27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 සැප්තැම්බර් මස 25 වන දින සිට ඔක්තෝබර් 05 වැනිදා දක්වා දින දහයක් පුරා පෙ.ව.9.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන තුන්වන දකුණු ආසියානු පොත් ප්‍රදර්ශනය ද සැප්. 25 සිට සැප්. 29 දක්වා එම පරිශ්‍රයේදීම පැවැත්වීමට ද නියමිතය. එම ප්‍රදර්ශනය 2023 වසරේ ආරම්භ වී ඇති අතර එහි පළමු හා දෙවැනි ප්‍රදර්ශන ද්විත්වය නේපාලයේදී පැවැත්වූ අතර නේපාලයෙන් පිටත පැවැත්වන පළමු ප්‍රදර්ශනය වේ. මෙම දකුණු ආසියානු පොත් ප්‍රදර්ශනය සඳහා රටවල් 11ක විදේශ ප්‍රකාශකයින් 25 දෙනකු ද සහභාගි වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් මෙම පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් සිසුන්ට, පූජ්‍ය පක්‍ෂයට, විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලයේ ඇතුල්වීමේ පහසුකම් සලසා ඇති අතර, මෙවර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා නිවසේ සිටම ඇතුළුවීමේ ප්‍රවේශපත් හා ලියාපදිංචි වීමේ පහසුකම් සලසා තිබේ. එමෙන්ම ප්‍රදර්ශන භූමියේදී ඇතුළුවීමේ ප්‍රවේශපත් මිලදී ගැනීමේ හැකියාව පවතින අතර එම ස්ථාන දෙකට අමතරව තවත් ස්ථාන හතරකදී ප්‍රවේශපත් මිලදීගැනීමේ අවස්ථාව ද මෙවර සලසා ඇත. එහිදී එක් දිනකට වලංගු ප්‍රවේශපත්‍රයක් හා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දින දහය කාලසීමාවටම වලංගු වන ලෙස විශේෂ වට්ටමක් යටතේ ප්‍රවේශපත්‍ර ලබාදීමට ද සංවිධායක මඩුල්ල කටයුතු කොට තිබේ.
එම සියලුම ප්‍රවේශපත් ආදායම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් සිදුකෙරෙන ‘දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදලට’ බැර කිරීමට කටයුතු යොදා තිබේ. එමගින් ලංකාවේ අධ්‍යාපනයට දක්‍ෂ අඩුආදායම් ලාභී දුවා දරුවන්ගේ ශිෂ්‍යත්වයන් ප්‍රදානය කෙරේ. ඊට අමතරව ලංකාවේ සියලුම පාසල්වල පුස්තකාල සංවර්ධනය කිරීම සඳහා ද එම මුදල් වෙන් කිරීමට නියමිතයි.