නත්තලේ සැබෑ හරය ජාවාරම් කරුවන්ට ඩැහැ ගන්නට ඉඩ දෙමුද ?

තව නොබෝ දිනකින් උදාවන නත්තල් උත්සවය සමරන්නට ලොව පුරා කිතුනුවෝ මහත් උනන්දුවෙන් සූදානම් වෙති. මේ වන විටත් බලන බලන සැම අත නත්තල් සැරසිලිවලින් පිරී ගොසිනි. බොහෝ නිවෙස්වල මේ වන විටත් නත්තල් ගස් ඉදිකොට හමාරය. බඩුමිිල අහස උසට නැග තිබුණ ද, නත්තල වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගන්නට සාප්පු සවාරි යන්නවුන්ගෙන් පාරවල් පිරී ඉතිරී ගොසිනි. බොහෝ දෙනෙක් ආහාර පාන තොග ගණනින් නිවෙස් කරා රැගෙන යති. මේ, මෙවර පමණක් නොව බොහෝ කාලයක සිටම නත්තල් සමරන්නට ලොව පුරා කිතුනුවන් සූදානම් වන අන්දමය. සැබවින්ම නත්තලේ සැබෑ අරුත මෙයද? නත්තලේ සැබෑ අරුත ප්‍රේමය, ආදරය බව පැවසෙයි. ශු. බයිබලයේ යොහාන් පොතෙහි 16-17 පදවල මෙසේ සඳහන් වේ.

“16. මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

17. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.”

දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයා ලෝකයට දෙන තරම් ලෝකයට ප්‍රේම කළ බව එයින් පැවසේ. එසේ හෙයින් නත්තලේ සැබෑ අරුත විය යුත්තේ සියල්ලන්ටම ප්‍රේමය පැතිරවීමය. නමුත් අද සිදුවන්නේ එය ද යන ගැටලුව අප සිත් තුළ ඇතිවේ. ඒ තරමටම වර්තමාන නත්තල් උත්සවය පරිභෝජනවාදයේ ගොදුරක් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍යයේ එක්තරා තැනක මෙවැනි වැකියක් නෙත ගැටුණි.

“වෙළෙඳ හඬින් ලොව පිබිදෙනවා

නත්තල දොර ළඟ වැලපෙනවා”

නත්තලෙහි සැබෑ අරුත හඳුනන නමුත් වෙළෙඳ සංස්කෘතිය තුළ එයට ඉස්මතු වන්නට ඉඩක් නොමැති බව නිසා ඇති වූ සංවේගයෙන් කවුරුන් හෝ එය සඳහන් කර තිබුණි.

නත්තල සැමරීම සඳහා විවිධාකාර බඩු භාණ්ඩ මිල දී ගැනීම කාලයක් තිස්සේ සිදුවුව ද මෑත කාලයේ සිට නත්තල වෙළෙඳුන්ගේ ගොදුරයක් වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවනු දක්නට ලැබිණි. මෑතක සිටි අප රටට ද ඇතුළු වූ ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ (Black Friday) විලාසිතාව මේ වන දැවැන්ත ලෙස ව්‍යාප්ත වී තිබේ. නොවැම්බර් මාසයේ අවසන් සිකුරාදාව ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ ලෙස නම් කොට තිබේ. මෙය මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ දෙයක් වන අතර මේ වන විට අප රටට ද පැමිණ තිබේ. මෙය හුදෙක්ම ව්‍යාපාරික අරමුණින් ඇති කර ගත් දෙයක් මිස නත්තලේ සැබෑ අරුත් ඉස්මතු කිරීමේ අරමුණින් ඇති කර ගන්නා ලද දෙයක් නොවේ. ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ දිනයේ දී ඉතා ඉහළ වට්ටම් සහිතව භාණ්ඩ අළෙවි කරනු දක්නට හැකිය.

බෞද්ධයන්ට අප්‍රේල් මාසය ඉතා වියදම්කාරී වනවා සේ කිතුනුවන්ට දෙසැම්බර් මාසය ඉතා වියදම්කාරීය. ඇතැමුන් වසරක් පුරා තමා ඉතිරි කරගෙන සිටි මුදල්, සීට්ටුවලින් ලද මුදල් පමණක් නොව ණයට ලබා ගත් මුදල් ද වියදම් කරමින් නත්තල වෙනුවෙන් භාණ්ඩ මිල දී ගැනීම සිදු කරති. නොඑසේ නම් ඔවුනට අන්‍යයන් සමග කරට කර සිටගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

නත්තල් සමයේ වෙළෙඳුන්ගේ උපක්‍රම බොහෝ දෙනෙකුට හඳුනාගන්නට හැකියාවක් නැත.

“මාර වාසියි. මම මේක නත්තල් සේල් එකකින් ගත්තේ.”

යැයි පවසනු ඕනෑ තරම් ඇසිය හැකිය. වෙළෙඳුන් පාරිභෝගිකයන් රවටමින් ‘සේල්’ යන පුවරුව ඉදිරියට දමා අඩුමිලට යැයි පෙන්වමින් වැඩි මිලට භාණ්ඩ අළෙවි කරනු දැකිය හැකිය.

ජේසුස් වහන්සේ උපන්දිනය සමරනු වස් මිනිසුන් පොර කමින් තෑගි බෝග සහ බඩු භාණ්ඩ තරගයට මෙන් මිලට ගනිති. මදක් නිවි සැනසිල්ලේ කල්පනා කරන්නට හැකි නම් මේ කරන ක්‍රියාවන්ගේ අර්ථය කුමක්දැයි යමෙකුට අවබෝධ කර ගත හැකිය. ලෝකයේ සිටි සුළුතර ධනවතුන් විසින් නත්තලේ දී සිදු කරන්නේ බහුතර දිළින්දන් සූරාකෑමය. යේසුස් වහන්සේ සිය ජීවිත කාලය පුරා අරගල කළේ මෙයට එරෙහිව වුවද, කිතුනුවන් අද දැන හෝ නොදැන ධනවතුන්ගේ උගුලේ අසු වී සිටිති. දේව මාලිගය තුළ වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව ජේසුස් වහන්සේ නැගී සිටි බව කිතුනුවෝ දනිති. ඒ කිතුනුවෝම සිය දේව මාලිගය ධනවතුන් අතට පත් කොට ඇති බව පෙනේ. ලෝකයට ප්‍රේමය රැගෙන එමින් ගොඩනගන්නට උත්සාහ කළ මනුෂ්‍යත්වයට එරෙහි මෙයට වඩා වෙනත් අපරාධයක් තිබේද?

නත්තල වෙනුවෙන් ගතවී යන නිවාඩුව වෙන් කළ යුත්තේ කෘතගුණ සැළකීම, පුණ්‍ය කටයුතු සිදු කිරීම සහ මිනිස් සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහාය. නමුත් නත්තල දිනයේ දී ‘සුබ නත්තලක් වේවා!’ යැයි පැවසීම තුළින් පමණක් මේ කාරණා ඉටුවන්නේද යන ගැටලුව මතුවේ.

දරුවන් පවා හුරුපුරුදු ව සිටින්නේ තමාට නත්තලට ලැබුණු තෑගි බෝග එකිනෙකා සමග පවසමින්, සසඳමින් කාලය ගත කරන්නටය. ඒ කාලයක් තිස්සේ හුරුපුරුදු කරගෙන පැමිණි අන්දමය. එයින් අත්මිදෙන්නට නොහැකිය. මෙහිදී වැඩියෙන්ම තෑගි ලබා දුන් දෙමාපියන් හොඳ වන අතර එසේ නොවන අය ‘හොඳ නැති’ අය යැයි දරුවන් අතර මතයක් ඇති වේ. දෙමාපියන් ලෙස සලකා බැලුවහොත් මෙය කිසිදා දිනිය හැකි සටනක් නොවේ. අතමිට ඇති දෙමාපියකුට තරමට දුප්පත් දෙමාපියකුට සිය දරුවා වෙනුවෙන් නත්තලේ දී තෑගි බෝග මිල දී ගත නොහැකිය. සමාජ තත්ත්වය ඇති වන්නේ මුදල් සහ බඩුභාණ්ඩවලින්ය යන වැරදි මතය දරුවන් තුළ ඇති වන්නට මෙය බලපෑම් කරයි.

යේසුස් වහන්සේ මහත් උත්සාහයෙන් ලෝකය තුළ වගා කරන්නට උත්සාහ කළ මිනිස් ගුණාංග වර්තමාන වෙළෙඳ ලෝකය, පරිභෝජනවාදය තුළ මිනිසුන්ගෙන් ඈත්ව යන්නේ ඒ ආකාරයටය.

නත්තලේ දී විකිණී යන තවත් දෙයක් වන්නේ නත්තල් සීයා හෙවත් සැන්ටා ය. දුප්පත් දරුවන්ගේ සිත් සතුටු කරනු වස් රහසේම ඔවුන්ට තෑගි බෝග ලබාදුන් ඓතිහාසික නිකලස් නම් සාන්තුවරයාගේ චරිතය මත නත්තල් සීයා ගොඩනැගී තිබේ. ‘සේන්ට් නිකලස්’ යන්න පසුකාලයේ දී ‘සැන්ටා ක්ලෝස්’ බවට පත්ව තිබේ. මෙය සාන්තුවරයකුගේ චරිතයක් වුව ද, අද එය වන විට වාණිජකරණය නිසා කෙලෙසී ගිය චරිතයක් බවට පත්ව තිබේ. නත්තල් සමයේ සෑම වෙළෙඳ දැන්වීමක පෙනී සිටින්නේ නිකලස් සාන්තුවරයා නියෝජනය කරන කුමක් හෝ පින්තූරයකි. ඇතැමුන් යේසුස් වහන්සේට වඩා සරණ ගොස් සිටින්නේ සැන්ටාවය. මහ මග සැන්ටා ලෙස ඇඳගත් පුද්ගලයන් භාණ්ඩ අළෙවි කිරීමෙහි යෙදී සිටිනු දක්නට ලැබේ. ඉතාලිය වැනි රටවල, ශ්‍රී ලංකාව වැනි රටවලින් ගොස් සේවය කරන පුද්ගලයන්ට සැන්ටා යනු අර්ධකාලීන ආදායමක් ලබාදෙන චරිතයකි. විවිධ පුද්ගලයන් සැන්ටා සේ සැරසී මහමග සිටිනු දකින්නට හැකිය. නමුත් නිකලස් සාන්තුවරයාගෙන් ලෝකයට ලබා දිය යුතු ආදර්ශය එය නොවේ.

මේ උදාවන්නට නියමිත නත්තල ඔබට මෙතෙක් පැමිණි ගමන් මග වෙනස් කොට වාණිජකරණයෙන් මිදුණු නත්තලක් සමරන්නට අධිෂ්ඨාන කර ගත හැකිය. ප්‍රේමය, ත්‍යාගශීලිත්වය, මනුෂ්‍යත්වය පිළිබඳ ඔබට නැවත සිතිය හැකිය. ජේසුස් වහන්සේ උපන්නේ ගවලෙනකය. ඔබට එතැනින් සියල්ල ඇරඹිය හැකිය. සරල වටපිටාවක උපන් ජේසුස් වහන්සේගේ උපත සැමරීම සඳහා වෙළෙඳුන්ගේ රැවටිලිවලට ඔබ නතු විය යුතු නොවේ. සැබෑ නත්තල ඔබට උදාවන්නේ එවිටය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර