ජා ඇල අද්දර සොබා සිරිය සපිරි විල් පොකුණු පාරාදීසය

නාගරික පරිසරයන් තුළ ස්වාභාවික සෞන්දර්ය විරලය යන පුවත අර්ධ සත්‍යයකි.ඒ බව තහවුරු කෙරෙන විවිධ සාධක අපට නොයෙක් වර හමුවී තිබේ.මේ අප රටේ බස්නාහිර පළාතට අයත් නාගරික කලාපයක් වන ජා ඇල ප්‍රදේශයෙන් ඒ සඳහා ගොනු කර ගත හැකි කදිම නිදසුනකි. ‘විල’ යන භූ ලක්ෂණය සහිත ග්‍රාම නාම සැලකිය යුතු ප්‍රමාණයක් අප රටේ තිබේ. ලුනුවිල, මාරවිල, දුනුවිල, ඒ සඳහා නිදසුන් කිහිපයකි. එහෙත් අප දන්නා තරමින් එලෙස ‘විල’ යන වදන සහිත ග්‍රාම නාම ගම්පහ දිසාව තුළ ඇත්තේම නැති තරම්ය. නමුදු රන්වන් හංසයන් ජීවත් වූ විලක් බව පැවසෙන ‘රණහංසවිල’ නම් ප්‍රදේශයක් තවමත් ගම්පහ දිසාව තුළ තිබෙන බව ඔබ දන්නවාද? එහෙත් එහි වඩාත් විස්මයට කරුණ එය නොවේ. එම අපූරු ‘රණහංසවිල’ නම් ප්‍රදේශය පිහිටා ඇත්තේ පසුගිය ‘කොරෝනා වසංගතය’ මුල් කොට ප්‍රසිද්ධියට පත් ජාඇල ‘සුදුවැල්ල’ ප්‍රදේශය ආශ්‍රිතව වීම ය.

සාමාන්‍යයෙන් මෑතක සිට ව්‍යාප්ත වන ඉඩම් වෙන්දේසිකරණයේදී යම් යම් ප්‍රදේශ හැඳින් වූ පැරණි නම් වෙනුවට ජන මන පිනවන අළුත් නම් යෙදීමට වෙන්දේසි අලෙවිකරුවෝ පෙළඹෙති. ගම්පහ දිස්ත්‍රික්කයේම කනත්තේවත්ත නමින් හඳුන්වනු ලැබූ පැරණි ඉඩමක් මිලට ගෙන වෙන්දේසියේ දැමූ වෙන්දේසිකරුවන් එම නමේ ඇති ‘මූසලකම’ ඉවත් වන පරිදි කනත්තේවත්ත යන්න “කසුන් පුරය” ලෙස නම් කරන ලදී. මා දන්නා තරමින් මේ වන විට එහි සියළු බිම් කොටස් විකිණී හමාර ය. එහෙත් අද අප මේ කියන ‘රණහංසවිල’ එසේ වෙන්දේසිකරුවන් විසින් යෙදූ ආරූඪ නමක් ද නොවේ.

සාමාන්‍යයෙන් බොහෝ ගම් වලට නම් යෙදෙනුයේ සාම්ප්‍රදායික ගැමි වහරට අනුව ය. එහෙත් රණහංස යන නම ව්‍යක්ත, සම්භාවිත වහරක් මිස ගැමි වහරක් නොවේ. ඒ අනුව සුදුවැල්ල ආශ්‍රිත මෙම ප්‍රදේශයට ඒ නම කවුරුන් විසින් කවදා, කුමන කරුණක් මුල් කොට යොදන ලද්දක් දැයි වෙනම සොයා බැලිය යුතු ය. සමහරවිට එහි දුරාතීතයේ යම් යුගයක සිදු වූ ඉතා වැදගත් රහසක් සැඟව තිබිය හැකිය.

දුරාතීතයේ මුහුද ගොඩගැලීමක් නිසා යම් කාලයක් තුළ මුහුදින් යට වූ ප්‍රදේශයක් සේ සැලකෙන කැලණි නදියටත්, මීගමු කලපුවටත් නැගෙනහිරින් සහ කොළඹ මීගමුව ප්‍රධාන පාරට බටහිරින් මුතුරාජවෙල වෙල්යාය හා සැබැඳි මෙම ප්‍රදේශයේ ‘වැලි’ යන ග්‍රාම නාම සහිත ප්‍රදේශ බොහොමයකි. ඒ සෑම ප්‍රදේශයකම ‘පිහිටි පොළොවට’ ඉහළින් සුවිසල් වැලි තට්ටුවක් ඇති අතර ඒ වැලි බිම කැනීමේ දී මුහුදු බෙල්ලන් ආදී සමුද්‍ර ජීවීන් ගේ පැරණි නෂ්ටාවශේෂ ද මතු කර ගත හැක. එම ප්‍රදේශවල පැරණි ගැමියන් පවසන අන්දමට ජාඇල, සුදුවැල්ල සහ රණහංසවිල ප්‍රදේශ ආශ්‍රිතව පස්පියුමින් සුසැදි විල් සහ පොකුණු සැලකිය යුතු ප්‍රමාණයක් තිබී ඇත. වත්මන් සුදුවැල්ලේ ඇති සුදුවැලි පොකුණ ඊට සජීවී නිදසුනකි.

මුහුදුකරයේ පිහිටි ඇතැම් ජලාශ්‍රිත පරිසරයන් වඩදිය බාදිය වශයෙන් හඳුන්වනු ලබන සාමුද්‍රීය බලපෑමට ලක් වුවද ජාඇල, තුඩැල්ල, දෑලතුර ආදී ප්‍රදේශවල එවන් සාමුද්‍රීය බලපෑමට ලක් නොවූ මිරිදිය විල් පොකුණු රැසක් තිබූ බවත් එම ප්‍රදේශ අද මෙන් ජනාකීර්ණණ නොවීම මත මීට වසර තිහ හතලිහක් දක්වාම ඒවායේ සැබෑ සුන්දරත්වය සිත් සේ විඳගත හැකි වූ බවත් එහි පැරණි ගැමියෝ කියති. එම ප්‍රදේශවල වෙසෙන මුල් පදිංචිකරුවන් ගෙන් කාට වුව එම විස්තර අසා දැනගත හැක.

ජාඇල තුඩැල්ලෙන් වමට හැරෙන පමුණුගම පාර ඔස්සේ තරමක් දුරගිය විට හමුවන දෑලතුර කතෝලික සුසාන භූමියට මඳක් ඔබ්බෙන් වමට හැරෙන පාර අදත් හැඳින්වෙනුයේ ‘නෙළුම් විල පාර’ යනුවෙනි. රත් නෙළුම් සිය දහස් ගණනක් දැකිය හැකිව තිබූ ඒ නෙළුම් විල අද අතුරුදන්ව ඇත්තේ පාරට පමණක් එම නම ශේෂ කරමිනි. මේ නෙළුම් විල පාර ඔස්සේ ද සුදුවැල්ල ප්‍රදේශයට පැමිණිය හැක. ඊට අමතරව දෑලතුර කතෝලික සුසාන භූමිය ඉදිරිපිට පාරෙන් මීටර් දෙසීයක් පමණ යන විට වර්තමානයේ දැකිය හැකි ‘පතහ’ නමින් හඳුන්වන මිරිදිය ජලාශය ද අතීතයේ එහි වැසියන් දිය නෑම සඳහා යොදා ගත් නිල්වන් දියවරකින් යුතු මිරිදිය ජලාශයකි. එහෙත් ගමින් ගමට නිවසින් නිවසට නල ජල පහසුකම් ලැබීම මත අද වන විට ඒ පැරණි දිය නාන පොකුණ ජරාවාස වෙමින් තිබේ. එහෙත් අතීතයේ ඒ පොකුණේ ජලය මුව සේදීමට පවා සුදුසු තත්වයක තිබූ බව පැරණි ගැමියෝ කියති. රණහංසවිලට ඒ සොඳුරු නම ලබා දුන් එනමින් යුතු ජලාශය ද අද දක්නට නැත. එහෙත් අතීතයේ එනමින් යුතු ජලාශයක් තිබූ බවට අනුමාන කෙරෙන වගුරුබිම් කිහිපයක් තවමත් එහි දක්නට ලැබේ. එමෙන්ම අද වන විට ඕලන්ද ඇල නමින් හඳුන්වන මුතුරාජවෙල බටහිර මායිමෙන් ගලා බසින පැරණි ඇල මාර්ගය කැපීමට ඒ සමයේ අප රටේ විවිධ ප්‍රදේශවලින් පවුල් පිටින් පැමිණි කම්කරුවන් පසුව එවක වගුරුබිමක්ව තිබූ දෑලතුර ප්‍රදේශයේ පදිංචි වූ බව කියනු ලැබේ. එම ජනාවාස තැනීම සඳහා මීගමු කලපු ඉහත්තාවේ දඬුගම් ඔයේ මෝය ප්‍රදේශයෙන් ඔරු පාරු මගින් ගෙනා පස් ටොන් ගණනක් යොදා දෑලතුර ගම්මානය තනාගත් බවට ද කතා පැතිර තිබේ.

මෙසේ පැමිණි ඇතැම් කම්කරුවන් සමඟ ඕලන්ද යටත් විජිත සමයේ මෙරටට ගෙනා ඉන්දියානුවන් ද සිටි බව ඇතැමෙක් කියති. ඒ කෙසේ වෙතත් අතීතයේ දෑලතුර ආදී ප්‍රදේශ ගොඩකිරීම සඳහා පස් ටොන් දහස් ගණනක් ඉවත් කර ගත් බව පැවසෙන ප්‍රදේශය අද ද “මැටිවල බොක්ක” නමින් හැඳින්වේ. ඊට හේතුව එසේ මහා පරිමාණයෙන් පස් කැපීම හේතුවෙන් මීගමු කලපු ඉහත්තාවේ කෘත්‍රිම බොක්කක් නිර්මාණය වී තිබීම නිසා ය. දෑලතුර ගැමියන්ගේ අතීත ජනවහර අතරේ ඔවුන්ටම ආවේණික අන් අයට නොවැටහෙන උප භාෂාවක් හා වදන් තිබූ බවට තොරතුරු ඇතත් වත්මන් නාගරීකරණය මත පදනම් වූ සමාජ පරිනාමය යටතේ එම උප භාෂාව සහ වදන් අතුරුදන්ව ගොස් ඇතැයි පැරණි ගැමියෝ කියති.

ඒ කෙසේ හෝ ඉකුත් කොරෝනා වසංගත සමයේ සිට හේතු සහිතව හෝ රහිතව නරක නාමයක් හිමිකර ගෙන හිඳින දුප්පත්කම නිසා අසීමිත පීඩනයකට පත් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ජනතාවට නව සංවර්ධන මංපෙතක් හෙළි කරදීම සඳහා අතීතයේ සොඳුරු පරාදීයක්ව පැවැති මෙම විල් හා පොකුණු සහිත ස්වභාවික පාරිසරික පද්ධතිය නැවත අභිරක්ෂණය කිරීමේ හැකියාව පිළිබඳ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානයට යොමු විය යුතු යැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

හරිත දනව්ව