාන යුගයක, ලෝකවාසී සැමගේ අවධානය යොමු වී ඇති ප්‍රධානතම මාතෘකාවක් බවට ‘එල් නිනෝ’ (El Niño) සම්බන්ධව ඉදිරිපත් කෙරෙන මෙහි අඩංගු කරුණු ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධාන මඟින් නිකුත් කෙරුණු දත්ත මත පමණක්ම පදනම් වන බව සැලකිය යුතුය.

පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යාම පාදක කරගනිමින් හටගන්නා මෙම ගෝලීය දේශගුණික විපර්යාසය, ලෝකයේ විවිධ කලාපවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරයි. මෙමඟින් එල් නිනෝ තත්ත්වය, එයින් මිනිස් ජීවිතවලට සිදුවන බලපෑම, ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් එහි ස්වභාවය සහ මේ සම්බන්ධයෙන් නිල තොරතුරු ගවේෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව සරල මෙන්ම විශ්ලේෂණාත්මකව කරුණු සාකච්ඡා කෙරේ.

විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, එල් නිනෝ තත්ත්වයක් නිර්මාණය වූ විට එය හුදෙක් සරල දේශගුණික වෙනස්වීමක් පමණක් නොවේ. එය මිනිස් ජීවිත කෙරෙහි ඍජු මෙන්ම වක්‍ර බලපෑම් රාශියක් එල්ල කරන, ඇතැම් විට ජීවිත තර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බරපතළ දේශගුණික සංසිද්ධියකි. සමාජය තුළ මේ දිනවල පවතින ප්‍රධානතම කතාබහක් වන්නේ ද මෙමඟින් අපගේ දෛනික ජීවිතයට සහ පැවැත්මට එල්ල විය හැකි අවදානම කෙතරම්ද යන්නයි. දීර්ඝකාලීන නියඟයන්, දැඩි උණුසුම සහ අනපේක්ෂිත දේශගුණික පෙරළීන් හේතුවෙන් මිනිසාගේ සෞඛ්‍යය, ආර්ථිකය මෙන්ම මූලික අවශ්‍යතා පවා බිඳවැටීමට මෙයින් මඟ පෑදිය හැකිය.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2026 ජූලි මස මුලදී නිකුත් කළ නිල නිවේදනයකට අනුව, සමකාසන්න මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ ජල මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යමින් එල් නිනෝ තත්ත්වයක් මේ වන විටත් සක්‍රීය වී තිබේ. ලෝක කාලගුණ අනාවැකි පෙන්වා දෙන්නේ 2026 සහ 2027 වසරවල උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව උදාවන විට මෙම තත්ත්වය තවදුරටත් දැඩි වනු ඇති බවයි. එළඹෙන නොවැම්බර් සහ ජනවාරි අතර කාලයේදී සියයට හැටතුනක දැවැන්ත සම්භාවිතාවකින් යුතුව අතිශය ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් ද පවතී. මේ අතරතුර ඉන්දියන් සාගරයේ ද්විධ්‍රැවීය තත්ත්වය (IOD – Indian Ocean Dipole) දැනට උදාසීන මට්ටමක පැවතුණ ද, වසරේ ඉදිරි කාලයේදී එය ධනාත්මක අතට හැරීමට ඇති ඉඩකඩ වැඩි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ගෝලීය දත්ත දෙස බැලීමේදී පැහැදිලි වන්නේ එල් නිනෝ යනු යම්කිසි එක් රටකට හෝ කලාපයකට පමණක් සීමා වූවක් නොවන බවයි. සාමාන්‍යයෙන් සෞම්‍ය දේශගුණයක් පවතින යුරෝපා කලාපයට පවා මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන්ම ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල මෑතකදී වාර්තා වූ අසාමාන්‍ය සහ අධික උණුසුම් කාලගුණ තත්ත්වයන්ට මෙම ගෝලීය එල් නිනෝ බලපෑම ඍජුවම හේතු වී ඇති බව විද්‍යාත්මක නිරීක්ෂණ මඟින් සනාථ වී තිබේ. විශේෂයෙන් ජර්මනියේ අධික උණුසුම් තත්ත්වය නිසා ජල බව්සර මගින් ජලය විදින වීඩියෝ දර්ශන පවා දැක ගත හැකි විය. මෙයින් පැහැදිලි වන්නේ සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින රටක් වේවා, සමස්ත ලෝකයම මෙම දේශගුණික විපර්යාසයේ අවදානමට මුහුණ දී සිටින බවයි.

එල් නිනෝ සක්‍රීය වීමත් සමඟම රටක සාමාන්‍ය ජනජීවිතය අඩාල කරවන ප්‍රධාන බලපෑම් කිහිපයක්ම ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ නිර්මාණය වේ. වැසි රටාවන් වෙනස් වීම සහ දීර්ඝ වියළි කාලගුණයක් ඇතිවීම හේතුවෙන් භූගත ජල මට්ටම් පහළ බැස, ජලාශ සිඳී ගොස් මිනිසුන්ට සහ සතුන්ට දැඩි පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික ආර්ථිකයක් පවතින රටක, වගාවලට අවශ්‍ය ජලය නිසි කලට නොලැබීමෙන් අස්වනු පාළු වීම, වගා බිම් විනාශ වීම සහ අවසානයේ රට තුළ ආහාර හිඟයක් මෙන්ම ආහාර මිල ගණන් ඉහළ යාමක් වැනි දරුණු ආර්ථික බිඳවැටීම් සිදු විය හැකිය. එසේම, ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලාශ මත යැපෙන රටවලට ජල මට්ටම පහළ යාම දැඩි බලපෑමක් එල්ල කරයි. ජල විදුලිය නිපදවීමට නොහැකි වීම නිසා විදුලි කප්පාදුවලට සහ අධික පිරිවැයක් සහිත තාප විදුලිය මත යැපීමට රටට සිදු වේ.

