ජනාධිපතිවරුන් ජීවිතාන්තය දක්වා හිරගෙවල්වලට නියම වීම නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවේ. නමුත් පසුගිය සතියේ මෙවැනි සිද්ධියක් ගැන දකුණු කොරියාවෙන් අසන්නට ලැබිණි. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයාට කලින් එම ධුරය දැරූ යූන් සුක් යල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් පසුගිය 19 වැනි දින පියවර ගත්තේය.
පැමිණිල්ලේ නීතිඥයන් ඉල්ලා තිබුණේ ඔහුට මරණ දඬුවම නියම කරන ලෙස යි.
65 හැවිරිදි යූන් සුක් යල්ට මෙම සිර දඬුවම නියම කෙරුණේ ඔහු බලයේ සිටියදී ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් රට තුළ හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම පිලිබඳ චෝදනා යටතේ ය. හමුදා නීතිය පැනවූ විට බොහෝ විට ඇති වන්නේ හමුදා පාලනයකට සමාන මර්ධනකාරී තත්වයකි.
පාර්ලිමේන්තුව වට කිරීමට හමුදාව යෙදවීමත්, මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට නියෝග කිරීමත් හරහා ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට උත්සාහ දරා ඇති බවට අධිකරණය තීන්දු කර තිබේ. ඔහු ගත් පියවර නිසා දකුණු කොරියාවේ ප්රජාතන්ත්රවාදයට මූලික වශයෙන් හානියක් වූ බව ද අධිකරණය සඳහන් කර ඇත.
දකුණු කොරියාවේ ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය යි. මෙයට පෙර චන් දූ හ්වාන් නැමැති ජනාධිපතිවරයකුට මේ ආකාරයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබිණි. ඒ, 1996 වසරේ යි. නමුත් ඔහු 1980 වසරේ බලයට පත්ව තිබුණේ හමුදා කුමන්ත්‍රණයක් හරහා යි. මුලින්ම ඔහුට නියම කරන ලද්දේ මරණ දඬුවම යි. ඒ, ප්‍රධාන වශයෙන්ම හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ චෝදනා යටතේ ය.

කෙසේ නමුත් පසුව මෙම මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කර තිබිණි. 1997 වසරේ ඔහුට සමාවක් හිමි විය.
යූන් සුක් යල්ට සිර දඬුවම නියම වන විටත් ඔහු සිටියේ රැඳවුම් භාරයේ යි. 2025 ජුලි මාසයේ ඔහු අත් අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වනතෙක් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවනු ලැබිණි.
ඔහු හදිසියේම රට තුළ හමුද නීතිය පැනවීමට පියවර ගත්තේ 2024 වසරේ දෙසැම්බර් මස 3 වැනි දින යි. නමුත් වැඩි කාලයක් එය පවත්වා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි වූයේ නැත. ජනතාව තුළින් සහ මන්ත්‍රීවරුන් වැනි පාර්ශ්ව වෙතින් නැගුණු දැඩි විරෝධය හමුවේ පැය කිහිපයක් තුළ එම නීතිය හකුලා ගැනීමට ඔහුට සිදු විය.
යූන් සුක් යල් මේ ආකාරයෙන් හදිසියේ හමුදා නීතිය පනවා මර්ධනකාරී පාලනයකට සූදානම් වූයේ මන්ද යන්න ද මෙහිදී පැහැදිලි කළ යුතු වේ.
යූන් සුක් යල් අයත් වූයේ ජනතා බලය නැමැති පක්ෂයට යි. 2020 වසරේ පැවැති මැතිවරණයකින් පසු එම පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. නැවත 2024 වසරේ පැවති මැතිවරණයක දී ද එවැනිම තත්වයක් ඇති විය. ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ කොරියානු ප්රජාතන්ත්රවාදී පක්ෂය පාර්ලිමේන්තුව තුළ බෙහෙවින් බලවත් විය. එම පක්ෂය ආසන 173 ක් හිමි කරගෙන සිටිය දී ජනාධිපතිවරයාගේ පක්ෂයට හිමිව තිබුණේ ආසන 108 ක් පමණි.
මෙම පසුබිම තුළ යූන් සුක් යල්ට ඔහුගේ වැඩපිලිවෙළ ඉදිරියට ගෙන යාම අපහසු විය. දේශපාලන ක්ෂේත්රයේ ලොකු අර්බුදයක් මෝදු වෙමින් තිබිණි. මේ නිසා රට අස්ථාවර වෙමින් ඇති බව යූන් සුක් යල් පාර්ශ්වයේ අදහස වූයේය.
ජනාධිපතිවරයා හමුදා නීතිය පනවමින්, විරුද්ධ පක්ෂ මර්ධනය කරමින් දැඩි පාලනයකට සූදානම් වූයේ මෙවැනි තත්වයක් තුළ යි.
කෙසේ හෝ වේවා, ඔහු ගත්තේ ඉතා වැරදි තීරණයක් බව සනාථ වන්නට වැඩි වේලාවක් ගියේ නැත. රට තුළින් දැවැන්ත විරෝධතාවක් පැන නැගිණි.
යූන් සුක් යල් හමුදා නීතිය ගෙන එන්නට සූදානම් වූ දිනට පසු දිනම ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් විය. නමුත් එවර එය පාර්ලිමේන්තුව තුළ සම්මත වූයේ නැත. කෙසේ හෝ වේවා, විරුද්ධ පක්ෂය දෙවැනි වරටත් එවැනි යෝජනාවක් ගෙන ආ අතර එය 2024 දෙසැම්බර් 14 වැනි දින සම්මත විය. ඒ අනුව ඔහු ගේ ජනාධිපති බලතල අත් හිටුවන ලදී.

ඔහු නිල වශයෙන් ධුරයෙන් පහ කිරීමට නම් මෙම දෝෂාභියෝගය එරට ව්‍යවස්ථා අධිකරණයෙන් අනුමත විය යුතු වූයේය.
2025 අප්‍රේල් මාසයේ ඔහුට එරෙහි දෝෂාභියෝගය ඉහත කී ව්‍යවස්ථා අධිකරණය විසින් ද අනුමත කරන ලදී . ඒ අනුව යූන් සුක් යල් ජනාධිපති ධුරයෙන් පහ කෙරිණි.මැයි මාසයේ ඔහු ජනතා බලය පක්ෂයෙන් ද ඉවත් වූයේය.
පෙබරවාරි 19 වැනි දින ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ දිනයේ ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් අධිකරණය අසල රැස්ව සිටිනු දැකගන්නට ලැබුණු අතර ඔහුට සහය දක්වන සටන්පාඨ කියන ආකාරය ද දැකිය හැකි විය. තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ඔවුන් ඇතැමුන් හඬා වැටුණු බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

යූන් විරෝධීන් ද එහි රැස්ව සිටි අතර ඔවුන් ප්‍රකාශ කරමින් සිටියේ යූන් සුක් යල්ට මරණ දඬුවම දිය යුතු බව යි.
කෙසේ හෝ වේවා, යූන් සුක් යල්ගේ නීතිඥයන් මෙම තීන්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නිහාල් පීරිස්