එළවළු මිල ඉහළ යාමෙන් අලෙවිය පහළට ; පාරිභෝගිකයෝ සෝයා මීට් සහ පරිප්පු වෙත හැරෙති

 

එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළේ එළවළු අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි එළවළු වෙළෙන්දෝ පවසති.ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග ප්‍රමාණය අඩුවීමත් සමඟ තොග මිල ගණන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. තොග මිල ඉහළ යාම සිල්ලර වෙළෙඳපොළට ද සෘජුවම බලපා ඇති බැවින් සාමාන්‍ය පාරිභෝගිකයන්ට එළවළු මිලදී ගැනීම දැඩි ආර්ථික බරක් බවට පත්ව ඇත.මේ හේතුවෙන් දෛනික ආහාර වේල සඳහා එළවළු මිලදී ගැනීම සීමා කරන පාරිභෝගිකයන් ඒ වෙනුවට සෝයා මීට්, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලදී ගැනීමට යොමුවී සිටින බව වෙළෙන්දෝ පෙන්වා දෙති.වෙළෙන්දන් පවසන පරිදි මේ දිනවල එළවළු වගා කිරීමේ නව කන්නය සඳහා බීජ තවාන් දැමීම ඇතුළු මූලික කටයුතු සිදුකෙරෙමින් පවතී. ඒ හේතුවෙන් අස්වනු නෙළා වෙළෙඳපොළට එවන ප්‍රමාණය අඩුවී ඇති අතර, ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම මිල ඉහළ යාමට බලපා තිබේ.එළවළු මිල ඉහළ යාම නිසා පිට පළාත්වල කුඩා පරිමාණයේ සිල්ලර වෙළෙඳසල් රැසක් එළවළු අලෙවිය තාවකාලිකව නතර කර ඇති බව ද වාර්තා වේ. එළවළු මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් අඩුවීමත්, ඉහළ තොග මිලට එළවළු මිලදී ගෙන අලෙවි කිරීමෙන් පාඩු සිදුවීමේ අවදානමත් ඊට හේතු වී ඇත.මේ අතර, ඊයේ (04)  ද ආර්ථික මධ්‍යස්ථාන රැසක පිට පළාත්වලින් පැමිණෙන තොග ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී තිබිණි. සාමාන්‍යයෙන් විශාල වශයෙන් එළවළු තොග මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් පවා මේ දිනවල මිලදී ගැනීම් සීමා කර ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිත වෙළෙන්දෝ පවසති.එළවළු සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙන්නේ මීට පෙර කිලෝවක් හෝ ග්‍රෑම් 500ක් වශයෙන් එළවළු මිලදී ගත් පාරිභෝගිකයන් මේ වන විට ග්‍රෑම් 250 දක්වාත්, ඇතැම් අවස්ථාවල ග්‍රෑම් 150ක් හෝ 100ක් දක්වාත් මිලදී ගැනීම් සීමා කර ඇති බවය. එළවළු කිලෝවක මිල දරාගත නොහැකි වීම නිසා අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹී සිටින බව ද ඔවුහු කියා සිටිති.මේ අතර, එළවළු මිල පමණක් නොව වියළි මිරිස් මිල ද ඉහළ ගොස් තිබේ. පසුගිය කාලයේ රුපියල් 900ත් 1,000ත් අතර මිලකට අලෙවි වූ වියළි මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,270ත් 1,300ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නොවැම්බර් 4 දිනැති දෛනික මිල වාර්තාවේ දැක්වෙන්නේ එළවළු මිල වෙනස්වීම් සියලු වර්ග සඳහා එකම දිශාවකට සිදුවී නොමැති බවය. එදින දඹුල්ල වෙළෙඳපොළේ තක්කාලි මිල ඉහළ ගිය ද බෝංචි සහ කැරට් මිල පහළ ගොස් තිබිණි. එමඟින් පැහැදිලි වන්නේ එළවළු සැපයුම හා මිල ගණන් වර්ගය සහ වෙළෙඳපොළ අනුව වෙනස් වන බවය.එළවළු මිල ගණන් ඉහළ යාමෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ දෛනික ආදායමෙන් ආහාර අවශ්‍යතා සපුරා ගන්නා අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල් බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති. ආහාර වේලක පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන එළවළු පරිභෝජනය මිල හේතුවෙන් සීමා කිරීමට සිදුවීම ද ඔවුන් මුහුණ දෙන තවත් ගැටලුවකි.සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් එළවළු මිල ගණන් ඉහළ මට්ටමක පැවතිය හැකි බැවින්, ඉදිරි දිනවල වෙළෙඳපොළ සැපයුම සහ මිල වෙනස්වීම් පිළිබඳව පාරිභෝගිකයන් මෙන්ම වෙළෙන්දෝ ද අවධානයෙන් පසුවෙති.

 

කාලීන පුවත්