සාමාන්‍යයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා හමා යන නිරිතදිග මෝසම එල් නිනෝ බලපෑම නිසා දුර්වල වන අතර, එමඟින් දිවයිනේ බටහිර, දකුණ සහ මධ්‍යම කඳුකරයට ලැබෙන වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී උෂ්ණත්වය ඉහළ යයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ දත්තවලට අනුව, ජූලි මාසයේදී බස්නාහිර සහ දකුණු පළාත්වලට මඳක් වැඩි වැසි ලැබුණ ද සෙසු ප්‍රදේශ වියළි ස්වභාවයක් ගනී. අගෝස්තු වන විට කිලිනොච්චිය, මන්නාරම සහ වවුනියාව වැනි උතුරු ප්‍රදේශවලට තැනින් තැන වැසි පතිත වුව ද, සමස්තයක් ලෙස රට පුරා ජල මූලාශ්‍ර කෙරෙහි ඇතිවන පීඩනය ක්‍රමයෙන් වර්ධනය වේ. මෙම පෙරළියේ වඩාත්ම දරුණු අත්දැකීම වන්නේ “දේශගුණික කසපහර” (Climate Whiplash) ලෙස හැඳින්වෙන හදිසි විපර්යාසයයි. නිරිතදිග මෝසම දුර්වල වීම නිසා පසෙහි තෙතමනය අහිමි වී, ජලාශ හිස් වෙමින් යල කන්නයේ වගාවන් විනාශ විය හැකි අතරම ජල විදුලි උත්පාදනය ද දැඩි අර්බුදයකට ලක් වේ. එහෙත්, මෙම දැඩි වියළි කාලගුණයෙන් පීඩා විඳින ජනතාව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැමිණෙන අන්තර් මෝසම් සමයේදී නොසිතූ අයුරින් හදිසි ගංවතුර සහ නායයෑම් වැනි ව්‍යසනයන්ට ගොදුරු විය හැකිය.

ජර්මනියේ අධික උෂ්ණත්වය නිසා ජලය විදින ලද අවස්ථාවක්

කතාවේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ක්‍රියාත්මක වන ඊසානදිග මෝසම් සමයේදීය. බටහිර කලාපය තවදුරටත් වියළිව පවතින විට, එල් නිනෝ සක්‍රීය වීම නිසා ඊසානදිග මෝසම වෙනදාට වඩා ශක්තිමත් වී උතුරු සහ නැඟෙනහිර පළාත්වලට අධික වර්ෂාපතනයක් රැගෙන එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නැඟෙනහිර ගොවි ජනතාවට මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් නෙළා ගැනීමට හැකිවන අතර, ඇතැම් විට අධික වැසි නිසා ගංවතුර අවදානමකට ද මුහුණ දීමට සිදු වේ.

ජර්මනියේ අධික උෂ්ණත්වය නිසා ජලය විදින ලද අවස්ථාවක්

මෙවැනි පසුබිමක එල් නිනෝ තත්ත්වයේ වඩාත්ම භයානක සහ ඍජු සෞඛ්‍ය තර්ජනය වන්නේ පරිසර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අධික ලෙස ඉහළ යාමයි. මෙහිදී සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දින ගණනාවක් එක දිගට පවතින තාප තරංග (Heat Waves) නිර්මාණය වන අතර, එය මිනිස් සිරුරට දරාගත නොහැකි තත්ත්වයක් ඇති කරයි. මීට අමතරව අධික බාහිර උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කරගත නොහැකි වී, දහඩිය දැමීම නතර වීමෙන් ඇතිවන හීට් ස්ට්‍රෝක් හෙවත් ‘තාප ආඝාත’ (Heat Stroke) තත්ත්වය ඉතාමත් අනතුරුදායකය. අධික උණුසුම නිසා සිදුවන මෙම ආඝාත තත්ත්වය, වහාම වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් ජීවිතක්ෂයට පවා පත්විය හැකි බරපතළ සෞඛ්‍ය අවදානමකි. විශේෂයෙන්ම කුඩා ළමුන්, වැඩිහිටියන් සහ එළිමහනේ සේවය කරන පුද්ගලයන් මෙයින් දැඩි ලෙස ආරක්ෂා විය යුතුය.

ජර්මනියේ අධික උෂ්ණත්වය නිසා ජලය විදින ලද අවස්ථාවක්

එල් නිනෝ යනු අපට පාලනය කළ නොහැකි ස්වාභාවික සංසිද්ධියක් වුවද, එහි බලපෑම් අවම කරගැනීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කිරීම අප සතු වගකීමකි. එහිදී, ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට නොරැවටී, රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල නිවේදන සහ උපදෙස් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි අපගේ දෛනික සැලසුම් සකස් කරගැනීම තුළින් එල් නිනෝ අවදානම සාර්ථකව ජය ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර