කෑම දකිනකොටත් අප්පිරියයි ද?

මේ දවස්වල මට නම් මෙලෝ දෙයක් කන්න බෑ ” යැයි කියන අය අතරේ ඉඳහිට දවසක හෝ ඔබත් සිටිනවා ඇති.
” මගේ ඔළුව පැටලිච්ච නූල් බෝලයක් වගේ . කෑම  ටිකක් වත් කන්න කිසි  පිරියක් නෑ ” මෙසේ කියන අයත් සමාජයේ හිඟ නෑ.
” පහුගිය දවස් ටිකේ මට උණ හැදිලා හිටියා . දැන් නං සනීපයි. ඒත් තවමත් කෑම කන්න බෑ හරිම අප්පිරියයි ” ඔබේ ජීවිතය තුළත්  ඕනෑතරම් මෙවැනි අත්දැකීම් තිබෙන්නට පුළුවන්.
විවිධාකාර වූ ශරීර ආබාධවල රෝග ලක්ෂණයක් ලෙස ආහාර අරුචිය ඇති විය හැකියි.  රෝගයක් නැති වුණත්  සමහරුන් ආහාර ගන්නේ කුසගින්න දැනෙන වෙලාවට පමණයි. වේලාව අවසන් වූ විට ඔවුනට ආහාර ගන්න අමාරු යි. කාර්ය බහුල බව නිසා වෙලාවට ආහාර ගැනීමට නොහැකි වුවහොත්  ඔවුන් බොහෝ විට කුසගින්න ඉවසා ගෙන සිටින අවස්ථා බහුල යි.
තවත් සමහරුන්ට  ආහාර ගැනීමට නියමිත වේලාවක් නෑ .ඔවුන්ගේ ආහාර  වේලාව තමයි කුසගිනි දැනෙන වෙලාව.
මුඛය හරහා  ශරීරය තුළට වැටෙන ආහාර මුලින්ම ගමන් කරන්නේ  ආමාශයට. මෙසේ ආමාශය වෙත ගමන් කළ ආහාර නැවත ඉහළට පැමිණීමක් සිදු වන්නේ නෑ . නමුත් කලාතුරකින් ඇතිවන්නාවූ රෝගී තත්ත්වයක් නිසා , විශේෂයෙන් තරබාරු අයට ආහාර උගුර දක්වා ඉහළට පැමිණීමට  ඉඩක් තිබෙනවා . මෙවැනි  තත්ත්වයදී  ඔවුන් තුළ  ආහාර අරුචියක් නිර්මාණය වෙනවා.
 ආහාර  අප්‍රියතාවය ඇති වන තවත් හේතුවක් වන්නේ සමහර ඖෂධ වර්ග යි.
 උණ සහ වමනය ඇති කරවන විවිධ රෝග නිසා ද හිටි වනම ආහාර අරුචිය ඇති වන්න පුළුවන්  .
සමහරුන් තුළ කල්ගත වූ ආහාර අරුචිය පවතිනවා . එය බොහෝ විට ම විවිධ නිදන්ගත රෝග වල ලක්ෂණයක් . මෙවැනි තත්වයක් තේරුම්ගෙන වෛද්‍යවරයෙක් වෙත යොමු විය  යුතුයි.  වෙනත් විවිධාකාර වූ රෝගවල රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසුවන එම රෝගියාට  කුමන රෝගයක් නිසා ආහාර අරුචිය සිදුවී ඇතිදැයි වටහා ගැනීම අපහසු වන්නේ නෑ . මෙලෙස ආහාර අරුචියට හේතු වන යම් බරපතළ රෝගයක්  හඳුනාගැනීම  ප්‍රමාද කිරීමෙන් එම රෝගය ‍ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වීමට ද බැරිකමක් නෑ. එහි අරුත  නම් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන තැනට රැගෙන ඒමයි.
ආහාර අරුචිය  සමඟ ඇඟ කෙට්ටු වීම විවිධාකාරවූ තවත් නිදන්ගත රෝගයක් පෙන්නුම් කරන්නක් . මෙයට හේතුව ක්ෂය රෝගය වැනි විෂබීජ ආසාදන තත්ත්වයක් වෙන්නටත් පුළුවන් .
මෙවැනි රෝග නිට්ටාවටම සුව කළ හැකියි .
ශරීරයේ විවිධ  ස්ථානවල හටගන්නා පිළිකාවල දී ද ආහාර අරුචිය ඇති වෙනවා  . උදාහරණයක් ලෙස ආහාර මාර්ගය ආශ්‍රිත ස්ථානයක් වන ආමාශයේ පිළිකාව දක්වන්න පුලුවන් .  මෙහිදී ඉතාමත් තදබල  ලෙස ආහාර අරුචිය ඇති වන්නේ කිසිදු  ආහාරයක් දිහා බලන්නටවත් නො සිතෙන අන්දමේ අරුචියක් ඇති කරවමිනුයි . මෙවැනි පිළිකාවල නිතර ඇතිවන වමනය, සමහර විට වමනය සමග ලේ පිටවීම, අසූචි කළු පැහැයට පිටවීම හෝ අසූචි සමග ලේ පිටවීම වැනි ලක්ෂණ ද ඇතැම් අවස්ථාවල දී  හටගන්න පුළුවන් .
තවත් නිදන්ගත රෝගයක් වන්නේ වකුගඩු අකර්මණ්‍ය වීමයි. මෙහිදී ශරීරය විසින් ඉවත් කළ යුතු විවිධ දේවල් ශරීරය තුළම  රැඳී පැවතීමේ  හේතුවෙන්  ආහාර අරුචිය ඇති වෙනවා. රුධිර පරීක්ෂණ  සිදු කිරීමෙන් මෙවැනි වෙනස්කම්  වෛද්‍යවරුන්ට  හඳුනාගැනීමට අපහසු වන්නේ නෑ. ස්කෑන් පරීක්ෂණයකින් ද වකුගඩුවල තත්ත්වය තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා.
කාර්යබහුල ජීවිතය තුළ  මෙවැනි රෝග ලක්ෂණ සුළුවෙන් සිතා කොතෙක් කල් යටපත් කරගෙන සිටියත් ‍ක්‍රමයෙන් රෝගය උත්සන්න වන විට  තවදුරටත් එය යටපත් වී පවතින්නේ නෑ.  යම් කිසි මොහොතක , අප කිසිසේත් බලාපොරොත්තු නොවෙන අවස්ථාවක  රෝගය සියල්ලටම ඉහළින් නැගී සිටිනු ඇති . ඒ වන විට  රෝගය ඔඩු දුවා  හමාර වී තිබෙන්නටත් පුළුවන් .ශරීරයේ හැටි එහෙමයි. ශරීරය  අප කියන කිසිවක් අහන්නේ නෑ . අපට තිබෙන  ප්‍රශ්න, වගකීම්, කරන්න තියෙන දේවල්, බලාපොරොත්තු ඒවා කිසිවක්  ශරීරයට අදාළත් නෑ . ශරීරය යනු  සොබාදහමේ තවත් නිර්මාණයක් පමණයි. ශරීරය සිදු කරන්නේ  ශරීරයට අවශ්‍ය  දෙයයි.
එනිසා අප මැනවින්  අවබෝධ කරගත යුතු දෙයක් තිබෙනවා. එනම් අප මුදල්  උපයන්නේ, රැකියාව කරන්නේ , ගෙවල් දොරවල් වල වගකීම් ඉටු කරන්නේ, මේ සියල්ලම කරන්නේ  අපේ ශරීරයට දෙපයින් සිට ගන්නත්, ඇස් දෙක ඇරගෙන තියා ගන්නත්  ඉඩ  ලැබෙන තුරු පමණයි  .  ඒ නිසා නොසිතූ මොහොතක කඩාගෙන  වැටෙන්නට ඉඩක තිබෙන  මේ ශරීරය හොඳ තත්වයක පවතින්නේ ද යන්න සොයා  බලන එක අපේ වගකීමයි. නැත්නම් අවසානයේ සිදුවන්නේ ” වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ ” යැයි පවසමින් අප, අපවම  රවටා ගැනීමක් පමණයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා
විනිවිද සායනය