ඔබේ මීළඟ සංචාරක ගමන් අතරට එක් කර ගත යුතු ආනවිලුන්දාව

 

ආනවිළුන්දාව. සමහර විට ඔබ මේ නාමය මීට පෙර අසා ඇති .ඇතැම් විට ඔබ මේ නාමය අසන මුල්ම අවස්ථාව මෙය විය හැකියි.ආනවිළුන්දාව යනු පාරිසරික වශයෙන් ඉතා වැදගත් ජීව පද්ධතියක් දරා සිටින තෙත්බිමක් .අලියා එරුණු වල යන අර්ථයෙන් දෙමළ බසින් ආන උලන්දඬු පසුකාලීනව ව්‍යවහාරයේ පහසුව සඳහා ආනවිළුන්දාව බවට පත් වූවායැයි ජනප්‍රවාද තොරතුරුවලින් තහවුරු වේ.ඉතා මනරම් වැව් පද්ධතියක් ,වෙරළබඩ කලාපයක් ,සත්ත්ව විශේෂ රාශියක් දරා හරිත පැහැයෙන් වර්ණවත් වී ඇති මේ අභය භූමිය වෙනුවෙන් ඔබේ සංචාරක දිනපොතෙන් එක් පිටුවක් වෙන් කළ යුතුයැයි මට හැගේ.

2001 වසරේ අගෝස්තු මස 3 වැනි දින ජාත්‍යන්තර රැම්සා තෙත්බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු ආන විළුන්දාව තෙත්බිම ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත්බිම් තුනෙන් දෙවන වරට ප්‍රකාශයට පත් කරන ලද තෙත්බිමයි.මෙහි විශාලත්වය ප්‍රමාණාත්මකව ගත් කළ හෙක්ටයාර් එක්දහස් තුන්සිය පනස් හතරකි.ප්‍රථමයෙන්ම මිනිස් අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද වැව් පද්ධතියක් මෙම ප්‍රදේශයේ විය .පසුකාලීනව මෙම වැව් පද්ධතිය කේන්ද්‍ර කරගෙන ස්වභාවික තත්වයට පත් වූ තෙත්බිමක් නිර්මාණය විය.පළමුවන පරාක්‍රමබාහු කුමරු විසින් තමන්ට රජකම ලැබෙන්නට ප්‍රථම ආනවිළුන්දාව නමැති ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන එහි ජලය හා තෙතමනය රඳවා ගැනීමත් එමඟින් කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දවීමත් අරමුණු කරගෙන මෙම වැව් පද්ධතිය සෑදූ බවට ජනප්‍රවාද කතා ඇත.පාරිසරික වශයෙන් ගත් කල අභය භූමිය තුළින් ශාක විශේෂ 264 ක් පමණ හඳුනා ගත හැක.මේ අතරින් විශේෂ එකසිය දහයක් ගස් වර්ග වේ. විශේෂ පනස් හතරක් පඳුරු ශාකය.විශේෂ හැට අටක් පැළෑටි ද වැල් වර්ග තිහක් හා අපි ශාක දෙකක්ද වාර්තා වේ.මුළු ශාක විශේෂ වලින් විසි දෙකක් ජලාශ්‍රිත වේ.මෙම තෙත් බිම ආශ්‍රිත භූමියෙන් ⁣ඖෂධ ශාක බහුලව හමුවන අතර මෙහිදී හමුවන පුපුළු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වු ශාකයකි. දේශීය තර්ජනයට ලක් වූ කෙකටිය විශේෂ හා කළුවර ශාකද මෙම ප්‍රදේශය තුළින් වාර්තා වෙයි .අභය භූමිය තුළින් පෘෂ්ඨ වංශික ජීවීන් විශේෂ 274 ක් පමණ වාර්තාවේ.මෙයින් විශේෂ දහයක් ශ්‍රී ලංකාවට ආවේණික අතර 19ක් දේශීය වශයෙන් තර්ජනයට ලක් වූ විශේෂ වේ.මෙම ප්‍රදේශයෙන් වාර්තා වන මිරිදිය මත්සයින් සහ කිවුල්දිය මත්සයින් වර්ග විශේෂ රාශියක් වේ.උභය ජීවීන් හා උරග විශේෂ ද වාර්තා වේ .දංකොල පෙතියා ,මගුරා ,ලංකා බැඳි මැඩියා වැනි මත්ස්‍ය විශේෂ ද මෙම තෙත්බිමෙන් වාර්තා වන අතර ඒ මත්ස්‍යයින් රාශියක් ශ්‍රී ලංකාවට ආවේණික ය .ආනවිළුන්දාව තෙත් භූමියේ පවතින තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ පක්ෂීන් විශේෂ රාශියක් මෙහි සිය වාසස්ථාන නිර්මාණය කරගෙන සිටීමයි ඔවුන්ගේ ආහාර බිම ලෙස මෙම තෙත්බිම ප්‍රමුඛස්ථානයක් ගනියි.ශ්‍රී ලංකාවට ආවේණික වලිකුකුලා ,අලු කෑදත්තා ,හීන් කොට්ටෝරුවා යන විශේෂද මෙහිදී වාර්තාවේ ජල ආශ්‍රිත පක්ෂීන් විශාල ප්‍රමාණයක් මෙම අභය භූමියෙන් වාර්තා වන අතර සුදු කොකුන්, දියකාවන්, කොරවක්කන් උදාහරණ වශයෙන් දැක්විය හැකිය .එමෙන්ම තර්ජනයට ලක් වූ විශේෂයන් වන හඳුන් දිවියා ,උණුහපුළුවා වැනි සතුන්ද මෙයින් වාර්තා වෙයි.දේශීය වශයෙන් තර්ජනයට ලක් වූ සමනල් විශේෂ දොළහක් පමණද මෙම තෙත්බිමෙන් වාර්තා වෙයි.

පාරිසරික වශයෙන් ගත් කල ඉතා වටිනාකමක් උසුලන පරිසර පද්ධතියක් ලෙස ආනවිළුන්දාව තෙත්බිම හඳුනා ගැනීමට හැකියි.ඇතැම් විට මේ මනස්කාන්ත පරිසරය නැරඹීමට ඔබේ සිත තුළද යම් කැමැත්තක් ඇතිවිය හැක .එසේ නම් මේ තොරතුරු පිළිබදවද ඔබ අනිවාර්ය දැනුවත් විය යුතුය.මෙම අභය භූමිය තුළ නවාතැන් ගැනීම සඳහා නිකේතන පහසුකම් රාශියක් නොමැත.මෑතක දී ඉදි වූ නිකේතන දෙකක් පමණ තිබෙන අතර ආන විළුන්දාවට එපිටින් පිහිටි ආරච්චිකට්ටුව,බංගදෙණිය, පුත්තලම වැනි ප්‍රදේශ වල නවාතැන් සඳහා පහසුකම් ඇත .ආපනශාලා ,ප්‍රවාහන රෝහල් ,ඉන්ධනහල් ,වෙළඳසැල් අවශ්‍යතා හලාවත පුත්තලම මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශ වලින් සපයා ගැනීමට හැක.සංචාරක ආකර්ෂණයක් දිනාගත් සොබා සෞන්දර්යයෙන් අනූන පරිසර නිකේතනයක් බැවින් සැලකිය යුතු සංචාරක පිරිසක් මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් පැමිණෙයි.ඒ අතර විදේශීය සංචාරකයින්ද යම් ප්‍රමාණයක් වේ.මෙයට ඇතුල්වීම සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරන අතර නිශ්චිත ප්‍රවේශ දොරටුවක් ද නැත. අභයභූමිය තුළ ගම්මානයක් පිහිටා ඇති බැවින් ඒ සඳහා ඇති ප්‍රවේශ මාර්ගවලින් අභයභූමිය තුළට පැමිණීමේ හැකියාව තිබේ.හලාවත පුත්තලම් මාර්ගයේ ආනවිළුන්දාව දුම්රිය ස්ථානය අසලින් ඇති මාර්ගය ප්‍රධාන පිවිසුම් මාර්ගය වන අතර එම මාර්ගයේ මයියාව මංසන්ධියෙන්ද ප්‍රවේශ මාර්ගයක් තිබේ.එමගින් ද මෙම අභයභූමියට ළඟාවිය හැක.

කඩොලාන පරිසර පද්ධතීන් පිළිබඳව අධ්‍යයනය කරන දෙස් විදෙස් පරිසරවේදීන් හට විශ්වවිද්‍යාලයක් බඳු වූ ආනවිළුන්දාව කඩොලාන ශාක හා කඩොලාන ආශ්‍රිත සත්ව විශේෂ 2020 වර්ෂයේ සිට ව්‍යාපාරිකයින්ගේ තර්ජනයට ලක්ව තිබේ .ඊට පෙර සිට යම් සුළු තර්ජනයන් තිබුණද එය මෑතක් වන විට එය විශාල තර්ජනයක් වී තිබේ.විශේෂයෙන්ම ඉස්සන් වගාව සඳහා 2020 වර්ෂය වන විට මේ ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයක් ඩෝසර් කර තිබේ.මෙවැනි පාරිසරික වැදගත්කමක් සහිත පද්ධතීන් රැක ගැනීමට රජයක් වශයෙන් පියවර ගත යුතු අතර මහජනයා ලෙස අපට පැවරෙන වගකීමද සුළු පටු නොවේ.මෙවැනි පරිසර පද්ධතින් විනාශ නොකිරීමට ස්වං ශික්ෂණයක් සියළු සත්වයින් අතර බුද්ධියෙන් ඉහළ යැයි සම්මත අප තුළ නිරායාසයෙන්ම ඇති විය යුතුය.

නජිලා අධිකාරි

හරිත දනව්ව