චාල්ස් රජුට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බැව් පසුගිය දා බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එය බ්‍රිතාන්‍ය වැසියන් ඇතුළු බොහෝ දෙනෙකු තුළ මහත් කම්පනයක් ඇති කළ පුවතක් වූවාට සැකයක් නැත.

මෙම පිළිකාවෙහි ස්වභාවය පිලිබඳව වැඩි විස්තරයක් ඉහත කී නිවේදනයේ සඳහන් නොවේ. කෙසේ නමුත් වෛද්‍යවරුන්ට පිළිකාව හඳුනා ගන්නට ලැබී තිබුණේ චාල්ස් රජු වෙනත් ආබාධයක්, එනම් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමුමක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ අවස්ථාවේ ය. ඔහු මේ සඳහා රෝහල්ගත වූයේ පසුගිය මාසයේ 26 වැනි දින යි. දින තුනක් ඔහු රෝහලේ රැඳී සිටියේය.

කෙසේ හෝ වේවා, චාල්ස් රජුට වැළඳී ඇත්තේ ප්‍රොස්ටේට් පිළිකාවක් නොවන බව බකිංහැම් මාළිගය නිකුත් කළ නිවේදනයේ විශේෂයෙන් සඳහන් කර තිබේ. නමුත් පිළිකාව ඇති වී තිබෙන ස්ථානය ගැන කිසිවක් එහි සඳහන්ව නැත.

මේ වනවිට රජු පිළිකාව සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බව ද වාර්තා වේ. ඔහු ප්‍රතිකාර ගන්නේ කවර රෝහලෙන් ද යන්න ද ප්‍රකාශයට පත් කර තිබුණේ නැත. නමුත් ඔහු රෝහලේ නේවාසිකව නතර වී නොසිටින බවත්, බාහිර රෝගියකු ලෙස ප්‍රතිකාර ගනු ඇති බවත් මාළිගය සඳහන් කර තිබිණි.

තමාගේ රෝගය සම්බන්ධයෙන් චාල්ස් රජු පෞද්ගලිකවම ඔහුගේ පවුලේ උදවිය වෙත දැනුම් දුන් බව ද වාර්තා විය. රජ පවුල සමග කලෙක සිට ගැටුම් ඇති කරගෙන සිටින හැරී කුමරුට ද ඔහු කතා කර තිබිණි. සිය පියාගේ අසනීපය ගැන දැනගත් හැරී කුමරු පසුව දා ම ඇමරිකාවේ සිට එංගලන්තය බලා පැමිණියේ ය. නමුත් ඔහුගේ බිරිඳ මෙගන් ඔහු සමග පැමිණියේ නැත.

හැරී පැමිණි දවසේ පියාත් පුතාත් අතර හමුවක් චාල්ස් රජුගේ ලන්ඩන් නිවස වන ක්ලැරන්ස් මන්දිරයේ දී සිදු විය. විනාඩි 45 ක පමණ කාලයක් ඔවුන් කතාබහ කරමින් සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි. චාල්ස් රජු සහ හැරී කුමරු අතර සමීප හමුවක් සිදුව තිබුණේ වසර එකහමාරකට පමණ පසුව යි. රජුගේ අසනීප තත්ත්වය නිසා හැරී සහ රජ පවුල අතර පැවැති විරසකයන් ද යම් පමණකින් සමනය විය හැකි බවක් ද ඇතැම් නිරික්‍ෂකයෝ සඳහන් කරති. කෙසේ නමුත් හැරී සහ විලියම් කුමරුවන් අතර හමුවක් සිදු නොවූ බව ද සඳහන් විය. හැරී කුමරු සහ විලියම් කුමරු අතර ඇති ආතතිය පසුගිය කාලයේ මාධ්‍ය තුළ ද ප්‍රධාන මාතෘකාවක් වූ බව රහසක් නොවේ.

සිය පියා සමග පැවැති හමුවෙන් පැය කිහිපයකට පසු හැරී කුමරු නැවත ඇමරිකාව බලා නික්ම ගොස් තිබිණි.

