තරුණ පෙළට සමාජමය හදවත් සැත්කමකට කවි බසින් උපදෙස්

අසූව දශකයේ මුල භාගයේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි නවක කවි කිවිඳියන් අතුරින් විශේෂ අනන්‍යතා ලක්ෂණ ප්‍රගුණ කළ කවීන් අතුරින් විපුල හේවා වලිමුනිට හිමි වන්නේ මුල් තැනක්.විපුල කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ එවැනිම ප්‍රතිභා සම්පන්න යොවුන් කිවිඳියක වූ සුනන්දා රණසිංහ හා සම කර්තෘත්වයෙන් ඔවුන්ගේ ප්‍රථම කාව්‍ය කෘතිය වූ ” බුදු නොවෙනා බෝසත්වරු”1982 වසරේ ප්‍රකාශයට පත් කළා පසුව 1987 වසරේ ” පහන් දොර”කාව්‍ය කෘතියත් ඉන් පසුව ” කටු යහන” යන පද්‍ය කෘතියත් සුනන්දා රණසිංහ සමග සම කර්තෘත්වයෙන් පළ කළ විපුල මේ වන විට” ජීවිතය” නමින් කෙටිකතා එකතුවක් ද පළකර තිබෙනවා ඒ වගේම දිගු නිහැඬියාවකට පසුව 2021 වසරේ දී ” වීණා” නමින් පද්‍ය සංග්‍රහයක් එළි දැක් වූ විපුල තුළ නූතන ප්‍රබුද්ධ කවීන් තුළ තිබිය යුතු විශේෂ අගැයුම් ලක්ෂණයක් වන සමකාලීන විඥානය නොඅඩුවම පිහිටා ඇති බවට ඔහු පසුගිය දා නිර්මාණය කළ මේ”ශල්‍ය කර්මය”නම් පද්‍ය රචනය කදිම නිදසුනක්.

වත්මන් සමාජයේ තරුණයන්ගෙන් කරන ඉල්ලීමක් ලෙසින් ප්‍රබන්ධය කළ මේ පද්‍ය රචනය තුළින් විපුල නූතන තරුණයන්ට කියාපානුයේ මෙය වත්මන් සමාජ දේහයට වැළඳී ඇති හෘදමය ව්‍යාධියක් සුව කරන හදවත් සැත්කමකට සමාන බවයි.ඒ සමාජමය හෘද සැත්කම සිදු කිරීමට ඔහු දෙන කාව්‍යාත්මක උපදෙස් මඟින් නූතන සමාජ අරගලයේ යෙදෙන තරුණ පෙළට හිමි කර ගත හැකි ජවය හා පන්නරය පිළිබඳව සිතා අපි මෙවර ඒ පැදි පෙළ”Wall එක”ට එක් කරගන්නවා.විපුල හේවා වලිමුනි වෘත්තියෙන් ජාතික ප්‍රවාහන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ වරයෙක්.

ශල්‍ය කර්මය

මේ තරුණ නුඹලාගේ වාරයයි
පැද්දෙන්නට නොදී අල්ලාගනිල්ලා තදින්
ඔරලෝසු බට්ටා
සවි කරපල්ලා
බට්ටා නැතිව වේලාව තිතට දුවන
ඔරලෝසුවක්

මේ ශරීරයේ
මස්, මස් පිඬු,ස්නායු,තන්තු,ඇට,ඇටමිඳුලු
සියල්ලටම ගැළපෙන
ජව බලසම්පන්න තරුණ හෘදය වස්තුවක්
සියලු කපාට මනාව ගැළපෙන
නිරෝගී තරුණ හෘදය වස්තුවක්
සොයා ගනිල්ලා
ඉවත්කර විනාශකර දමල්ලා
හෘදය වස්තුවක් යයි කී
මේ රෝගී විෂබීජ ගබඩාව
වායු ගෝලයට විෂබීජ මුහු කරන්නට පෙරාතුව
බද්ධ කරපල්ලා සොයාගත් තරුණ හදවත

ඒ සැනින් ඉවත්කර දමල්ලා
නහර වැල් පුරා පිරි කුණු ලේ
පොම්ප කරපල්ලා
ජීවය පිරි අලුත් ලේ
ප්‍රේමය පිරි අලුත් ලේ

සෙවිල්ලෙන් සිටිල්ලා නිරන්තර
කොතැන වරදක් මතුවේද
කොතැන කපාටය නොගැළපේද
විසිහතර පැයම අවදියෙන් සිටිල්ලා.

— විපුල හේවා වලිමුනි.

wall එක