තෙන්දුල්කාර්ගේ දියණිය පෙම් බඳින ඉන්දියාවේ ක්‍රිකට් තරුව?

සචින් තෙන්දුල්කාර්ගේ එකම දියණිය වන සාරා තෙන්දුල්කාර් වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවට කටකතාවක් මේ දිනවල මහත් ආකර්ශණයක් දිනාගෙන තිබේ. මේ ආකාරයෙන් ඇයගේ ආදරය දිනාගෙන ඇතැයි පැවසෙන්නේ ඉන්දීය පිලේ දක්‍ෂතම ක්‍රීඩකයකු වන ෂුබ්මන් ගිල් ය. මේ වනවිට ෂුබ්මන් ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙසිනි.

ෂුබ්මන් සහ සාරා දෙදෙනා බොහෝ අවස්ථාවල එකට කාලය ගත කරන ආකාරය පසුගිය දිනවල ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවලට හසු වී තිබිණි. ටික දිනකට පෙර මුම්බායි නුවර ඉතාම ඉහළ මට්ටමේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වන ජියෝ වර්ල්ඩ් ප්ලාසා (Jio World Plaza) වෙළෙඳ සංකීර්ණය විවෘත කළ අවස්ථාවට ද මේ දෙදෙනා සහභාගි වී සිටි බව සඳහන් වේ. මෙය ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයකු වන මුකේෂ් අම්බානිගේ රෙලයන්ස් සමූහ ව්‍යාපාරයට අයත් වෙළෙඳ සංකීර්ණයකි.

මේ දිනවල ඉන්දියාව ඉතා ජයග්‍රාහී ආකාරයෙන් ඉදිරියට යමින් සිටින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග නැරඹීමට ද සාරා අනිවාර්යයෙන්ම පැමිණෙන බව පැවසේ. ෂුබ්මාන් ක්‍රීඩා කරද්දී ඇය උනන්දුවෙන් ඔල්වරසන් දෙන ආකාරය දැක්වෙන ඡායාරූප ආදිය ද පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබිණි. ඇතැම් තරගවල දී ෂුබ්මන් පන්දුවට පහර දෙන විට ක්‍රීඩාංගනයේ රැස්ව සිටින ක්‍රීඩා ලෝලීන් සාරා ගේ නම කියමින් කෑ ගසන ආකාරය ද දක්නට ලැබිණි. පසුගිය දා පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා තරගයේ දී ද එවැනි සිද්ධියක් සිදු විය.

ෂුබ්මන්ගේ 24 වැනි උපන් දිනය යෙදී තිබූ සැප්තැම්බර් 8 වැනි දින සාරාගේ පියා සචින් ද ඔහුට සමාජ මාධ්‍ය හරහා සුබ පතා තිබෙනු දැකිය හැකි වූ අතර ඒ ගැන ද බොහෝ දෙනා විවිධ කතා පවසා තිබෙනු දක්නට ලැබිණි. ඔවුන් සිතන්නේ ෂුබ්මන් සහ සාරා අතර සම්බන්ධයක් ඇති බවට මෙය ද සාක්‍ෂියක් බවයි. කෙසේ හෝ වේවා, තමුන් අතර ආදර සම්බන්ධයක් ඇති බවක් සාරාවත්, ෂුබ්මන්වත් තවම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

සචින් පවුලේ බාලයා වන සාරාගේ වයස අවුරුදු 26 කි. ඇය මේ වනවිට විවාහ වන වයසේ පසුවන බව පෙනේ. පසුගිය කාලයේ ඇය එංගලන්තයේ යුනිවර්සිටි කොලෙජ් ඔෆ් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අතර මේ වනවිට ඇය වෛද්‍ය විද්‍යා උපාධිධාරිනියකි. සාරාගේ මව අංජලි ද වෛද්‍යවරියක බව රහසක් නොවේ. කෙසේ නමුත් සාරා වඩාත් අවධානයට ලක් වන්නේ නිරූපන ශිල්පිනියක වශයෙනි.

ඇයගේ ආදරය දිනාගෙන සිටින බව පැවසෙන ෂුබ්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ දීප්තිමත් අනාගතයක් හිමි ක්‍රීඩකයකු ලෙස සැලකේ. ඔහු කවදා හෝ ක්‍රිකට් ක්‍රීඩාව තුළ පුරාවෘත්තයක් බවට පත් වනු ඇති බවට මේ වනවිට ක්‍රිකට් විචාරකයන් අනාවැකි පළ කර තිබේ. ෂුබ්මන් දැනටමත් එක් දින තරගවල වාර්තා දෙකතුනක් පිහිටුවා අවසන් ය. එම තරග ඉතිහාසය තුළ ද්විත්ව ශතකයක් රැස් කළ ලාබාලම පිතිකරුවා ඔහු යි. ඔහු මෙම ද්විත්ව ශතකය වාර්තා කරද්දී වයස අවුරුදු 23 ක් පමණි. ෂුබ්මන් මේ දස්කම කළේ මෙම වසරේ ජනවාරි මාසයේ නවසීලන්තය සමග පැවැති තරගයකදී ය. එහි දී ඔහු ලකුණු 208 ක් රැස් කළ අතර මෙම ලකුණු ප්‍රමාණය රැස් කළේ පන්දු 149 ක් තුළ වීම විශේෂත්වයකි. එක් දින තරගවල දී අඩුම තරග සංඛ්‍යාවකින් ලකුණු 2,000 සීමාව පසු කළ පිතිකරුවා වන්නේ ද ෂුබ්මන් ය. ඔහු මේ ලකුණු සීමාව පසුකර ගියේ තරග 38 කදීයි.

තෙන්දුල්කාර්ගේ දියණිය සාරා මෙයට වසර හතරකට පෙර තරමක් ආන්දෝලනාත්මක සිද්ධියකට ද මුහුණ දුන්නාය. දේව්කුමාර් නැමැති බටහිර බෙංගාලයේ පුද්ගලයකු ඇයට නිතර නිතර දුරකතන ඇමතුම් ලබා දෙමින් හිරිහැර කිරීමට පටන් ගත්තේය. ඔහු ඇයට කීවේ ඇය විවාහ කර ගැනීමට අවශ්‍ය බවයි. සාරා ඊට එකඟ නොවුණහොත් ඇය පැහැරගෙන යන බවට ද මෙම පුද්ගලයා තර්ජනය කරන්නට විය. මේ ගැන සචින් පවුලේ උදවිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු පොලිසිය ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.

නිහාල් පීරිස්

රසගඟුල