රන් මාලය පාස්සන්න කම්මලකට බාර දීම

නීලා වික්‍රමසිංහ යන නම සමඟ මේ තාක් අප රටේ පොදු ජන සිත් තුළට පිවිසියේ විශිෂ්ඨතම ගීත කෝකිලාවියක පිළිබඳ අතිශය ප්‍රසාදනීය ප්‍රතිරූපයකි.

එහෙත්, පසුගිය 17දා සිදු වූ ඇගේ හදිසි මරණයත් සමඟ ඉතාලියේ “මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්” යන ඇයට කෙසේවත් නොගැලපෙන තනතුරු නාමයක් සමඟ ප්‍රවෘත්ති පළවිය.  එමගින් සිදු වූයේ නීලා වික්‍රමසිංහ යන “රන්” සන්නාමය “මිනි රන්” බවට පත් වීමකි.

එක් දහස් නවසිය හැත්තෑව දශකයේ සිට මෑතක් වන තෙක් ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට විපුල මෙහෙවරක් කළ නීලා වැන්නියකට නිසි ගෞරව සම්මාන ප්‍රදානය කිරීම ඉතා වැදගත් ජාතික මෙහෙවරකි.

එහෙත්,ඒ වෙනුවට වත්මන් රජය බලයට පත් වීමට ඇගෙන් ලැබුණු දේශපාලන දායකත්වය සැලකූ වත්මන් පාලකයන් ඇය හිටිහැටියේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත් කිරීමෙන් ඇයට ‘කළගුණ සැලකීමට’ ඉතා අඥාන ලෙස කටයුතු කොට ඇති බව පෙනේ.

එය ජලයේ පිහිනන මත්ස්‍යයකු වැඩි ආරක්ෂාව පිණිස ගොඩ බිමට ගෙන තැබීමක් බව පෙනෙයි.

‘කොන්සල්වරයා’ යනු Consul යන ඉංග්‍රීසි වදන වෙනුවට භාවිත වන සිංහල යෙදුම ය. මේ සඳහා තානාපති, ප්‍රදූතයා, රාජ්‍ය දූතයා, වාණිජ්‍ය දූතයා යන නම් ද යෙදේ. එසේ වුවත් ‘තානාපති’ යන වදන වෙනුවට සාමාන්‍යයෙන් භාවිත වන්නේ Ambassador යන ඉංග්‍රීසි වදන ය.

එසේ හෙයින් ‘කොන්සල්වරයා’ සහ ‘තානාපති’ යන වදන්වල වෙනසක් ඇති බව පෙනෙන්නට තිබේ. ‘කොන්සල්’ යන්න ජාත්‍යන්තර වශයෙන් ව්‍යවහාර වනුයේ  වෙනත් ප්‍රාන්තයක රජයේ නිල නියෝජිතයකු ලෙසිනි., සාමාන්‍යයෙන් කොන්සල් වරයා තම රටේ පුරවැසියන්ට සහාය වීමට සහ ආරක්ෂා කිරීමට මෙන්ම දෙරටේ ජනතාව අතර වෙළඳාම සහ මිත්‍රත්වයට පහසුකම් සැලසීමට ක්‍රියා කරයි.

කෙසේ නමුත් කොන්සල්වරයකුගේ කාර්ය භාරය තානාපතිවරයකුගේ කාර්ය භාරයට වඩා වෙනස් ය. තානාපතිවරයා යනු එක් රටක රාජ්‍ය නායකයා නියෝජනය වන පරිදි තවත් රාජ්‍ය්‍යක සිටින රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. තානාපති වරයාට මෙන්ම කොන්සල්වරයාට ද එක සමාන රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමි වේ.

එක් රටක සිටිය හැක්කේ තවත් රටක් නියෝජනය කිරීම සඳහා එක තානාපතිවරයකු පමණක් වන අතර ඔහු සිදුකරන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධ කටයුතු ය.

කෙසේ වෙතත් කොන්සල්වරයාගේ කාර්යභාරයන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඒවා නොවේ. කොන්සල්වරයා තමන් සිටින රට තුළ සංචාරය කරන්නට පැමිණෙන හෝ රැකියාවන් හි යෙදෙනට සිය රටේ පුරවැසියන්ට මුහුණ දීමට සිදුවන විවිධ ප්‍රායෝගික ගැටළු විසඳීම සඳහා  මැදිහත් වේ.ඒ අතර රටවල දෙක අතර සිදුවන වෙළෙඳ කටයුතු සඳහා ද  මැදිහත් වී කටයුතු කරයි.

එක් රටක් නියෝජනය කරමින් තවත් රටක සිටිය හැක්කේ එක් තානාපතිවරයෙක් පමණක් වුවත් ප්‍රායෝගික අවශ්‍යතා මත කොන්සල්වරුන් කිහිප දෙනෙකු වුව ද සිටිය හැකිය.නිදසුනක් ලෙස අපේ රටේ ඇති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අමතරව යාපනයේත් හම්බන්තොටත් ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාල දෙකක් පිහිටුවා තිබේ.

ඉතාලියේ රෝම නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අමතරව ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් හිඳින මිලාන් නගරයේ ශ්‍රී ලංකා කොන්සල් රජනරාල් කාර්යාලය විවෘත කොට ඇත්තේ 2016 පෙබරවාරි 01 දින එවක පැවැති යහ පාලන රජය මගිනි.

ඒ මගින් ඉතාලියේ Bergomo, Como, Cre mona, Lecco, Lodi, Mantova, Milano, Monza ee d ella Brianza, Pavia,Sondrio, V arese යන ශ්‍රී ලාංකිකයන් වැඩිම දෙනකු ජීවත් වන ප්‍රදේශ සඳහා කොන්සියුලර් රාජකාරි සිදු කෙරෙනු ඇත. ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පසුගිය වසරේ මැයි මාසයේ Via Giovanni De Udine 15  යන ලිපිනයට රැගෙන ගිය අතර එය මිලානෝ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරේ මහත් ආන්දෝලනයට තුඩු දුන් පුවතක් විය.

එහෙත්, ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ මිලානෝ නගරයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පිහිටි ස්ථානයේ ඉඩ කඩ මඳ වීමත් බාහිර ප්‍රදේශවල සිට මිලානෝ නගරයට පිවිසෙන ශ්‍රී ලාංකිකයන්ට බදු මුදල් සේම වාහන ගාල් කිරීමට නිසි තැනක් නොතිබීම මත දඩ මුදල් ද ගෙවන්නට සිදුවීම මත එය මෙලෙස මිලානෝ නගරයෙන් බැහැර තැනකට රැගෙන ගිය බවයි.

ලෝකයේ රටවල් බොහෝ ගණනක විසිරී සිටින විදේශ සේවා නියුක්තියකයන් ගේ”සංස්කෘතික” ස්වරූපයන් ඒ ඒ රටින් රටට වෙනස් වෙයි. එමෙන්ම මහා බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල වෙසෙන ශ්‍රී ලාංකික සේවා නියුක්තියෝ විවිධ වෘත්තීය තලවලට අයත් වෙති. එනිසාම ඔවුන් ඒ ඒ රටවල දී අත් විඳින සමාජ ආර්ථික වරප්‍රසාද ද විවිධ ය; විෂම ය.

එනිසාම ඒ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අතරේ එක්තරා අන්දමක සංස්කෘතික විෂමතාවන් සේම ‘පන්ති භේදයක්’ ද නිර්මාණය වී තිබේ. ඒ එම ශ්‍රී ලාංකිකයන් ගේ විද්වත් බව අනුව හිමි ව ඇති සමාජ ආර්ථිකය පදනම් කර ගනිමිනි. එහෙත්, ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අතරේ එවන් වෘත්තීය විෂමතාවයන් නැත.

වෘත්තීය වශයෙන් බලන විට ඔවුන් සියලු දෙනාම පාහේ සම මට්ටමේ සිටිති. එහෙත්, යුරෝපා ඇමරිකා, ඕස්ට්‍රේලියා මහාද්වීප වල වෙන රටවල සහ බටහිර ආසියානු ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සාපේක්‍ෂව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකු ගත කරනුයේ සැහැල්ලු විනෝදකාරී ජීවිත බව පෙනේ.

මෙය ඒ රටේ පවත්නා සමාජ, ආර්ථික පසුබිම යටතේ ඔවුන් ගොඩ නඟා ගත් තමනට ආවේණික එක්තරා ‘සංස්කෘතික අනන්‍යතාව”කි. මේ තත්වය යටතේ මීට වසර හයක සිට මිලාන්වල හිඳින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වරයාට තබා රෝමයේ හිඳින ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති වරයාට පවා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙල්ල කර ගැනීමට නොහැකි වූ අවස්ථා බොහොමයකි.

එවන් එක්තරා අන්දමක හැඩි දැඩි දරදඬු ස්වභාවයකින් යුතු ශ්‍රී ලාංකිකයන් යම් ප්‍රමාණයක් හෝ හිඳින මිලානෝ හි කොන්සල් ජනරාල් පදවිය හුදෙක් ආර්ථිකමය පහසුවක් සැලසීම සඳහා හෝ නීලා වික්‍රමසිංහ වැනි අහිංසකාවියකට පැවරීමට තීරණය කිරීම රන් ආබරණයක් පෑස්සීමට කම්මලකට බාර දීමක් වැනි යැයි මට සිතේ.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නීලා වික්‍රමසිංහට මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් පදවිය ලැබී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 29 දා ය.

එහෙත්, ඇය එහි රාජකාරී කටයුතු භාර ගෙන ඇත්තේ පසුගිය ජනවාරි 11 වනදා ය. නමුදු ඒ වන විට මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලයේ නිරන්තර ව පැවැති අලස උදාසීන අකර්මන්‍යතා මුල් කොට “මතක හිටින පාඩම්” ඉගෙන සිටි එම කාර්යාලයේ සේවය ලබන ශ්‍රී ලාංකිකයන් එදින එම කාර්යාලයේ පැවැති නීලා ගේ රාජකාරී ආරම්භ කිරීමේ කැවුම් කිරිබත් උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ බව ද දැන ගන්නට ඇත.

ඉතාලියේ නොයෙකුත් වෘත්තීන් වල යෙදෙන ශ්‍රමිකයන්ට කොන්සියුලර් කටයුත්තක් කර ගැනීමට වුව නිවාඩුවක් ලබා ගැනීම අතිශය අසීරු කාරියකි.ඒ හේතුව මත එදා එහි පැමිණි ශ්‍රී ලාංකිකයන් එදවස වැඩ බාර ගත් නීලාට ද දොස් නැඟූ බව අනාවරණය වීතිබේ.

හාපුරා කියා කැවුම් කිරිබත් කමින් තමන් මේ අරඹන්නට යන්නේ නොගැලපෙන තැනක නොගැළපෙන රාජකාරියක් බව එහි දී නීලාට මනාව වැටහෙන්නට ඇත.එය ඇයගේ චිත්ත පීඩාවේ ආරම්භය වූ බව නිසැකය.අප  දන්නා පරිදි දැඩි මානසික ආතතිය,කාන්සාව වැනි තත්වයන් හදිසි හෘදයාබාධයක් සඳහා ඉවහල් වන සෘජු අවදානම් සාධක වෙයි.

නීලාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් තිබේ. එනම් ඇයට මිලානෝ නුවර කොන්සල් ජනරාල් පදවිය හිමි වනුයේ එහි ශීත සෘතුවේ දී බවය. අද වන විට ලෝකය තුළ ජාත්‍යන්තර ගමන් බිමන් බෙහෙවින් සාමාන්‍යකරණය වී තිබේ.

එහෙත්, සම ශීතෝෂ්ණ දේශගුණයකින් යුතු ශ්‍රී ලංකාවේ හැත්තෑ වසරක් ජීවත් වූ ඇයට එක්වරම යුරෝපයේ ශීත දේශගුණයකට අනුවර්තනය වී දිවි ගෙවන්නට සිදුවීම ඇගේ වයස සහ සෞඛ්‍ය තත්වය අනුව කෙතරම් ගැළපේදැයි ඇයට මෙම පදවිය ප්‍රදානය කළ කිසිවෙක් නොසිතන්නට ඇත.

එමෙන්ම සෘතු භේදය දැඩිව බලපවත්වන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ශීත සෘතු සමයට තම වයෝවෘද්ධ දෙමාපියන් ඒ රටවලට කැඳවා නොගන්නේ ඒ සම්බන්ධ ඛේදනීය අත්දැකීම් වලට හුරු පුරුදු නිසා ය. මහජන මුදලින් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර කරක් ගසන අපේ රටේ ජන නායකයන් මේ සරල කරුණ නොදන්නවා යැයි කීම ද ලෝක විහිළුවකි.ඒ අනුව ඔහවුන් නීලාගේ දිය පවස නිවා ඇත්තේ වස බඳුනකින් බව පෙනෙයි.

“මම තනිව දුක දරා ගන්න පුරුදු වුණු ගැහැණික්’‘ නීලා වික්‍රමසිංහ ජන මාධ්‍ය වලට වරින් වර කරන ලද ප්‍රකාශ වල කෙටි සාරාංශකරණයක් බඳු ඒ අදහසේ පැහැදිලි සත්‍යයක් තිබේ. ගායිකාවක කලාකාරියක වශයෙන් අති සාර්ථකත්වයක් ලැබූ ඇයට බිරිඳක හා මවක ලෙස සාර්ථක වීමට තිබූ නොහැකියාව මත ඉනුදු පන්නරයක් ලබා ගැනීමේ චිත්ත ශක්තියක් ඇය තුළ තිබූ බව ඒ ඇගේ ඒ ප්‍රකාශයෙන් මනාව තහවුරු වෙයි. තමන්ට කෙසේවත් නුහුරු කිසිත් නොදන්නා රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් වුව බාර ගන්නට තරම් නිර්භීත වූයේ නීලා තුළ පැවැති ඒ ජවය, පන්නරය නිසාම විය යුතු ය.

පසුගිය ජනවාරි 17දාපෙරවරුවේ හදිසි හෘදයාබාදයකට ලක්වූ නීලා වහාම ඇතුලත් කොට ඇත්තේ ඉතාලියේ මිලාන්හි සෙග්‍රේට් හි පිහිටි සැන් රෆායල් විශ්ව විද්‍යාල රෝහල වෙත ය. නවීන අංගෝපාංග සහ තාක්ෂණික පහසුකම් වලින් යුතු එහි හෘදවේද අංශය සියලු ආකාරයේ හෘද ප්‍රතිකාර සහ සැත්කම් සඳහා නිරතුරුවම සූදානම් ය.ඒ අනුව ඒ ඔස්සේ දිවි ගලවා ගන්නා හෘද රෝගීන්ගේ ගණන සුළු පටු නැත.

එහෙත්, අප වෙත වාර්තා වන අන්දමට ඒ සියලු බුද්ධිමය සම්පත් දායකත්වයන් වල හා නවීන විද්‍යා තාක්ෂණික පහසුකම් වල ජවයට වඩා නීලාගේ අකාරුණික දෛවයේ ජවය ඇය රෝහල් ගත කරන විටම බලසම්පන්න ලෙස ක්‍රියාත්මකව තිබේ.

නිදහස් කලා සන්ධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස වත්මන් රජය බලයට පත් වීමට නීලාගෙන් වැදගත් මෙහෙවරක් ඉටු වන්නට ඇත. ඊට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අතිශය භක්තිමත් ලෙස කටයුතු කළ නීලා 2015 ජනපති වරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමඟ “ඇයි ඔබ තුමා ගහලා හරි ගන්නේ නැත්තේ” යනුවෙන් ප්‍රසිද්ධියෙම හැඟීම්බර හා ආවේගාත්මක ලෙසින් නැගූ ප්‍රශ්නයක් හමුවේ බොහෝ දෙනකුගේ විවේනයට ලක් වූවාය.එහෙත්,එය ඇය වැඩි දුර නොසිතා නොබලා කටට ආවාට කී දෙයක් බව අපගේ වැටහීම ය.

නමුදු ඇගේ කතා බහ ක්‍රියා සම්බන්ධයෙන් ඇය පළ කළ සුවිශේෂී කැප වීමට හෝ ඇය වෙත එල්ල වූ එල්ල වූ ජනතා අප්‍රසාදයට වන්දි වශයෙන් වත්මන් රජය “ඔහේ ආවාට ගියාට” ඇයට ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල් පදවියෙන් “දමා ගසා”  තිබේ.

ඒ එමඟින් ඇයට යම් යහපතක් උදා කිරීමට මිස මිලානෝ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යහපත පිළිබඳව අබ මල් රේණුවක වත් සැළකිල්ලක් දක්වා නොවේ.නමුදු රජය අදවන විට ඔවුන් එවන රට සල්ලි දෙස නම් කෙළ හළමින් බලා සිටියි.

නීලා වික්‍රමසිංහ වැනි කලා කාරියක ගරු බුහුමනට කල් කිරීම පිණිස ලබා දිය යුතු පදවි තානාන්තර  කොතෙකුත් තිබේ.ඒ අතරේ කෘෂිකර්මයේ යෙදෙන ගොවීන්ට උදළු වෙනුවට ක්‍රිකට් පිති ලබා දීමක් බඳු මෙම ශ්‍රේෂ්ඨ කලාකාරියට කෙසේවත් නුසුදුසු නොගැලපෙන තනතුරක් ලබා දී ඇගේ හදිසි මරණය සිදු කිරීමේ වගකීම අනියමින් හෝ බාර ගැනීමට වත්මන් පාලකයන්ට සිදු වනු ඒකාන්ත ය.

හේමන්ත රන්බණ්ඩාර

 

 

 

 

 

එතෙර - මෙතෙර