තාත්තාගේ අඩි පාරේ නොයන ෂාරුක්ගේ පුත් ආර්යන්ගෙන් අලුත් වැඩක්

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් ද තම පියා මෙන්ම ‘නළු පෙනුම’ ඇති තරුණයකු බව රහසක් නොවෙයි. මේ නිසාම බොලිවුඩ් සිනමා ලෝලීන් බොහෝ දෙනෙකු සිතුවේ ඔහුත් තාත්තා වගේම නළුවකු වනු ඇති බවයි. නමුත් නළුවකු වීමේ වුවමනාවක් ආර්යන් තුළ නොමැති බවක් දැන් කලෙක පටන්ම මාධ්‍ය හරහා කියැවෙනවා. තම පියාගේ දැවැන්ත ප්‍රතිරූපය සමග තරග කිරීම ඔහුට අභියෝගයක් නිසාත්, ඊට ඔහු අකැමැති නිසාත් ආර්යන් මෙවැනි අදහසක සිටිනවා විය හැකි බවයි ඇතැමුන් සිතන්නේ. කරන් ජොහාර් වැනි සුප්‍රකට අධ්‍යක්‍ෂවරුන් පවා ඔහු නළුවකු කිරීමට උත්සාහ කර තිබුණා. නමුත් ඒ කිසිදු උත්සාහයක් සාර්ථක වී තිබුණේ නැහැ.

කෙසේ හෝ වේවා, මේ දිනවල ආර්යන් ගැන අලුත් පුවතක් විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා. එනම් ඔහු වෙනත් අංශයකින් කලා ලෝකයට පිවිස සිටින බවයි. අධ්‍යක්‍ෂවරයකු සහ තිර නාටක රචකයකු ලෙස ඔහු සිය කටයුතු ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ. මේ වනවිට ආර්යන් සිය පළමු නිර්මාණයේ රූපගත කිරීම් ආරම්භ කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.

ආර්යන්ගේ පළමු නිර්මාණය සිනමාපටයක් නම් නොවෙයි. එය කොටස් හයකින් සමන්විත වෙබ් මාලා නාටකයක් (Web Series) . මෙය නම් කර තිබෙන්නේ Stardom යනුවෙන්. සමහර විට මේ නම ඉදිරියේ දී වෙනස් වීමට හැකි බවකුත් පැවසෙනවා. මෙම මාලා නාටකය නෙට්ෆ්ලික්ස් වැනි නාලිකාවක් හරහා විකාශය වනු ඇති බවයි සඳහන් වන්නේ.

මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට Stardom මාලා නාටකයට පසුබිම් වන්නේ බොලිවුඩ් සිනමාවට අදාළ කතාවක්. සිනමා කර්මාන්තය පිටුපස ඇති විවිධ යථාර්ථයන් මෙයින් නිරූපනය වනු ඇති බව පැවසෙනවා. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය සමග බැඳී එන යහපත් අයහපත් කාරණා ආදිය ගැන ද Stardom තුළ සාකච්ඡා වන බව සඳහන්. මෙවැනි කාරණා ෂාරුක් පවුලට එතරම් අලුත් දේවල් නොවෙයි. ඒ නිසා මෙම නිර්මාණය ආර්යන්ට ඉතා හුරුපුරුදු කලාපයක සිදු කරන නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි.

Stardom මාලා නාටකයේ රඟපාන්නේ කව්ද යන්න ගැන තවම නිශ්චිතව සඳහන් වන්නේ නැහැ. සමහර මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ රන්බීර් කපූර් එහි ප්‍රධාන චරිතයක් රඟපාන බවයි. චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් ද මෙහි රඟපාන බවත්, ඔහු රඟපාන්නේ අධ්‍යක්‍ෂවරයකුගේම චරිතයක් බවත් පැවසෙනවා. ෂාරුක් සහ රන්වීර් සිං කෙටි චරිත දෙකකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණෙනු ඇති බවටත් කතාවක් තිබෙනවා.

ආර්යන්ගේ කුළුදුල් නිර්මාණය සමහර විට මේ වසරේ අග භාගයේ පමණ ප්‍රේක්‍ෂකයන්ට දැක ගන්නට හැකි වේවි. 25 වැනි වියෙහි පසුවන මෙම තරුණයා කලා ලෝකයේ තම පළමු අභියෝගය කෙසේ ජයගෙන ඇත්ද යන්න දැන ගැනීමට බොහෝ දෙනෙකු කුතුහලයෙන් පසුවනු ඇති බවට සැකයක් නැහැ. විශේෂයෙන් ෂාරුක් පවා මේ ගැන දැඩි නොසන්සුන් බවකින් යුතුව බලා සිටිනු ඇති.

මේ අතර ආර්යන් පසුගිය මාසයේ වෙළෙඳ දැන්වීමකුත් අධ්‍යක්‍ෂණය කර තිබුණා. එහි ෂාරුක් ද රඟපා තිබූ බවයි පැවසුණේ. මෙම වෙළෙඳ දැන්වීම නිර්මාණය කර තිබුණේ ආර්යන්ගේම වෙළෙඳ ව්‍යාපාරයක් වෙනුවෙනුයි. එය ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක්.

ෂාරුක් සහ ඔහුගේ බිරිඳ ගෞරි ඛාන් දෙදෙනාගේ දියණිය වන සුහානා ද මේ වනවිට නිළියක් ලෙස සිනමාවට එකතු වී අවසන්. 23 හැවිරිදි සුහානා රඟපෑ පළමු සිනමාපටය වන The Archies ළඟදීම තිරගත වීමට නියමිත යි. එය තරුණ තරුණියන් පිරිසකගේ අත්දැකීම් පසුබිම් කරගත් සිනමාපටයක් වන අතර The Archies අධ්‍යක්‍ෂණ කළේ දක්‍ෂ, ජනප්‍රිය අධ්‍යක්‍ෂවරියක වන සෝයා අක්තාර්. මෙය ඇමරිකානු චිත්‍රකතා පෙලක් ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටයක්. බොලිවුඩයේ තවත් ප්‍රධාන සිනමා පවුල් දෙකක තරුණ සාමාජිකයන් දෙදෙනකුත් මෙහි රඟපෑම විශේෂත්වයක්. ඒ ජනප්‍රිය නිළියක වූ ශ්‍රී දේවිගේ බාල දියණිය වන කුෂි කපූර් සහ අමිතාභ් බච්චන්ගේ මුණුපුරෙකු වන අගස්ත්‍යා. කුෂි කපූර්ගේ වැඩිමල් සොහොයුරිය වන ජන්වි කපූර් මේ වනවිටත් ඉතා ජනප්‍රිය නිළියක්.

මේ අතර ෂාරුක් ඛාන් රඟන අලුත් චිත්‍රපට දෙකකුත් මේ වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. ඒ ‘ජවාන්’ සහ ‘දුන්කි’ යන සිනමාපට යි. ඔහු රඟපෑ ‘පතාන්’ චිත්‍රපටය අතිශයින් සාර්ථක වීමෙන් පසු ඉහත කී චිත්‍රපට ද නැරඹීම සඳහා රසික රසිකාවියන් මහත් නොඉවසිල්ලෙන් සිටිනවාට සැකයක් නැහැ. ‘ජවාන්’ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කරන්නේ දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නිළි නයන්තාරා. ‘දුන්කි’ චිත්‍රපටයේ තාප්සි පන්නු ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කරන අතර විකී කෞෂාල් ද එහි ප්‍රධාන චරිතයක් රඟපාන බව සඳහන්.

නිහාල් පීරිස්

රසගඟුල