ඕෂධී කාබනික පොහොර ව්‍යපෘතියක

osadhi
ඕෂධී හේවාමද්දුම ආයෙත් කරලියට ඇවිත්. මහා මැතිවරණයෙන් පස්සෙ කිසිම සද්දයක් නැතුව හිටපු ඕෂධී පහුගිය දවසක හිරු නාලිකාවේ විකාශය වන සිහින ගෙනෙනා කුමරියේ ටෙලි නාට්‍යයෙන් නැවතත් ප්‍රේක්ෂකයා හමුවුණා.
ආපහු පුංචි තිරයට ගොඩවුණේ මැතිවරණ වේදිකාව අමතක කරලා, පාර්ලිමේන්තු සිහිනය බොඳ කරගෙනද කියලා අහන්න අපි ඕෂධීට කතා කළා.‍
ඕෂධී පාර්ලිමේන්තු හීනය අත ඇරලා දැම්මද?
මම පරාජයකින් අධෛර්ය වෙන කෙනෙක් නෙමෙයි.
ඒ කියන්නේ මැතිවරණ වේදිකාවෙන් බහින්න තවම අදහසක් නැහැ.
දැන්ම ඡන්දයක් නැහැනේ. බලාපොරොත්තු ඇති කර ගන්නත් බලාපොරොත්තු නැති කරගන්නත් අපි ඉක්මන් වෙන්න ඕනෙ නැහැ.
ඡන්දෙන් පැරදුණාම කළකිරීමක් ඇති වුණාද?
ඡන්ද දායකයො ගැන නම් පොඩ්ඩක්වත් කළකිරීමක් ඇති වුණේ නැහැ. ඡන්ද අපේක්ෂ‍කයො කරන කියන දේවල් ගැන නම් කළකිරීමක් ඇති වුණා. ඒත් ඒ කළකිරීම මට අධෛර්ය වෙන්න කාරණයක් නෙමෙයි.
 මේ දවස්වල ජීවත් වෙන්න අසීරු අයට උදව් කරනවා කියලා ආරංචියි?
ඔව්. මේ අමාරු කාලේ අපි පුළු පුළුවන් විදියට කාට කාටත් උදව් කරන්න ඕනේ නේ.
 බදුලු ජනතාවට විතරද උදව් කරන්නේ?
නෑ.. නෑ… දිස්ත්‍රික්කයක් ප්‍රදේශයක් කියලා නෑ. උදව් අවශ්‍ය අයට කරනවා. මේක ඡන්දෙ බලාගෙන කරන වැඩක් නෙමෙයි. මම පුංචි කාලෙ ඉඳලම මට පුළුවන් විදියට හැමෝටම උදව් කළා. ඉස්සරට වඩා දැන් මම ආර්ථිකයෙන් ශක්තිමත්. ඒ නිසා එදාට වඩා දැන් මට
කෙනෙක්ට උදව් කරන්න පුළුවන්.
 ඕෂධී සැමියත් එක්ක කාබනික පොහොර හදනවලු නේද?

ඔව් ,ඡන්දේ ඉල්ලන්නත් කලින් ඉඳන් තමයි අපි ඔය ව්‍යාපාරය පටන් ගත්තේ. බදුලු ජනතාවට මම දුන්න ඡන්ද පෙරොන්දුවක් තමයි වස විසෙන් තොර වගාවක් ඇති කරන එක. අපි වවන දේවල් වලට වස විස එකතු කරලා ලෙඩ කරන්නෙ අපේ අනාගතය. අනිත් එක කාබනික පොහොර කියන්නේ කොම්පෝස්ට් නෙමෙයි. වස විස නැති ඵලදාව වැඩි කරන පස සරු කරන ජෛව පොහොර. අපි නිෂ්පාදනය කරන්නේ ගොවිතැනට හිතැති පොහොරක්.

ඒ කියන්නේ රජය ගත් තීන්දුව ඕෂධීගෙ ව්‍යාපාරයේ සාර්ථකත්වට හේතුවක් වෙන්න ඇති?
ජනාධිපතිතුමා අනාගතය වෙනුවෙන් ගත්තේ ඉතා හොඳ තීරණයක්.මම ඒක කියන්නේ ව්‍යාපාරික පැත්තෙන් නෙමෙයි. ජනතාවගෙ පැත්තතෙන් හිතලා. අපි නම් කළින් ඉඳන්ම මේ ව්‍යාපාරයට අත ගහලා තිබුණේ. හැබැයි මේ තීරණයත් එක්ක අලුත් ආයෝජකයන්ටත් අවස්ථාව ලැබුණා. තරුණ ආයෝජකයො එකතු වෙලා අපේ වගාව වස විසෙන් තොර කර ගන්න මේක හොඳම අවස්ථාවක්.
ඔය වැඩ කටයුතු එක්ක රඟපාන්න වෙලා තියනවද?
ව්‍යාපාරික කටයුතු කරන්නෙ ප්‍රදීප්(සැමියා) මාත් උදව් කරනවා. ඒත් එයා ඒ බර කරට අරන් තියන නිසා මට නිදහසක් ලැබුණා.
 ඕෂධී ඉඳලා ඉඳලා බාර ගත්තේ එක් කෙනෙක් දාලා ගිය චරිතයක හිස් තැන් පුරවන්න?
සිහින ගෙනෙන කුමරිය කියන්නේ ප්‍රවීණයන් එකතු වුණ තැනක්.අනිත් එක මෙගා නාට්‍ය වලදි හදිසි තත්ත්ව මත චරිත අතර මඟ නතර වෙනවා. මමත් කාලයක් මෙගා කරපු කෙනෙක්. හැබැයි මමත් මෙගා අත හැරියෙ ඒක එපා වෙලා. මොකද මෙගා නාට්‍යයක ප්‍රධාන චරිතයක් කියන්නේ වෙන කිසිම වැඩක් කරන්නෙ නැතුව ඒ ගැනම කැප කිරීමෙන් ඉන්න ඕන චරිතයක්.
සිහින ගෙනෙන කුමරිය නාට්‍යයේ ෂෙරින් කියන්නේ ප්‍රධාන චරිතයක් නෙමෙයි. අනිත් එක ටිකක්වෙනස් චරිතයක්. ගයනි අක්කාට නාට්‍යයෙන් සමුගෙන යන්න වුණේ රටිනුත්සමුගත්ත නිසා. මේ කාරණා ඔක්කොම ගැන හිතලයි අධ්‍යක්ෂවරයාගෙ ආරාධනාව පිළිගත්ත‍ෙ.
කොහොමද ප්‍රේක්ෂකයාගෙන් ලැබුණ ප්‍රතිචාර?
ඇත්තටම මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබුණනේ. රංගන ශිල්පියෙක්ට ප්‍රේක්ෂකයා අතරට යන්න නාට්‍යයක ප්‍රධාන චරිතයක්ම අවශ්‍ය නෑ.
 ඒ කියන්නේ ඕෂධීට ප්‍රධාන චරිතෙ ලබා ගැනීමේ “උණක්” නැහැ?
නැහැ. ඒ විතරක් නෙමෙයි පෙම්වතිය වීමේ උණකුත් නැහැ. මොකද මම ඇති වෙන්න පෙම්වතියගෙ චරිය රඟපාලා තියනවා. ජීවන් අයියගේ ඉඳන් මට බාල අයගෙත් පෙම්වතිය වුණා. දැන් මගේ වයසට ගැළපෙන චරිත කරන්න මම සූදානම්.
 අලුත් ආරාධනා නැද්ද?
තියනවා. අලුත් අධ්‍යක්ෂවරයෙක්ගේ අලුත් වැඩකට නොවැම්බර් ඉඳන් දායක වෙනවා. අධ්‍යක්ෂවරයා ලංකාවට අලුත් වුණාට ඔහු හොලිවුඩ් වලත් වැඩ කරලා අත්දැකීම් ගත් කෙනෙක්. අපි ඒ ගැන පස්සෙ විස්තර සහිතවම කතා කරමුකෝ.
 ඕෂධී එළියට බැස්සෙ වැරදි කාලෙක කියලා හිතෙන්නනෙ නැද්ද?
නොහිතනෙවාම නෙමෙයි. ඒත් කවද වෙනකන් ගෙට වෙලා ඉන්නද? සෞඛ්‍යාරක්ෂිතව අපිපුරුදු වැඩ කරන්න ඕනේ. අපි දැන් කෙ‍ාරෝනා එක්ක පරිස්සමට ඉන්න පුරුදු වෙන්න ඕනෑ.
 අම්මලා තාත්තලා පුරුදු පරිදි වැඩ පටන් අරන් නමුත් දරුවො ගෙදර?
දරුවො පරිස්සමින් ගෙදර ඉන්න එක එක අතකට හොඳයි. ඒත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වීම ගැන තමයි දුක. පැසැල් වහලා, අකුරක් ඉගෙන ගන්න නෑ. ළමයි මානසිකව පීඩාවට පත්වෙලා. දරුවන්ගෙ අනාගතය ගැන හිතන දෙමව්පියොත් ඉන්නෙ පීඩනයෙන්. ඒ ගැන නම් තියෙන්නෙ පුදුම කළකිරීමක්.
 “අයියයි නංගියි” ගෙදර සමඟියෙන් සාමයෙන් ඉන්නවාද?

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. අයියා නම් කවදත් සාමයට තමයි බර. ඒකටත් එක්ක නංගි. නංගි තමයි යුද්ධ කරන්නෙ. අයියවත් බය කර ගන්න හදන්නේ.

හිමේෂා සවන්ති රාජපක්ෂ
රසගඟුල