කැමැත්ත තිබූ පමණින් සෑම දරුවකුම ක්‍රීඩාවල යෙදීම සුදුසු ද  ?

         පාසල් සහ විවිධ ජාතික මලල ක්‍රීඩා තරඟවලදී ක්‍රීඩා කරන අතරවාරයේ සිහිසුන්ව ඇද වැටී මියගිය ක්‍රීඩකයින් පිළිබඳ අපට වරින් වර අසන්නට ලැබේ. පාසල් සිසුවෙක් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත් වුවහොත් දෙමාපියන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ පුහුණුකරුවන්ට විශාල කරදරයකට  මුහුණදීමට සිදුවනු  ඇත. එසේම මෙවැනි අවාසනාවන්ත සිදුවීමකින් පසු මෙහි වගකීම කාට පැවරෙන්නේ ද යන්න ද විසඳී නැති ගැටලුවකි.
බොහෝවිට සිදුවන්නේ මෙවැනි අවාසනාවන්ත  ඉරණමකට ලක් වූ පසු එක් පාර්ශවයකට පමණක් වගකීම පැටවීම ය. නමුත් දෙමාපියන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පුහුණුකරුවන් සහ  වෛද්‍යවරුන් හට මෙහිදී එකිනෙකට වෙනස් වූ වගකීම් පවතින අතර එය හරිහැටි ඉටු කිරීම තුළින් මෙවැනි තත්ත්වයන් සිදුවීම වළක්වා ගත හැකිය. ඒ හැර දරුවන් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් එය මීට වඩා දරුණු සෞඛ්‍ය ප්‍රශ්න සමුදායක ආරම්භයක් වීමට ඉඩ ඇත.
මෙවැනි හදිසි තත්වයක් ඇතිවීම සඳහා බලපාන ප්‍රධානතම කරුණු මොනවාද යන්න ගැන අපි දැන් සොයා බලමු.
මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

1. උප්පත්තියෙන්ම දරුවන්ට වැළඳෙන රෝග තත්ත්ව ( Congenital / Genetic Pathology )

2. අනෙකුත් හේතු ( Acquired causes )

1. උප්පත්තියෙන්ම  දරුවන්ට ඇතිවන රෝග තත්ත්ව :
මේවා ඉතා ඉක්මනින් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය ය. මෙම තත්ත්වයන් ලෙස,

* හෘද  බිත්තියේ ඇතිවන සංකූලතා ( Hypertrophic  Cardiomyopathy )

* කිරීටක ධමනිය පිහිටීමේදී ඇතිවන  අසාමාන්‍යතා ( Congenital coronary artery abnomalies )

* හෘදය  පුරා සංවේදන  පැතිරයාමේ දුර්වලතා
( W.P.W. Syndrome )

* හෘද කපාටවල සංකූලතා ( මාෆාන් රෝගය Mafan syndrome / Mitral valve prolapse)

* අයන පරිවහනයේදී ඇතිවන  සංකූලතා ( Long QT Syndrome , Brugada Syndrome )

2. අනෙකුත් හේතූන්

  * හෘද බිත්තිය ආසාදනයට ලක්වීම ( Viral Mayo carditis )

* ශරීරය තුළ පොටෑසියම් (  K+) අඩුවීම හෝ වැඩිවීම

* අධික උණුසුම

*අධික සීතල

* හෘදයට පිටතින් සිදුවන අනතුරු (Commotio cordis)

           මීට වසර ගණනකට  ඉහත දී මෙලෙස ක්‍රීඩා කිරීම් අතරතුර මියගිය  දරුවන්  සිව් දෙනෙකු  අතරින් දෙදෙනෙකු හෘද  බිත්ති ආසාදනයට ලක්වීමෙනුත්, තවත් දෙදෙනෙකු උප්පත්තියෙන් ඇතිවුණු හෘද රෝග නිසාත් මියගොස්  ඇති බව පශ්චාත්  මරණ පරීක්ෂණවලදී සනාථ විය.
වර්තමාන දරුවන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන විට එය අතීතයට වඩා සංසන්දනාත්මකව දුර්වල තත්ත්වයක පවතින බව පිළිගැනීමට සිදුවේ. ළමයින්ගේ  ජීවන රටාව වෙනස් වීම, ආහාර පුරුදුවල පවතින දුර්වලතා සහ මේ සියල්ලටම වඩා අප රටේ වේගයෙන් ඉහළ යන ආර්ථික උද්ධමනය හමුවේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබා දීමට  බොහෝ දෙමව්පියන්ට හැකියාවක්  නොමැති වීම වැනි ගැටලු  මේ සඳහා හේතු වේ.  මේ නිසාම අද කාලයේ දරුවන්ට දරා ගැනීමේ හැකියාව ද අඩු මට්ටමකට පහළ බැස ඇත. කිසියම්  වැඩ කටයුත්තක   නිරතවීමේ දී  ඉතා සුළු  කාලයක් තුළදී ම අධික මහන්සියක් දැනීම සහ අලස බව දැනීම, ක්‍රියාශීලී බවෙහි අඩුවක් දැනීම මේ අතර ප්‍රධාන වේ.⁣ එසේම ඉතා ඉක්මනින් ලෙඩ රෝගවලට ගොදුරු වීමට තිබෙන හැකියාව ද අද කාලයේ දරුවන් තුළ දැකිය හැකි සුලබ තත්වයකි.
ක්‍රීඩා කරන දරුවන් අනිවාර්යයෙන්ම පූර්ව ක්‍රීඩා යෝග්‍යතා සහතිකයක් ලබා ගත යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියෙන් දැන ගැනීමට පුළුවන.
මෙම ක්‍රියාවලියේ දී පළමුවෙන්ම ක්‍රීඩකයා  විශේෂ පෝරමයක්  පිරවිය යුතුය. ක්‍රීඩකයා වයස 16ට අඩු දරුවකු නම් එම පෝරමය දෙමාපියන් විසින් සම්පූර්ණ කළ යුතුවේ. මෙම පෝරමය ඉහත සඳහන් කළ වෙබ්  අඩවියෙන් ද ලබාගත හැකිය. එහි ඇති කරුණු සලකා බලා අදාළ  පරීක්ෂණවලට ක්‍රීඩකයා ලක් කළ යුතුය. එහිදී පපුව, පෙනහළු හා රුධිර පීඩනයද මැන බැලීම සිදු කෙරේ. ඊට අමතරව  ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වන සියලුම  සිසුන්  ඊ.සී.ජී. පරීක්ෂණවලට ලක් කරන අතර අවශ්‍ය වුවහොත් හා සැක සහිත ළමුන් තවදුරටත් එකෝ පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත.
මැරතන් තරග පැවැත්වීමේ දී උදෑසන 7 වන විට  ඒවා ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු කළ යුතුය.  එමගින් අධික උණුසුම නිසා ඇතිවන Heat syncope නම් තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය. එසේම දරුවන්  මැරතන් තරගවලට  සහභාගි වීමට පෙර ඒ සඳහා නියමිත කාලයක් තුළ  මනා පුහුණුවක් ලබා සිටිය යුතුවේ.  එකවර වැඩි දුරක් නොගොස් ටිකෙන් ටික දුර ප්‍රමාණය  වැඩි කිරීම සාර්ථක පුහුණු ක්‍රමයකි. ආසාවට හෝ දීර්ඝ දුර ධාවනය කිරීම වහා නතර කළ යුතුය.
සියලුම දෙමාපියන් තමන්ගේ දරුවන් ක්‍රීඩා තරඟ වලට යොමු කිරීමට පෙර ක්‍රීඩා වෛද්‍යවරයකු ලවා නිවැරදි වෛද්‍ය  පරීක්ෂණයක් සිදු කර ගැනීම බෙහෙවින් වැදගත් වේ. තමන්ගේ දරුවාගේ සෞඛ්‍ය තත්වයේ ගැටලු ඇත්නම්  ක්‍රීඩා තරගවලට  සහභාගි වීම සඳහා  අවසර නොදී සිටීම  වඩාත්ම සුදුසු තීරණය බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

උපදෙස්
ක්‍රීඩා වෛද්‍ය
සංඛ තෙබුවනආරච්චි

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය