තුම්පනෙන් යළි එළිදකින සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

“සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ” යන උපහාසාත්මක පිරුළට පාදක වන, අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන් අප සමාජයට හඳුන්වා දෙන ලද සුනඛ දානය අප බෞද්ධ සමාජය තුළ ව්‍යාප්ත කරවීමේ නව පුනර්ජීවන වැඩසටහනක් ඉදිරි පොසොන් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට පැරණි තුම්පනේ පත්තුවට අයත් ගලගෙදර හා හතරලියැද්ද ආශ්‍රිත සමාජ සංවිධාන කිහිපයක් කටයුතු යොදා තිබේ. එහි පවත්නා සමාජ මානවවිද්‍යාත්මක වැදගත්කම මුල් කොට අපගේ පූර්ණ සහාය ද ඊට පළ වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇතැම් ග්‍රාම නාමයන් ශ්‍රවණය වන විට සමාජයීය වශයෙන් විවිධ මනෝ රූප සටහන් වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. ඒ අනුව “තුම්පනේ” යන ග්‍රාම නාමය පිළිබඳව විමසීමේ දී, එය නූගත් අඥාන ගැමියන්ගේ පාරාදීසයකි ය යන උපහාසාත්මක සමාජයීය මනෝ රූපය මේ වන විට ජනසමාජය තුළ දැඩිව ස්ථාපිතව තිබේ. නමුත් ඒ සම්බන්ධ ඓතිහාසික සහ සමාජ මානවවිද්‍යාත්මක මූලයන් ගැඹුරින් විමසා බැලීමේ දී පෙනී යනුයේ, මෙම සමාජයීය දර්පණය වත්මන් බුද්ධ ශාසනික පදනම ශ්‍රී ලාංකික සමාජය තුළ යළි ස්ථාපිත කළ අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන් වෙත උන්වහන්සේ කෙරෙහි නොරිස්සුම් සහගත වූ බාහිර පාර්ශ්වයන් විසින් එල්ල කරන ලද නින්දා අපහාස සහ අවලාද මත පදනම් වූවක් ද බවයි. ඒ අනුව අද ද අප සමාජයේ ප්‍රචලිත “සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ” යන උපහාසාත්මක පිරුළ, උන්වහන්සේ සේම උන්වහන්සේගේ නිජබිම වන තුම්පනේ ප්‍රදේශය ද ඉලක්ක කොටගනිමින් ගෙතූ ප්‍රබන්ධයක් ලෙස පැහැදිලිවම හඳුනාගත හැක.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ එවකට ශාසන භාරකාරීත්වය දැරූවන්ගේ කාමභෝගීත්වය හා නොසැලකිල්ල නිසා අතිශයින්ම පිරිහී තිබූ බුද්ධ ශාසනය සහ උපසම්පදාව යළි පිහිටුවීම සඳහා සිය ජීවිතයම කැප කරමින් සුවිශේෂී ශාසනික පුනරුදයක් ඇති කළහ. උන්වහන්සේගේ මෙම දැඩි සිල්වත් ප්‍රතිපත්තිය සහ ධර්මානුකූල හැසිරීම, එවකට සිටි දුසිරිතෙහි යෙදුණු, වත්පිළිවෙත් නොරැකි, ශාසනය විකෘති කරමින් සිටි “ගණින්නාන්සේලා” නමින් හැඳින්වූ පිරිසගේ බලවත් නොරිස්සුමට, ක්‍රෝධයට හා ඊර්ෂ්‍යාවට හේතු විය. එහි ප්‍රතිඵලයක් ලෙස සංඝරාජ හිමියන්ගේත්, උන්වහන්සේට නිරන්තරයෙන් පක්ෂපාතී වූ සහ උපකාර කළ තුම්පනේ වැසියන්ගේත් සමාජ ප්‍රතිරූපය සන්නිවේදනාත්මක උපාය මාර්ග ඔස්සේ විනාශ කිරීම සඳහා මහනුවර එවකට සිටි රදල ප්‍රභූ පන්තියේ ඇතැම් පිරිස් සහ දූෂිත ගණින්නාන්සේලා එක්ව සූක්ෂ්ම කුමන්ත්‍රණයක් දියත් කළහ.

ඓතිහාසික සාධක පැහැදිලිවම පෙන්වා දෙන්නේ “තුම්පනේ” යනු බුද්ධිමතුන්, වියතුන් සහ දේශප්‍රේමී වීරයන් රැසක් බිහි වූ, කිසිසේත්ම නූගතුන්ගේ ගමක් නොවන බවයි. නමුත් මෙම “බලු කපුටු දානේ” වැනි උපහාසාත්මක කථාන්දර ජනගත කිරීම හරහා, තුම්පනේ වැසියන් යනු කිසිවක් නොදන්නා අඥාන පිරිසක්ය යන ව්‍යාජ මනෝචිත්‍රය සමාජය තුළ සිතාමතාම තහවුරු කරන ලදී. එබැවින් අදටත් සමාජයේ යම් අවුල් සහගත, පිළිවෙළක් සහ පාලනයක් නොමැති, ප්‍රායෝගිකත්වයෙන් තොර කාර්යයක් හැඳින්වීමට “තුම්පනේ බලු කපුටු දානය” යනුවෙන් භාවිත කරනු ලබන්නේ, එදා සංඝරාජ හිමියන්ට සහ උන්වහන්සේගේ ගම්පියසට එරෙහිව දියත් වූ එම නින්දිත අවලාද ව්‍යාපාරයේ ඉතිරි වූ වාග් මාලාවක් ලෙසිනි.

ඓතිහාසික සාධක පැහැදිලිවම පෙන්වා දෙන්නේ “තුම්පනේ” යනු බුද්ධිමතුන්, වියතුන් සහ දේශප්‍රේමී වීරයන් රැසක් බිහි වූ, කිසිසේත්ම නූගතුන්ගේ ගමක් නොවන බවයි. නමුත් මෙම “බලු කපුටු දානේ” වැනි උපහාසාත්මක කථාන්දර ජනගත කිරීම හරහා, තුම්පනේ වැසියන් යනු කිසිවක් නොදන්නා අඥාන පිරිසක්ය යන ව්‍යාජ මනෝචිත්‍රය සමාජය තුළ සිතාමතාම තහවුරු කරන ලදී. එබැවින් අදටත් සමාජයේ යම් අවුල් සහගත, පිළිවෙළක් සහ පාලනයක් නොමැති, ප්‍රායෝගිකත්වයෙන් තොර කාර්යයක් හැඳින්වීමට “තුම්පනේ බලු කපුටු දානය” යනුවෙන් භාවිත කරනු ලබන්නේ, එදා සංඝරාජ හිමියන්ට සහ උන්වහන්සේගේ ගම්පියසට එරෙහිව දියත් වූ එම නින්දිත අවලාද ව්‍යාපාරයේ ඉතිරි වූ වාග් මාලාවක් ලෙසිනි.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ නිජබිම වූයේ තුම්පනේ වැලිවිට වූ අතර, උන්වහන්සේගේ ගිහි නාමය කුලතුංග මුදියන්සේලාගේ පිංචා බණ්ඩා නම් විය. ක්‍රි.ව. 1698 දී උපන් එතුමෝ, වයස අවුරුදු 16 දී (ක්‍රි.ව. 1714 දී) සූරියගොඩ රාජගුරු කිත්සිරිමේවන් විහාරයේදී “වැලිවිට සරණංකර” නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. උන්වහන්සේගේ මුල්ම ගුරුවරයා වූයේ සූරියගොඩ උපනන්ද හිමියන් ය. එකල අප රටේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොසිටි බැවින්, බුද්ධ ශාසනය බෙහෙවින් අන්තරායට පත්ව තිබුණි. ධර්ම ශාස්ත්‍ර ඥානය ද වැනසී ගොස් තිබූ යුගයක සරණංකර හිමියන් ස්වෝත්සාහයෙන් පාලි භාෂාව සහ බුද්ධ ධර්මය හදාරා, ශාසන පුනරුදයක් ඇති කිරීම උදෙසා “සිල්වත් සමාගම” නමින් සිල්වත් මහණුන් කණ්ඩායමක් පිහිටුවා ගත්හ. ඉන්පසු උන්වහන්සේ මුළු දිවයින පුරාම ප්‍රසිද්ධ වූයේ “අසරණ සරණ සරණංකර” යන නාමයෙනි. ඒ උන්වහන්සේ තුළ පැවති අසීමාන්තික කරුණා මෛත්‍රී ගුණය නිසාමය. එය බෞද්ධ ඉගැන්වීම් අනුව මිනිසුන්ට සේම සතුන්ට ද එක සේ බලාත්මක විය.

එවකට අප සමාජයෙන් ගිලිහී තිබූ භික්ෂු උපසම්පදාව නැවත ලබාගැනීම සඳහා උන්වහන්සේ එවකට රජ කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ සහාය ඇතිව, ලන්දේසි නැව් මඟින් සියම් (වත්මන් තායිලන්තය) දේශයට දූත පිරිස් යැවූහ. මුල් අවස්ථා දෙකේදී කෙසේ වුවත්, තෙවන වරට දැරූ උත්සාහය සාර්ථක වෙමින්, ක්‍රි.ව. 1753 දී සියම් දේශයෙන් උපාලි මහා ස්ථවිරයන් ප්‍රමුඛ මහා සංඝරත්නය ලංකාවට වැඩම කළහ. එවකට මහනුවර පුෂ්පාරාමය නමින් හැඳින්වුණු මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී වැලිවිට සරණංකර හිමියන් ඇතුළු පිරිස උපසම්පදාව ලැබූහ. මෙයින් සියම් මහා නිකාය ආරම්භ විය. ලංකා ශාසන ඉතිහාසයට සිදුකළ අනුපමේය මෙහෙවර අගය කරමින්, එවක රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව. 1753 දී උන්වහන්සේ ලංකාවේ “සංඝරාජ” පදවියට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අවසන් වරට සංඝරාජ පදවිය ඉසුලුවේ උන්වහන්සේ ය.

නමුත් සංඝරාජ පදවියට පත්වීමෙන් පසුව පවා සිය අල්පේච්ඡ ශ්‍රමණ ප්‍රතිපදාවන් අත් නොහළ උන්වහන්සේ, පිණ්ඩපාතයේ යෙදෙන අතරතුර මඟතොටදී හමුවන සාගින්නෙන් පෙළෙන සුනඛ, කාක ආදී සතුන්ට තම පිණ්ඩපාතයෙන් පවා කොටසක් වෙන් කළ බව ප්‍රකට කරුණකි. එහෙත් උන්වහන්සේගේ මෙම සුනඛ දාන පිළිවෙත උපහාසයට ලක් කළ පිරිස් පවසා සිටියේ, වරක් උන්වහන්සේ රාජධානියේ වෙසෙන සියලුම සුනඛයන් එක් තැනකට රැස් කරවා ඔවුනට එක්වර ආහාර පාන ලබාදීමේ දැවැන්ත වැඩසටහනක් දියත් කළ බවකි. එහිදී ආහාර අනුභවය පිණිස එහි එක් වූ සිය දහස් ගණන් සුනඛයන් උන්ගේ ජන්ම ගතිය අනුව කා කොටා ගැනීම නිසා ආහාර බඳුන් පෙරළී ගොස්, සැපුම් තුවාල ලත් දුබල සුනඛයන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ බව ද එම ජනප්‍රවාදයේ එයි. එවිට රජ වාසලේ සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එම පුවත අසා සිනාසී, “සංඝරාජ වුණත් ඉතින් ගම තුම්පනේ නේ” කී බව ද එම ප්‍රවාදයේ සඳන් ය. මෙය උන්වහන්සේගේ ශාසන ප්‍රතිෂ්ඨාපනය ප්‍රායෝගික නොවන බව පැවසීමට සමකාලීනයන් විසින් ප්‍රබන්ධ කරන ලද උපමා කතාවක් බව ද පෙනේ.

ප්‍රවාදගත මූලාශ්‍රයක් (Mythical or Legendary Source) වටා පසුකාලීනව තව තවත් නව ප්‍රවාද, උප-ප්‍රවාද හෝ අනුශාංගික කථාන්දර ගොනු වීම සමාජවිද්‍යාත්මක, මානවවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මකව අතිශය රසවත් mෙන්ම සංකීර්ණ සංසිද්ධියකි. ජනශ්‍රැති විද්‍යාවේදී (Folklore Studies) මෙවැනි තත්ත්වයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකිය. මුල් ප්‍රවාදගත මූලාශ්‍රය වටා අලුත් ප්‍රවාද වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම සාධක හතරක් බලපානු ලබයි. ඉන් පළමුවැන්න කේන්ද්‍රීය ආකර්ෂණ බලපෑම (The Nucleus Effect) වන අතර, එහිදී සමාජයක් තුළ දැනටමත් ස්ථාපිත, පොදු පිළිගැනීමට ලක් වූ සහ බලපෑම් සහගත ප්‍රවාදගත චරිතයක්, ස්ථානයක් හෝ සිදුවීමක් පවතී නම්, එය “චුම්බක ක්ෂේත්‍රයක්” මෙන් ක්‍රියා කරමින් මිනිසුන් තමන් අලුතින් ගොඩනඟන හෝ වෙනත් ප්‍රදේශවලින් අසන්නට ලැබෙන ස්වාධීන කුඩා කථාන්දර ස්වාභාවිකවම මෙම ප්‍රධාන කේන්ද්‍රයට බද්ධ කිරීමට පොළඹවයි. උදාහරණයක් ලෙස, කිසියම් ප්‍රදේශයක සිටි දේශීය වීරයෙකු හෝ ප්‍රාදේශීය දෙවියෙකු වටා ගෙතුණු මූලික කතාවට, කාලයාගේ ඇවෑමෙන් එම ප්‍රදේශයේ සිදු වූ අද්භූත සිදුවීම්, ස්වාභාවික විපත් හෝ ඓතිහාසික වෙනස්කම් ද ඈඳාගනිමින් නව ප්‍රවාද බිහි වීම දැක්විය හැකිය.

දෙවනුව, සාධාරණීකරණය සහ විශ්වාසනීයත්වය ගොඩනැඟීම (Validation & Legitimacy) යන සාධකය බලපාන අතර, එහිදී අලුත් මතයක්, විශ්වාසයක් හෝ උප-කතාවක් ජනසමාජය තුළ ස්ථාවර කිරීමට නම්, එයට කිසියම් සමාජමය වලංගුභාවයක් අවශ්‍ය වේ. සම්පූර්ණයෙන්ම අලුත් මූලාශ්‍රයක් හඳුන්වා දීමට වඩා, දැනටමත් ජනතාව හොඳින්ම දන්නා, අතිශයින්ම ගෞරවයට හෝ බියට පත් වූ ප්‍රවාදගත මූලාශ්‍රයකට එය සම්බන්ධ කිරීම පහසු වන බැවින්, එමඟින් අලුත් ප්‍රවාදයට නිරායාසයෙන්ම සමාජ පිළිගැනීමක් සහ දීර්ඝායුෂක් ලැබේ. තෙවනුව, සංස්කෘතික සංකලනය (Cultural Syncretism) යන ක්‍රියාවලිය සිදුවන අතර, විවිධ සංස්කෘතීන්, ආගමික ධාරාවන් හෝ ජන කොටස් එකිනෙකා හා මුසු වන විට, එක් පාර්ශ්වයක පැරණි ප්‍රවාදගත මූලාශ්‍රය අනෙක් පාර්ශ්වයේ විශ්වාසයන් සමඟ බද්ධ වී, මුල් මූලාශ්‍රයේ මුහුණුවර වෙනස් නොවී ඒ වටා නව අර්ථකථන සහ නව ප්‍රවාදයන් තට්ටුවෙන් තට්ටුව (Layers) ලෙස එකතු වේ.

සිව්වනුව, මිනිස් මනස සැමවිටම තමන් දන්නා රාමුවක් තුළ අලුත් තොරතුරු සැකසීමට ප්‍රිය කිරීම නිසා සංජානනීය අනුකූලතාව (Cognitive Consistency) සහ අතිශයෝක්තිය වැනි මනෝවිද්‍යාත්මක සාධක ද මෙයට බලපායි. යම් ප්‍රවාදගත සිදුවීමක් සත්‍ය යැයි දැඩිව විශ්වාස කරන ප්‍රජාවක්, තමන්ට මුහුණ දීමට සිදුවන පැහැදිලි කළ නොහැකි වසංගත, නිදන් හමුවීම්, අද්භූත ශබ්ද වැනි නව අත්දැකීම් ද එම මුල් ප්‍රවාදයේම දිගුවක් ලෙස අර්ථකථනය කරන අතර, මුඛ පරම්පරාගතව (Oral Tradition) මේවා ගලා යාමේදී අතිශයෝක්තිය මුසු වීමෙන් උප-ප්‍රවාද තවත් ස්ථූල වේ.

මෙම සමස්ත ක්‍රියාවලියේ දිගුකාලීන ප්‍රතිඵලය වනුයේ, මුල් මූලාශ්‍රයේ තිබූ සැබෑ “ඓතිහාසික හෝ මූලික හරය” කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස්, එය වටා විශාල ප්‍රවාද ජාලයක් (Mythological Web) නිර්මාණය වීමයි. තුම්පනේ සහ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් සම්බන්ධයෙන් සිදු වී ඇත්තේ ද මෙම ක්‍රියාවලියම වන අතර, දේශපාලනික, ආගමික හා සමාජයීය අවශ්‍යතා මත ගෙතුණු උප-ප්‍රවාද මඟින් සැබෑ ඉතිහාසය යටපත් කර දමා ඇත. එබැවින්, පර්යේෂකයෙකු හෝ විචාරකයෙකු ලෙස මෙවැනි ජනශ්‍රැති සහ ප්‍රවාදගත මූලාශ්‍ර දෙස බැලීමේදී, එහි ඇති මුල් ඓතිහාසික හරය කුමක්ද සහ පසුව විවිධ අරමුණු මත එකතු වූ “ප්‍රවාද තට්ටු” (Layers of Myths) මොනවාදැයි වෙන් කර හඳුනා ගැනීම හෙවත් ව්‍යුහ විග්‍රහයකට (Deconstruction) ලක් කිරීම අතිශය වැදගත් වේ. මන්දයත්, එම ව්‍යුහ විග්‍රහය සමාජයක සන්නිවේදන රටාවන්, පන්ති අරගල සහ චින්තන විකාශනය නිවැරදිව තේරුම් ගැනීමට කදිම දර්ශකයක් සපයන බැවිනි.

එමෙන්ම ජන විශ්වාස පර්යේෂක, ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් පෙන්වා දෙනුයේ තුම්පනේ ගැමියන්ගේ මෝඩකම් පිළිබිඹු කරන, ‘සඳට ගල් ගැසීම’, ‘අලි ඇතුන්ට පැදුරු එළීම’ වැනි ජනප්‍රවාද දකුණු පළාතේ මොරවක් කෝරළය හා හිනිදුම් පත්තුවේ වැසියන් වටා ද එලෙසෙන්ම ගෙතී ඇති බවකි. එමෙන්ම 1845 වසරේ දී පරිපාලන වශයෙන් සබරගමුවෙන් දකුණු පළාතට පසුව එක් කළ එම ප්‍රදේශ මුල් කොට දකුණු පළාත් පාර්ශ්වයන් වෙතින් මොරවක් කෝරළය හා හිනිදුම් පත්තුවේ වැසියන් වෙත එල්ල වූ උපහාස සහ අවලාද ලෙස ද ඔහු ඒවා හඳුන්වා තිබේ. මෙම තත්ත්වය හැඳින්වෙනුයේ ‘ජනප්‍රවාද සංක්‍රමණය’ (Migration of Legends) හෝ ‘දේශීයකරණය’ (Localization / Ecotype) යනුවෙනි.

වැලිවිට සරණංකර නාහිමියන් දියත් කළ මෙම සුනඛ දාන සංකල්පය එවක ජනතාව අතර, විශේෂයෙන්ම කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රිය වූ බවත් ප්‍රකට කරුණකි. ඒ සමඟම ඒ සඳහා වන ක්‍රියාකාරී ව්‍යුහයක් ද උන්වහන්සේ හඳුන්වා දුන් බව පැවසෙයි. බාහිර සමාජය නොදන්නා නමුදු ඉන්පසු මහනුවර හා තුම්පනේ ප්‍රදේශවල පරම්පරාගතව පැවති මෙම දානමය වැඩසටහන් අදටත් එම ප්‍රදේශවලින් මුළුමනින්ම ඉවත්ව නැත.

ඒ කෙසේ හෝ වැලිවිට සරණංකර නාහිමියන් දියත් කළ මෙම සුනඛ දාන සංකල්පය එවක ජනතාව අතර, විශේෂයෙන්ම කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රිය වූ බවත් ප්‍රකට කරුණකි. ඒ සමඟම ඒ සඳහා වන ක්‍රියාකාරී ව්‍යුහයක් ද උන්වහන්සේ හඳුන්වා දුන් බව පැවසෙයි. බාහිර සමාජය නොදන්නා නමුදු ඉන්පසු මහනුවර හා තුම්පනේ ප්‍රදේශවල පරම්පරාගතව පැවති මෙම දානමය වැඩසටහන් අදටත් එම ප්‍රදේශවලින් මුළුමනින්ම ඉවත්ව නැත. ඒ අනුව වත්මන් ගලගෙදර හා හතරලියැද්ද යන ප්‍රදේශවල ජනතාව බාහිර සමාජය වෙත සන්නිවේදනය වනු පිණිස ඉදිරි පොසොන් සමය මුල් කොට එම සුනඛ දානමය වැඩසටහන්වලට පුනර්ජීවනයක් ලබා දීම, අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන්ගේ නාමයට සිදු කරන උතුම් පූජෝපහාරයක් සේම, මේ වන විට වේගයෙන් සිදුවන සකල විධ සමාජමය පරිහානීන් වළකාලන කදිම උපාය මාර්ගයක් බව අපගේ වැටහීමය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

එතෙර - මෙතෙර