යොවුන් දෙමළ ලේඛක දීපචෙල්වන් විසින් රචිත, පසුගිය මාසයක පමණ කාලයක් රේගු භාරයේ රඳවාගෙන සිටි ආන්දෝලනාත්මක කෘති හතරෙන් දෙකක් තවදුරටත් මුදා නොහැරීමට රේගු බලධාරීන් තීරණය කර තිබේ.මෙම කෘති නිදහස් නොකිරීම සම්බන්ධයෙන් රේගුව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශිත වාර්තාවක් ඒ සඳහා පදනම් කරගත් බවයි. කෙසේ වෙතත්, රේගුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනය මඟින් දැක්වෙන්නේ, රාජ්‍ය කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ වාර්තාවන් සැලකිල්ලට ගනිමින් උක්ත කෘති දෙක නිදහස් නොකරන බවයි.මෙලෙස රඳවා ගැනීමට තීරණය කර ඇත්තේ දීපචෙල්වන්ගේ සම්මුඛ සාකච්ඡා සහ ලිපි ඇතුළත් ප්‍රබන්ධ නොවන (Non-fiction) ගණයට අයත් කෘති දෙකකි. සම්පූර්ණයෙන්ම දේශපාලන පත්වීම් මත පදනම් වන කලා මණ්ඩලයට සහ සාහිත්‍ය අනුමණ්ඩලයට, ලේඛකයකුගේ කෘති වාරණය කිරීම සඳහා ඇති නෛතික බලය සහ සදාචාරාත්මක අයිතිය පිළිබඳව මේ වන විට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි ප්‍රශ්න කිරීම් මතු වෙමින් පවතී.එමෙන්ම විචාරකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, මෙය අනුල්ලංඝනීය මානව අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස දැඩි ලෙස අවහිර කිරීමක් මෙන්ම ප්රජාතන්ත්රවාදී සමාජයක අදහස් විවිධත්වයට එල්ල කරන ලද තර්ජනයක් බවයි. වත්මන් ජාතික ජන බලවේග රජය යටතේ මෙවැනි වාරණ ක්‍රියාත්මක වීම, අදහස් මර්දනය සහ වාරණය සඳහා ආණ්ඩුව නිල වශයෙන් මැදිහත් වීම ආරම්භ කර ඇති බවට වන බරපතළ චෝදනාව ද විවිධ දේශපාලන හා සිවිල් සංවිධාන විසින් එල්ල කරමින් සිටියි.