මේ වනවිට විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය ද පසුවන්නේ දැඩි ලෙස රෝගාතුරව ය. මෙයට සති කිහිපයකට පෙර ඇය ද රෝහල් ගත කෙරුණු අතර ඇයගේ උදරයේ බරපතල ශල්‍යකර්මයකට මුහුණ දුන්නාය. මෙම සැත්කම කළේ කුමන හේතුවක් නිසා ද යන්න ප්‍රසිද්ධ කෙරුණේ නැත. නමුත් විලියම්-කේට් දෙදෙනාගේ නිල නිවස වන කෙන්සිංටන් මාළිගය නිකුත් කළ නිවේදනයකින් පැවසුණේ එය පිළිකාවක් සම්බන්ධ සැත්කමක් නොවන බවයි. මේ වනවිට කේට් කුමරිය වින්ඩ්සර් මාළිග පරිශ්‍රයේ පිහිටි ඔවුන්ගේ පෞද්ගලික මන්දිරයේ විවේක සුවයෙන් පසුවන අතර මාස දෙක තුනක් පමණ ඇයට විවේක ගැනීමට සිදුවනු ඇති බව සඳහන් වේ. මෙතරම් කාලයක් විවේක ගැනීමට සිදුවීම ද කේට් ගේ ශල්‍යකර්මයේ බරපතල බව පිලිබඳ සාක්‍ෂියක් බවට අදහස් පළ වී තිබිණි.

රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුම මේ ආකාරයෙන් රෝගාතුර වීමත් සමග ඔවුන්ගේ නිල කටයුතු සම්බන්ධයෙන් කිසියම් අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබිණි. චාල්ස් රජු සහ කේට් කුමරිය ඔවුන්ගේ අසනීප තත්ත්වයන් නිසා සිය නිල කටයුතුවලින් ඉවත් වූ අතර විලියම් කුමරු ද ටික දිනකට ඔහුගේ නිල කටයුතුවලින් ඉවත් වූයේය. ඒ සිය බිරිඳ සහ දරුවන් සමග රැඳී සිටින්නට අවශ්‍ය වූ නිසා ය. කෙසේ නමුත් මේ වනවිට විලියම් කුමරු නැවත සිය නිල කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. මතු වී ඇති තත්ත්වය තුළ චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා බිසව මත ද විශාල වගකීම් ප්‍රමාණයක් පැටවෙනු ඇත.

මේ වනවිට 75 වැනි වියෙහි පසුවන චාල්ස් රජු කෙතරම් කාලයක් නිල කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇත් ද යන්න සඳහන් නොවේ. වඩාත් වෙහෙසකර කටයුතුවල නිරත නොවුණත් රජු සිය මන්දිරයේ සිට ඉටු කළ හැකි ලියකියවිලිවල කටයුතු ආදිය ඉටු කරනු ඇති බව ද සඳහන් විය. රජු සහ බ්‍රිතාන්‍ය  අගමැතිවරයා අතර සෑම සතියකම සිදු වන හමුව ද අඛණ්ඩව සිදුවනු ඇත. නමුත් මේ සතියේ එම සාකච්ඡාව සිදුවනු ඇත්තේ දුරකතනය ඔස්සේ බව අගමැති රිෂි සුනාක්ගේ කාර්යාලය සඳහන් කර තිබිණි.

චාල්ස් රජු ඉතා ධනාත්මක මානසිකත්වයකින් පසුවන බවත්, හැකි ඉක්මනින් සිය නිල කටයුතු සුපුරුදු ආකාරයෙන් ආරම්භ කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනු දැකිය හැකි විය. චාල්ස් රජුගේ පිළිකාව එහි මුල් අවධිවේදී ම හඳුනා ගැනීමට හැකි වී තිබීම සතුටුදායක කාරණයක් බැව් බ්‍රිතාන්‍ය  අගමැතිවරයා පවසා තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර