ජනපති-නීතිඥ සංගම් හමුවේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්

පසුගිය අගෝස්තු 12 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සහ ශ්‍රව්‍ය පටිගත කිරීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් යොමු කර තිබේ.නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව අගෝස්තු 14 වනදා මෙම ලිපිය යොමු කර ඇති අතර, අදාළ සාකච්ඡාවේ කිසිදු සංස්කරණයකට ලක් නොකළ සම්පූර්ණ වීඩියෝ සහ ශ්‍රව්‍ය පටිගත කිරීම් හැකි ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් තමන් වෙත ලබාදෙන ලෙස එහි සඳහන් කර ඇත.තමන් වෙත මේ වන විට ලැබී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක අදියරට අදාළ කොටසක් පමණක් බව පෙන්වා දෙන නීතිඥ සංගමය, එම පටිගත කිරීම සම්පූර්ණ නොවන බවත් ඇතැම් ස්ථානවල ශබ්ද තත්ත්වය පැහැදිලි නොවන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.එබැවින් එම සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම්, දෙපාර්ශ්වයේම නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් දැක්වීම් ද ඇතුළත් සම්පූර්ණ පටිගත කිරීම සංගමය වෙත ලබාදෙන ලෙස සුරානි සමරසේකර මහත්මිය අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කාලීන පුවත්