ඕමානයේ ශ්‍රී ලාංකේය කාන්තා ඛේදවාචකයට නොදෙවෙනි ඛේදවාචකයක් දැන් අපේ රට තුළත්!

oman

ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා අපේක්‍ෂාවෙන් සංචාරක වීසා බලපත් මගින් ඕමානයට ගිය ශ්‍රී ලාංකේය කතුන් පිරිස් එහිදී ලිංගික අපයෝජනයන් ඇතුළු අනේක විධ දුක් පීඩාවන්ට ලක්වීම පිළිබඳ සිදුවීම් දාමයක් මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ඒ පිළිබඳව සිහි නුවණින් විමසා බලන විට අපට හැඟී යනුයේ ලොව අන් රටවල කාන්තාවන් හා සැසදීමේ දී ශ්‍රී ලාංකේය කාන්තාව අතිශය අසරණ අනාථ තත්වයකට පත්ව හිඳින බවකි.එහෙත්, එම ඛේදවාචකය සිදුවන අතරේම මෙරට තුළ සිදුවන එබඳුම නැතහොත් ඊටත් වඩා දරුණු ස්ත්‍රී ඛේදවාචකයක් මේ වන විටත් පොදු සමාජයේ අවධානයෙන් තොරව නිරන්තරයෙන් සිදු වෙමින් පවතී.

පසුගිය දශක කිහිපය තුළ විදේශ ගෘහ සේවය සඳහා ශ්‍රී ලාංකේය කතුන් වැඩි පිරිසක් නික්ම යාම හේතුවෙන් දේශීය ගෘහ සේවා අවශ්‍යතාව නිසි පරිදි සපුරාලීමට අවශ්‍ය කතුන් පිරිසක් නොසිටි බව රහසක් නොවේ. එබැවින් පසු කලෙක එම ගෘහ සේවිකා ඇබෑර්තු සඳහා වතුකරයේ තරුණියන් සහ කාන්තාවන් යම් ප්‍රමාණයකට යොදා ගැනිණ.ඒ අතර එතෙක් විදේශ රැකියා නියුක්තිය සඳහා විවෘත සමාජ අවකාශයක් නොතිබූ ඔවුනට තැරැව් කරුවන් මගින් එම අවකාශය ද උදා කෙරෙන ලදී. ඉන් සිදු වූයේ දේශීය ගෘහ සේවක ඇබෑර්තු සංඛ්‍යාව තවත් බරපතල ලෙස ඉහළ යාම ය.

එහෙත්, ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ ගනු ලැබූ අතිශය අමනෝඥ තීන්දු තීරණ මත මෙරට සමස්ත කෘෂි කර්මාන්තය, අනේක විධ ස්වයං රැකියා ආදායම් සේම සුළු සහ මධ්‍යම පරිමාන කර්මාන්ත රාශියක් බිඳ වැටුණි.ඒ අතරේ පැමිණි කොවිඩ් වසංගතය හමුවේ දේශීය ආර්ථිකය “මරු ඇඳට වැටුණාක්” මෙන් විය. එමගින් සිදු වූයේ මෙරට ජනගහනයෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් ‘කන්න අඳින්න නැති’ මට්ටමකට ඇද වැටීම ය.එය කෙතරම් බරපතල තත්වයක් ද යත් ගෝලීය දරිද්‍රතා දර්ශකයන් මඟින් ද ද ශ්‍රී ලංකාව ඉදිරි පෙළට පත් විය. එම ඛේදනීය පසුබිම තුළ මෙරට පවුල් ආර්ථිකය බරපතල ලෙස පසුබෑමට ලක්වන ලද්දේ එම පවුල්වල දරුවන් ගේ මන්ද පෝෂණය ඇතුළු පවුල් වල පොදු පෝෂණ මට්ටම බරපතල පරිහානියකට ලක් කරමිනි. අප විස්තර කිරීමට සැරසෙන ශ්‍රී ලාංකේය ස්ත්‍රීත්වය පිළිබඳ මෙම සාතිශය දරුණු ඛේදවාචකයට මුල පිරෙනුයේ එතැන් සිට ය.
කෘෂිකර්මය, ස්වයං රැකියා, සුළු කර්මාන්ත ආදියෙන් යැපුණු විශේෂයෙන් ග්‍රාමීය සමාජයන් හි කාන්තාවන් විශාල ප්‍රමාණයක් මේ වන විට ඉතා අනාරක්ෂිත සහ අවිධිමත් ලෙස දේශීය ගෘහ සේවයන්හි යෙදී සිටිති.

oman2

ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන අන්දමට ආර්ථික වශයෙන් දරුණු ලෙස බැට කන පවුල්වල කාන්තාවන් දේශීය ගෘහ සේවයට යොමු කරවීමේ යාන්ත්‍රණ කිහිපයක් මේ වන විට සැකසී තිබේ. ඒ අතුරින් පසුගිය කාලය තුළ ඇතැම් කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ජාලයට නතු කර ගත් ලියාපදිංචි සහ එසේ නොමැති ආයතනවල නියෝජිතවරුන් ගෙන් යම් කොටසක් එම කතුන් ගමින් නගරයට අද්දවා ගැනීමේ තැරැව් කරුවන් ලෙස කටයුතු කරන බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත්ව තිබේ.ඒ තම ආයතන වෙතින් එම කතුන් ලබාගත් ණය මුදල් හොඳින් හෝ නරකින් ප්‍රතිපූර්ණය කරගැනීම පිණිස ය. විවිධ ස්වයං රැකියා ආදිය සඳහා කිහිප දෙනකු ගෙන් යුතු කණ්ඩායම් වශයෙන් විවිධ ආයතන මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් එම කතුන් හට නගරයෙන් රැකියා ලබා දෙන බව පවසමින් ඇතැම් මූල්‍යායතන නියෝජිතයන් එම කතුන් නාගරික ඉහළ මාධ්‍යම පාන්තික නිවාස වෙතට යොමු කරන බවට තහවුරු කර ගත හැකි තොරතුරු ලැබී තිබේ. රුපියල් හත්සිය පනස් දහසත් අතර දෛනික වැටුපක් මත මෙම කාන්තාවෝ එම නිවාසවල නේවාසිකව සහ දෛනික පදනම යටතේ සේවයේ යෙදෙති.

ශිෂ්ටාචාරය යනු මානව සමාජයේ සංවිධිත බව පදනම්ව ගොඩනැඟුණකි. එම සංවිධිත බවට ආර්ථිකය නම් වන සාධකය ද බෙහෙවින් ඉවහල් වන බව අමුතුවෙන් කිව යුතු නැත. නමුදු කුමන හෝ හේතුවක් මත එක් වරම එම ආර්ථිකය දරුණු ලෙස බිඳ වැටුණ හොත් ඊට සාපේක්‍ෂව එම ශිෂ්ටාචාර ලක්ෂණ අව ප්‍රමාණ වීම ද ඉතා ස්වභාවික තත්වයකි.

පරුෂාදනය හෙවත් තමන් ගේ වර්ගයාගේ මාංශ අනුභවය (Cannibalism) දක්වාම එම ශිෂ්ටාචාරයේ අවනතිය සිදුවිය හැකි බව මානව විද්‍යාවේ සඳහන් වෙයි. මීට වසර දස දහසකට ඉහත පැලියොලිතික හෙවත් පූර්ව ශිලා යුගයේ පැවැති එම ම්ලේච්ඡ ක්‍රියා දාමය එදා මෙදා තුර වරින් වර ලොව නන් දෙසින් වාර්තා වෙයි.එවන් තත්වයන් යටතේ දිනකට රුපියල් දහසක මුදලක් තමන් ගේ දරුණු ආර්ථික පීඩාවෙන් අත් මිදීම පිණිස යොදා ගන්නට තබා ඒ පිළිබඳව සිතා ගැනීමටත් නොහැකි පසුබිමක් තුළ එම කතුන් ගේ චර්යා රටාවන් කෙසේ විෂම විය හැකිද? යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඉහත සඳහන් ආර්ථික අර්බුදය හමුවේ ගමින් නගරයට සංක්‍රමණය වන සෑම කාන්තාවක්ම මෙබඳු ශිෂ්ටාචාර අවනතියකට ලක් වූ බව පැවසීම අතිශය අසාධාරණ ය. නමුත් මේ වන විට අනාවරණය වූ තොරතුරු මගින් පැවසෙනුයේ වර්තමානයේ පොදුවේ බලන විට ඔවුන් වෙතින් එවැනි නැඹුරුවක් පළවන බව ය.මානව ශිෂ්ඨාචාරය නමැති මූල පද්ධතියේ මුදුන් මුල කාන්තාව බව ලොව පුරා පවතින පොදු පිළි ගැනීමකි අප සමාජයෙන් මේ වන විට ශීඝ්‍රයෙන් ගිලිහී වැටෙනුයේ ඒ මුදුන් මුල ය.

එම තත්වය පසෙක තිබිය දී ගෘහ සේවය පිළිබඳ කිසිදු වෘත්තීය නිපුනත්වයකින් තොරව දේශීය ගෘහ සේවය සඳහා මෙසේ ගමින් නගරයට පැමිණෙන කාන්තාවන් කායික වාචික සේම ලිංගික අපයෝජනයන්ට ලක් වීමේ නැඹුරුව ද සුළුකොට තැකිය නොහැක. ඒ ශ්‍රී ලංකේය දේශීය කාන්තා ගෘහ සේවය තුළ පවත්නා බරපතල අනාරක්ෂිත බව පිළිබඳ තවත් පැතිකඩකි.

ශ්‍රී ලංකාවේ අනේක විධ වෘත්තීන් අතර සේවක වරප්‍රසාද කිසිත්ම නොමැති වෘත්තිය ගෘහ සේවයයි. ස්ත්‍රී පුරුෂ වශයෙන් සළකන විට ශ්‍රී ලාංකේය ගෘහ සේවක ප්‍රජාවෙන් 80% ක් පමණ කාන්තාවන් බවට අනුමාන කෙරේ.ඒ අනුව ගෘහ සේවය යනු කාන්තා කේන්ද්‍රීය ජීවනෝපායකි. එමෙන්ම මේ වන විට අප රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් ගෘහ සේවය මුල් කොට ගත් කාන්තා විදේශ ශ්‍රම දායකත්වයෙන් හිමි වන බව ද අප අමතක නොකළ යුතු ය. අප රටේ මුල්වරට ගෘහ සේවකයන් ලියාපදිංචියක් සිදු කරන ලද්දේ 1871 වසරේ එවක අප රට පාලනය කළ බ්‍රිතාන්‍යයන් විසිනි. එහෙත්, එය එවක සේවයේ යෙදී සිටි ‘ආයලා සහ අප්පුලා’ නමින් හැඳින්වුණු ගෘහ සේවක ප්‍රජාවෙන් හාම්පුතුන් බේරා ගැනීම පිණිස සැකසුණු එකක් මිස ගෘහ සේවක සුබ සාධනය මුල්කොට සැකසුණු එකක් නොවේ. එකල අගනුවර ආශ්‍රිත ධනපති පැළැන්තියේ නිවෙස්වලට ආයලා අප්පුලා ලෙසින් සේවයට පැමිණි පිරිස් එම ධනපතියන් ගේ අල්මාරි ලාච්චු, කණ කර පැහැර ගෙන පලා යාම මීට ආසන්නතම හේතුව වූ බව කියනු ලැබේ. නමුදු අද වන විට එවැනි ලියාපදිංචියක් වත් නොමැති වීම ජාතික ඛේදවාචකයකි.

කිනම් හෝ වෘත්තියක් සම්බන්ධ කිසියම් කාර්ය දර්ශකයක් ඇති නමුදු දේශීය ගෘහ සේවය යනු බොහෝ විට බහු කාර්ය ක්‍රියාවලියකි. කාන්තාවන් සම්බන්ධයෙන් එම තත්වය දැඩිව බලපාන බව නොරහසකි. ඉවුම් පිහුම්, ගේ දොර පිරිසිදු කිරීම, දරුවන් බලා ගැනීම, උද්‍යාන වැඩ, වළං පිඟන්, රෙදි ආදිය සේදීම සහ රෙදි මැදීම, රෝගීන් සහ වියපත් වුවන් බලා ගැනීම,ගෘහස්ථ සතුන්ගේ කටයුතු, නිවසේ ආරක්ෂාව සැලසීම ආදී වශයෙන් වන මෙම බහුකාර්ය ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සතියේ සෑම දිනයෙකම දිනකට පැය දොලහත් දහසයත් අතර කාලයක් පුරා සිදු කළ යුතු බව අනාවරණය වී තිබේ. එමෙන්ම සෙසු සෑම වෘත්තියකටම අදාල නිවාඩු ලබා ගැනීම අතින් ද මෙම ගෘහ සේවිකාවන් පසුවනුයේ අතිශය අසරණ තත්වයක ය. එය ද බොහෝ විට ද හාම්පුතා ගේ සිතැඟි සහ අභිලාෂයන් මත සිදුවන බව නොරහසකි. ඒ සම්බන්ධයෙන් පැවසිය යුතු තවත් “තිත්ත ඇත්තක්” නම් එවන් මූලික වෘත්තීය අයිතිවාසිකමක් ලබා ගැනීමට හාම්පුතා ගේ අයුතු යෝජනාවන්ට නතු වීමට පවා ඇතැම් ගෘහ සේවිකාවකට සිදුවීම ය. ඒ අනුව අදටත් ශ්‍රී ලාංකේය ගෘහ සේවය සමීප වනුයේ වෘත්තියකට වඩා වහල් සේවයට බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.

අදටත් අප රටේ ගෘහ සේවය සඳහා මෙරට බලපවත්නා කම්කරු නීති අණපනත් බලාත්මක නොවීම ද බරපතල ඛේදවාචකයකි. අඩුම තරමින් මොව්හු සේවක අර්ථ සාධක අරමුදලක් හෝ සේවා නියුක්තිකයන් ගේ භාරකාර අරමුදල් ප්‍රතිලාභ වලටවත් හිමිකම් නොකියති. එම වහල් මෙහෙය මුල්කොට මොවුන් ලබා ගන්නා සොච්චම් මුදල පඩි පාලක සභා රෙගුලාසි මගින් වත් ආවරණය නොවේ. තමන් ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් සාමූහිකව හඬක් නැඟීමට නොහැකි මොවුනට තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් 1950 අංක 43 දරන කම්කරු ආරවුල් පනත මගින්වත් හඬක් නැඟීමට නොහැකි වීම ද බරපතල ඛේදවාචකයකි.

මේ අතර මෙම ගෘහ සේවය සඳහා බඳවා ගැනෙන ශ්‍රමිකයන් සම්බන්ධ ප්‍රමිතිය සහ ඔවුන් පිළිබඳ විශ්වසනීය බව තහවුරු කරවීම පිණිස වන දේශීය ගෘහ සේවක සේවිකාවන් සැපයෙන රැකියා ඒජන්සි රාශියක් ද මේ වන විට රට පුරා පිහිටුවා තිබේ. ඒ මගින් නිවෙස් වෙත යොමු කරන ගෘහ සේවිකාවන් ගේ වැටුප මෙන් කිහිප ගුණයක් සේවා ගාස්තු වශයෙන් ලබා ගන්නා මෙම ආයතන හිමියන් පවසනුයේ එම ගෘහ සේවකයන් සම්බන්ධයෙන් වන පූර්ණ වගකීම තම ආයතනය විසින් දරනු ලැබීම හා ඒ සඳහා වන පරිපාලන සහ කළමණාකාරීත්ව වියදම් මත පදනම්ව එම සේවා ගාස්තුව අය කරන බවකි. එමෙන්ම උපස්ථායිකාවන් වශයෙන් නිවාස සඳහා ශ්‍රමිකයන් සපයන ආයතන ද මේ වන විට රටේ බොහෝ ප්‍රදේශ වල පිහිටුවා ඇත. මේවා මගින් ගෘහස්ථ සේවා සපයන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ද විවිධ ගැටළු අර්බුද පවතින බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ඒ අතර එම සේවා සැපයීමේ දී එම ශ්‍රමිකයන්ට ආරක්ෂාවක් නොසැපයීමේ චෝදනාව ද ප්‍රධාන තැනක් ගනී.එම ගෘහ සේවිකාවන් පවසනුයේ තම ආයතන ඔවුන්ගේ සේවා ලාභියා වන තම හාම්පුතා පිළිබඳව විනා තමන් පිළිබඳව ප්‍රමාණ වත් තැකීමක් නොකරන බව ය.

අප රටේ ගෘහ සේවය සම්බන්ධ තත්වය මෙසේ වුවද ලොව බොහෝ රටවල් මේ වන විට ගෘහ සේවය ද විධිමත් ප්‍රමිතිගත වෘත්තීය මට්ටමට පත් කොට ඇත. ඒ ගෘහ සේවයේ විවිධ අංශ සම්බන්ධ නිසි පුහුණුවක් ලැබූ නිපුනතා සහතික ලාභී ශ්‍රමිකයන් ඒ සඳහා යොමු කොට ඒ සියලු දෙනා රජයේ ලියාපදිංචියකට ලක් කිරීමෙනි. ලොව යුරෝපය ඇමරිකාව පසෙක තිබිය දී ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය සහ හොංකොං ආදී රටවල ද මේ වන විට ගෘහ සේවය නිසි ප්‍රමිතිගත තත්වයකට පත් කොට එම ශ්‍රමිකයන් හට සෙසු කම්කරුවන්ට හිමි අයිතිවාසිකම් සියල්ලම පාහේ ප්‍රදානය කොට තිබේ.

2011 වර්ෂයේ ජුනි 16 දා පැවැත් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ දී 2011 189 සම්මුතිය ලෙස ප්‍රඥප්ති ගත කරනු ලැබූ ගෘහ සේවය හා සම්බන්ධ වෘත්තීය අයිතිවාසිකම් නිල හෝ නොනිල වශයෙන් අද වන විට ක්‍රියාවට නැංවෙයි. එවන් පසුබිමක් තුළ අප රටේ ක්‍රියාවට නැංවුණු ජාතික ‘මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්ම 2017-2021’ මගින් ගෘහස්ථ ශ්‍රමිකයන් ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධ නීති රීති සම්මත විය යුතු බවට එවක රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹුණි.

එහෙත් එය හුදෙක් ‘කටින් බතල සිටුවීමකට’ සීමා වූ පසුබිමක් යටතේ වත්මන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා දේශීය ගෘහ සේවක සේවිකාවන් ගේ තත්වය සොයා බලන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් වරයාට උපදෙස් දී ඇති බවට ද පසුගිය දා මාධ්‍ය වාර්තා පළ විණි. එහෙත් 1871 වසරේ බි්‍රතාන්‍යයන් විසින් සිදු කළ ගෘහ සේවකයන් ලියාපදිංචි කිරීම වැන්නක් ඊට සියවස් එක හමාරකට පසුව වත් සකසා ගත නොහැකි අතිශය අබල දුබල දේශපාලනික හා පරිපාලන පසුබිමක් තුළ ය.

ඒ අනුව ව්‍යවස්ථාපිත බලයකින් තොරව කම්කරු ඇමතිවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට එම දුන් උපදෙස “උඹට අශ්වයෙක් නැති වුණාට කමක් නෑ පයින් ගිහින් වැඩ පෙන්නපන්’‘ යනුවෙන් කිසිවකු දහ නව වන සියවස අග භාගයේ උතුරු ඇමරිකාවේ ජීවත් වූ අශ්වාරෝහක එඬේරකු හට හෙවත් “කව් බෝයි” කෙනකුට දෙන උපදෙසකට නොදෙවෙනි යැයි අපට සිතේ. සැබැවින්ම මේවා කවර ලෙසකින් වත් සරදමට ලක් කළ යුතු නොවන ජාතික සමාජ ඛේදවාචකයන් බව නිසැක ය. එහෙත්,ඔවුන් සමාජයට එවන් විහිළු සපයන විට විහිළු වලින් තොරව ඊට ප්‍රතිචාර දැක්විය යුතු අන් මඟක් පිළිබඳව අපට ද නොවැටහේ.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර